සැබෑ ඔබ ඉස්මතු කරන අති ප්‍රබල දිව්‍ය අංක

අප්‍රේල් 19, 2024

 

 

අංක විද්‍යාව හා දිව්‍ය අංක අතර ඇත්තේ විශාල බැඳීමකි. එමෙන්ම ඒ විෂයයන් ද්වය අතර යම් යම් වෙනස්කම් ද තිබේ. අංක විද්‍යා විෂාරදයන්ගේ ක්‍රමවේදයට අනුව ඔබේ නමේ අකුරුවලට දෙන අංකවලට වඩා පහසුවෙන් දිව්‍ය අංකයෙන් ඔබේ නමට අයිති අංකය සොයාගත හැකි වනු ඇත. එයට හේතුව ඒ අංක ගණනය කරන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි හෝඩියේ එන අකුරු පිළිවෙළට 1-26 දක්වා අගය යෙදීමෙනි.

 

ඒ අනුව ඔබේ නම ඉංග්‍රීසියෙන් නිවැරැදිව ලියා එයට අයත් අකුරුවලට අදාළ අංකය ගණනය කර ඒ එන එකතුව තනි අංකයක් ලැබෙන තුරු නැවත ගණනය කිරීමෙන් නමේ දිව්‍ය අංකය ඔබට සොයා ගැනීමට පහසු වනු ඇත.

නිදසුනක් ලෙස කමල් නම ගනිමු.

Kamal = k(11)+a(1)+m(13)+a(1)+l(12) = 38= 
3+8= 11=1+1 = 2
 

මෙසේ ඔබ නිතර භාවිත කරන නම මෙන්ම ඔබේ සම්පූර්ණ නම ද ඉලක්කම්වලට පෙරළා දිව්‍ය අංකය සොයාගත හැකිය. එය සොයා ගැනීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය නම් අංක එකතු කළ විට ඔබට ලැබෙන්නේ යම් ආකාරයකින් ඔබගේ දෛව අංකයට හෝ වාසනාවන්ත අංකයට වඩා වෙනස් අංකයක් නම් සහ එය ඔබ කැමැති අංකයක් දක්වා වෙනස් කර ගැනීමට ඔබට හැකි වීමයි. ඒ සඳහා කළ යුත්තේ ඔබේ නම ලියන ආකාරයේ සුළු වෙනස්කමක් කිරීමයි. උදාහරණයක් ලෙස Parackrama නමින් සිටි අයකුට අංක එකතු කළ විට ලැබුණේ 8 බැවින් ඔහු සිය නම Parackrama ලෙස ලියා අමතර C අකුරක් එක් කිරීමෙන් තවත් අංක 3ක් වැඩි කරගෙන එකතුව 2 දක්වා වෙනස් කර ගත්තේය. ඉන් පසු ඔහුගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු වූ අතර විදෙස්ගතවීම්, රැකියාවේ වැඩි ඇගයීමට පාත්‍රවීම් ආදිය ලැබුණු බව දැන්වූයේය.

ඇතැමුන් මේ අංක ගැළපීම් ආදියෙන් කළ හැකි යමක් නැතැයි පැවසුව ද ඔවුන් ඒවා වෙනස් කරගත් විට තමන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන සතුටින් කතා කරනු දැකිය හැකි වේ. එබැවින් යම් ශාස්ත්‍රයක් කලක් පවතින්නේ එහි කුමක් හෝ අපට දෘශ්‍යමාන නොවන එහෙත් අපේ යහපතට යොදාගත හැකි එමෙන්ම එය කිරීමෙන් කිසිවකුට අයහපතක් නොවන දෙයක් ඇති බැවින් වන නිසා ඔබත් ඔබේ ජීවිතයේ අපහසු අවස්ථා ළං වන තුරු බලා නොසිට මෙවැනි සුළු ප්‍රතිකර්ම මඟින් ජයග්‍රහණය, වාසනාව ළඟා කර ගැනීම සුදුසු නොවේද?

මේ දක්වා අපි දිව්‍ය අංක හය දක්වා ඔබේ ඇස ගැටුණු විට විශ්ව ශක්තිය මඟින් ඔබේ ඉෂ්ටදේවතාවා ලවා ඔබට ගෙනෙන පණිවිඩය පිළිබඳ විමසීමු. අද අපි දිව්‍ය අංක 7 හි පුනර්දර්ශන මඟින් ඔබට ගෙනෙන පණිවිඩය කුමක්දැයි සොයමු. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ මෙවර අවුරුදු උදා වන්නේ ද දිව්‍ය අංක 7 යෙදෙන ආකාරයට වීමයි. 2024-04-13 දිනය සම්පූර්ණයෙන් එකතු කළ විට 16 ලැබේ. එය තනි ඉලක්කමක් දක්වා එකතු කරගත් විට ලැබෙන්නේ අංක 7ය.

දිව්‍ය අංක 7 නියෝජනය කරන ලක්ෂණ වන්නේ වාසනාව, අධ්‍යාත්මික පිබිදීම, නිසග අවබෝධය, දේව මණ්ඩලය හා බැඳුණු දිව්‍යමය ආරක්ෂාව යන කරුණුය. අංක විද්‍යානුකූලව 7ට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. වාසනාවේ අංකය ආදි අන්වර්ථ නාමවලින් හඳුන්වන්නේ ද අංක 7ය. ඒ කෙසේ වෙතත් අංක 7 අද්භූත අංකයක් ලෙස ද හඳුන්වන බවට මතයක් තිබේ. එයට හේතුව ඒ අංකය ආශ්‍රිතව බොහෝ අබිරහස් අන්තර්ගත වීමයි. ඇතැම් අවස්ථාවල එය අමරණීයත්වය සහ පරිපූර්ණත්වය සංකේතවත් කරන අංකය ලෙස ද සැලකේ. එනිසා අංක 7 නිතර වාහන අංක තහඩුවල හෝ බිල්පත්වල හෝ නාමපුවරුවල ඔබට ඇස ගැටේ නම් එයින් විශ්වය ගෙනෙන පණිවිඩය වන්නේ ඔබ නිවැරැදි මඟට පිවිස ඇති බවයි.

වාසනාවන්ත අංක හත ඔබේ ජය අංකය ලෙස වුවද ලැබෙන්නට පුළුවන. එනම් ඔබේ උපන්දිනය මාසය සහ වසර සඳහා එන ඉලක්කම් සියල්ල තනි අංකයක් දක්වා එකතු කරගැනීමේදීය.

අංක 7 අයත් වන්නේ නැප්චූන් ග්‍රහයාටය. බුද්ධිමත්බව, කුතුහලය මෙන්ම අවිවේකී බව ඔබ ඉදිරිගාමී හැඟීම්වලින් පුරවනු ඇත. ඔස්කා වයිල්ඩ්, චාල්ස් ඩිකන්ස්, අයිසැක් නිවුටන්, ෂාරුක් ඛාන්, විලියම් වර්ඩ්ස්වර්ත් වැනි අය තමන්ගේ නමට අංක හත ලැබීම වාසනාවක් ලෙස සැලකූ අය වෙති. සරලබව අගයන ඔබට ඉවසීම ඇති බව විශ්වයෙන් දෙන පණිවිඩයයි.

ඔබ ආගම දහමට කෙතරම් ළැදි වුවත් අංක හතට අයත් දාර්ශනිකභාවය නිසා ඔබ ඇතැම් විට ඔබේම වූ දහමක් හදවතින් අනුගමනය කරනවා විය හැකිය. එයට ඔබේ ඉෂ්ට දේවතාවාගෙන් විරෝධයක් නැත. එසේම ඔබේ අනුකම්පාසහගත බව වැඩි දියුණු කිරීමට තවත් වැඩි අවස්ථාවක් සොබා දහමෙන් ලැබෙන නිසා ඔබේ ජනප්‍රසාදය තවත් ඉහළ යන කාලයක් මෙයින් උදා වනු ඇත.

ඒ කාලය තුළ ඔබ වඩාත් සුබවාදී කටයුතු ඉටු කිරීමේදී ඊශාන දිශාව සහ ගිනිකොණ දිශාව උපයෝගී කරගන්නේ නම් වඩාත් පලදායී වනු ඇත.

ඔබ දුටුවේ 707 නම් නිශ්චිත වශයෙන්ම ඔබ ඔබේ උසස්ම අපේක්ෂාවන් වෙත ගමන්මඟ සකසාගෙන ඇත. ඔබේ සිහින මෙන්ම බලාපොරොත්තු සැබෑවන සමයකි. මෙය ඓශ්චර්යයන් සිදුවන වෙනස්කම් ඇතිවන යුගයක් බැවින් ඔබ නැවත ඉපදුණා හා සමානව ඔබේ ජීවිතය ගොඩ නැඟෙනු ඇත. ඔබ ඔබේ ජීවිතයේ පුදුමාකාර හැරවුම් ලක්ෂ්‍යකට පිවිස ඇත. ඔබට කළ නොහැක්කක් නොමැති තරමට ඔබේ ආත්ම ධෛර්යය වර්ධනය වනු ඇත. 707 දකින මොහොතේ සිට ඔබට ස්වාධීනත්වයේ සහ ඉදිරිගාමී බවේ දිව්‍ය ත්‍යාගය ලැබෙනු ඇත. එනිසා ඔබේ ජීවිතයේ තිබෙන සියලු සැකසංකා, දුක් කම්කටොලු සහ භීතීන් ඔබේ ඉෂ්ට දේවතාවාට පවරා ජය බිම කරා ගමන් කිරීමට සූදානම් වීම සුබය.

ඔබේ ඇස නිරන්තර ගැටෙන්නේ 777 නම්, ඔබේ ප්‍රඥාව මෙන්ම පෞද්ගලික දියුණුව වැඩි දියුණු වන සමයක් බවට කෙරෙන ඉඟියකි. මෙය විශ්වයේ සුබ පණිවිඩය ඔබගේ ඉටු දෙවියන් විසින් ඔබට ගෙනෙන පණිවිඩයකි.

අංක 7 තෙවරක් යෙදෙන අංකය දැකීම යනු එහි ශක්තිය තෙවරක් තීව්‍ර කිරීමයි. නිර්මාණශීලීව ඔබේ නැවුම් අදහස් සන්නිවේදනය කිරීමට ඔබට අපූර්ව ශක්තියක් ලැබෙන සමයකි. අංක 777 නිතර නිතරම ඔබට දකින්නට ලැබෙන්නේ නම් ඔබේ ජීවිතයේ සැබෑ අරමුණ සොයා ඔබ ඇදෙනු ඇත. එමෙන්ම එයින් සමෘද්ධිය, ආඪ්‍යත්වය සහ විශ්වයෙන් ඔබට ලැබෙන සහයෝගය සංකේතවත් කරනු ලැබේ. එය ඔබට ඔබේ හෘද සාක්ෂිය සහ ආධ්‍යාත්මික ගමන් මඟ කෙරෙහි විශ්වාසය තබන ලෙස කරන ඉඟියකි.

ඔබ ආදරවන්තයෙකු හෝ ආදරවන්තියක නම් ඔබේ සබඳතාවය ගැඹුරින් අත්දකින්නට අවස්ථාව ඔබට ලැබෙන සමයක් බව මේ අංකය නිතර දැකීමෙන් ඔබට සංඥා කරයි. ඔබ හදිසි තීරණ ගන්නා විට ඔබේ නිවැරැදි අවබෝධය වර්ධනය කිරීමට එය මඟ පාදයි. ඔබේ වචනය මුවින් පිට වීමට පෙර සිතින් නිවැරැදි කිරීමට අවස්ථාව සලසා දෙයි. වැට උඩ ඉන්නා තීරණවලින් මිදී කියන දේ කරන කරන දේ කියන සත්‍යවාදී ඔබ උලුප්පා පෙන්වීමට ඔබට බල කරයි. එහෙත් ඔබේ හදවත ඔබට කියන්නේ තනිකම වඩාත් සුදුසුයි කියා නම් ඒ හඬට සවන් දීම ඔබේ යුතුකමයි. හදවතේ ගැඹුරින්ම ගන්නා තීරණවලට එකඟව ඔබ ඔබේ ගමන යා යුතුයි. කිසි විටෙක ඔබට අනුන්ගේ තීරණ හෝ අවශ්‍යතා මත අදහස් වෙනස් කිරීමට අවශ්‍ය නොවනු ඇත.

නිතර මේ අංක දකින්නේ නම් ඔබ යකඩ භාණ්ඩ, මෝටර් රථ අමතර කොටස්, ප්ලාස්ටික් භාණ්ඩ, දියර වර්ග, ඖෂධ වර්ග සම්බන්ධ රැකියාවක් කරයි නම් එහි දියුණුව වැඩිවන කාලයක් බව තහවුරු කරගත යුතුය.

ඔබේ වයසට අදාළ ඉලක්කම් එකතු කළ විට අංක හත ලැබෙන වයසක ඔබ පසු වන්නේ නම් මෙහි බලය තවත් වැඩි වනු ඇත. එනම් 16, 25, 34, 43, 52, 61, 70 උදාහරණ ලෙස ගත හැකිය.

කෙසේ වෙතත් ඔබ අංක හත දිනක උපන්නකු හෝ ජය අංකය 7 ලැබෙන්නෙකු නම් ජීවිතයේ අමරණීය හැරවුම් ලක්ෂ්‍යයක් වෙත ඔබ ළඟා වී ඇති බව වටහා ගෙන කටයුතු කළ යුතුය. ඇතැම් විට විශ්වය ඔබට ලබා දෙන හොඳම පණිවිඩය වනු ඇත්තේ මෙය විය හැකිය. එබැවින් ඒ අවස්ථාව මඟ නොහැර අත්පත් කර ගැනීමට ඔබ ශක්තිමත් විය යුතුය. ඇතැම් අවස්ථා අපට මඟ හැරී යන්නේ ඒ කරුණ සඳහා දක්වන බිය හෝ අන් අයට වඩා යමක් කිරීමට කැපී පෙනීමට හෝ ඉදිරියට ඒමට දක්වන ලැජ්ජා ගතිය නිසා විය හැකිය. එහෙත් එවැනි සරල හේතුවක් මත විශ්වයෙන් ලබා දෙන සහයෝගය සහ ඔබ මෙතෙක් ඉටු දෙවියාගෙන් බලාපොරොත්තු වූ ඉල්ලීම් ඉටු වන මොහොත මඟ හැර ගැනීම නුවනක්කාර නොවනු ඇත.

ඔබ ජීවිතයේ බොහෝ දේ පිළිබඳ නිහඬ වූත් රැඩිකල් වූත් සිතුවිලිවලින් පිරි අයකු නම් ඔබට නිතර හතේ ඉලක්කම් පෙළක් හෝ 707 හෝ 777 පෙන්වමින් විශ්වය ඔබට පවසන්නේ ඔබ ගන්නා තීරණවලින් ඉදිරියට ගොස් ජය ලැබීමට දිව්‍ය ශක්තිය ලබා දෙන බවයි. ඇතැම් විට එය ගුප්ත ස්වභාවයක් ගත්ත ද නියත වශයෙන්ම සිතිවිල සපල වනු ඇත. එයින් ලබා දෙන පැහැදිලි පණිවිඩය වන්නේ ඔබේ ඉෂ්ට දේවතාවා ඔබ රකින බැවින් අන් අයගේ අදහස් මත ඔබේ ගමන තීරණය නොකර ඔබ ඔබම වන ලෙසය.

 

අරුණලු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.