අමතක වෙමින් යන කොවිඩ් 19 අවදානම

මැයි 26, 2023

කොවිඩ් වළකන දේශීය ක්‍රම

 

යකිනාරං කොළ , දෙහිකොළ, දෙහිගසේ පස්පංගුව ගෙන තම්බා එම ඖෂධීය ජලයේ දුම ඇල්ලීම, ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට එකට දමා තම්බා බීම , ඇඹුල් දොඩම් ඉස්ම, ඉඟුරු, ඉස්මවලට මී පැණි හා සීනි දමා ටික ටික බීම. ඉඟුරු, කොත්තමල්ලි, උණුකර බීම, කොහොඹ කොළ, ගිනි කබලකට දමා නිවෙසට මෙන්ම අවට දුම් ඇල්ලීම. යකිනාරං කොළ කැඳ, නිල්කටරොළු කොළ කැඳ බීම, දෙහි කොළ , කහ කුඩු, මදුරුතලා කොළ , කොහොඹ කොළ, සාම්බ්‍රාණි ගිනි කබලට දමා දුම් ඇල්ලීම, ඉඟුරු, කොත්තමල්ලි බැද කුඩුකර තේ මෙන් ටික ටික බීම.

විවිධ කුළුබඩුවල ප්‍රතිශක්තිය ඉහළ නංවන විශේෂ ගුණයක් ඇත. කහ ප්‍රතිශක්තිය වර්ධනය කරයි. ගසේම ඉදුණු පලතුරු කෑමෙන් ප්‍රතිශක්තිය ඉහළ යයි.

කොරෝනා රැල්ලක් නැවතත් ඇතිවිය හැකි ලකුණු ටිකෙන් ටික මතුවෙමින් පවතී. මෙයට මූලික හේතු වී ඇත්තේ කොරෝනා වසංගතය ගැන තිබූ බිය අමතක කොට හැසිරීමයි. බොහෝ දෙනකු කොරෝනා වසංගතය උණක්, හෙම්බිරිස්සාවක් තරම්වත් ගණන් නොගෙන හැසිරීමට පටන් ගෙන තිබීම මෙයට මූලික හේතුවයි.

 

එදා කොරෝනා ආසාදිතයින් මෙරටින් සොයා ගැනීමත් සමඟ අපට ඇති වූ බිය කොතෙක් ද යැයි කිව නොහැකි තරම් විය. ලොව දස දෙසින් ඇහුණ කොරෝනා රෝගීන් මෙන්ම කොරෝනා මරණ අප හදවත්වලට ඇති කළේ මහත් කම්පාවක් වගේම මහත් බියක්. මේ නිසාම අප ලොකු කුඩා හැම කෙනෙක්ම රෝගී නොවීම සඳහා කළ කැපවීම පුදුම සහගතයි.

කොරෝනා වෛරසය මඟින් ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව ඇතිකරන බෝවන වෛරස් තත්ත්වයක් ලෙසට කෝවිඩ් 19 රෝගය හැඳින්වේ. මෙම කෝවිඩ් වෛරසය ප්‍රධාන වශයෙන් අපේ සිරුරට ඇතුළු වන්නේ ශ්වසන මාර්ගයෙන් හා ස්පර්ෂයෙනි. වෛරස් ආසාදිතයකු කහින විට කිවිසුම් යවන විට කතා කරන විට පියවි ඇසට නොපෙනෙන සේ කටින් නාසයෙන් පිටවන කෙළ බිඳිති මඟින් වෛරසය ශරීරගතවන බවට හඳුනාගෙන ඇත. එසේ මුවෙන් පිටවන කෙළ බිඳිති අප අවට පරිසරයේ විශාල වශයෙන් තැන්පත් වී තිබිය හැකි ය. ඒ ගැන නොතකමින් මතුපිට යම් ස්ථානයක් යම් භාණ්ඩයක් ස්පර්ෂකර අතින් නාසය, මුඛය මුහුණ සහ ඇස් කැසීම ආදියෙන් රෝගය බෝවීම ඉතා ඉක්මනින්ම සිදුවේ.

කොරෝනා වෛරසය ශරීරගත වූ අයකුට රෝග ලක්ෂණ මතුවීම දින දෙකක සිට දින දාහතරක කාලයක් තුළ දී සිදුවිය හැකි ය. එහෙත් සමහරුන්ට කොරෝනා වෛරසය ශරීරගත වුවත් එය මතු නොකොට ශරීරයේ පැවතිය හැකිය. වෛරසය ශරීරගත වන්නන්ගෙන් සියයට පනහකට හැටකට පමණ දෙනාට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. නමුත් කොවිඩ් 19 වෛරසය අප රටේ තැනින් තැන පවතින බව පෙනී ගොස් ඇත. රට පුරා කොහෙන් හෝ එක්කෙනෙක් දෙන්නෙක් සොයා ගැනීමට හැකි වී ඇත. එය එතරම් හොඳ තත්ත්වයක් නම් නොවේ. කොරෝනා වෛරසය එකකින් දෙකකින් නොව සිය ගණන් මාර්ගවලින් ව්‍යාප්තවන රෝගයකි. වෛරසය මුදල් අතපත ගෑමෙන් පවා කෙනකුගෙන් කෙනකුට බෝවිය හැකි රෝගයකි. පරිසරය තුළ පවතින වෛරසය ඕනෑම මොහොතක පතුරුවාලිය හැකි ය.

මේ භයානක රෝගයෙන් මිදීමට අත්‍යවශ්‍ය කරන පිළිපැදිය යුතු උපදෙස් කොතෙකුත් ලබාදී ඇත. දැන් දැන් ඒවා පිළිපදින බවක් නොපෙනේ. තම තමන්ගේ ආරක්ෂාව සඳහා මුඛආවරණ පැලඳීමටත් නිතර නිතර සබන් ගා අත් සේදීමටත් අවශ්‍ය බව පෙන්වාදී ඇත. එමෙන්ම වඩාත්ම පිළිපැදිය යුතු කරුණු වන්නේ කණ්ඩායම් ගැසීමෙන් හා මුහුණට මුහුණලා ඉතා සමීපව කතා කරමින් සිටින අය ගැනය. මුඛආවරණ නොපැලඳ එසේ කතා කර කර සිටීමෙන් කෝවිඩ් වෛරසයට ලක්විය හැකිය. දුම්රිය, බස්රිය, වෙළෙඳපොළ එකිනෙකා හමුව කතාබස් කිරීම, පාසල් දරුවන් ගුරුවරුන් වගේම වෙළහෙළඳම් කරන අයද මුඛ ආවරණයක් පැලඳ සිටීම ඉතාම ආරක්ෂිතය.

කොරෝනා කෝවිඩ් 19 මූලික අවස්ථාවේ දී ඇතිවන රෝග ලක්ෂණ උගුරේ වේදනාව, කැස්ස, හිසරදය, උණ, පැවතී රෝගය තරමක් උත්සන්න වූ විට හුස්ම ගැනීමේ අපහසුව, රුධිර පීඩනය අඩුවීම, ක්ලාන්ත ගතිය, වගේම ශරීරය අප්‍රාණික වීම, දැඩි අසහනකාරී ගතිය, කොරෝනා වෛරසය හටගත් රෝගීන් අතර වඩාත්ම බලපෑම් ඇතිවිය හැකි රෝගීන් වන්නේ වයස හැටපහට වැඩි වැඩිහිටියන්ට සහ බෝනොවන රෝගයන්ට ගොඳුරු වී සිටින්නන්ය. කොවිඩ් 19 රෝගයේ දී හැකිතාක් දුරට පරිස්සම් වීම කළයුතු මූලිකම කරුණයි. ප්‍රතිශක්තිය වඩන ආහාරපාන අනිවාර්යයෙන් ම ගත යුතු ය. වෙනදා ශීතකළ ආහාරපාන ගැනීමෙන් වැළකී සිටිය යුතු ය. පෝෂ්‍යදායි සමබල ආහාර ගැනීම ප්‍රතිශක්තිය ආරක්ෂා කර ගැනීමට හේතු වේ. නිතර නිතර පාන වර්ගදීමත් උණු කරන ලද ජලය පානය කිරීමටත් ලුණු මිශ්‍ර කරන ජලයෙන් හා දෙහි ඉස්ම මිශ්‍ර කරන ලද උණු ජලයෙන් උගුර සේදීමත් සුවදායකය.

තවද ඕනෑම වෛරස් රෝගියෙකුට ඉන් සුවය ලැබීමට ශරීර ප්‍රතිශක්තිය හොඳින් තබාගත යුතු ය. ඒ සඳහා වෙනදා මෙන් තෙල්, පිටි, සීනි අධික කෑම වර්ග නොදිය යුතු ය. රෝගියෙකුට සමබල ආහාර වේලක් ලබා දීමේ දී වඩාත්ම සැලකිලිමත් විය යුතු වන්නේ හැකි පමණින් එයට ගුණාත්මක හා පෝෂණීයත්වයෙන් යුත් ආහාර ද්‍රව්‍ය එක් කිරීම පිළිබඳවයි. මුං ඇට, කඩල, පරිප්පු, උඳු වැනි ධාන්‍ය වර්ගත් බඩඉරිඟු, කුරක්කන්, තිරිඟු වැනි ධාන්‍ය වර්ගත් හැකි අයුරින් උපයෝගී කරගත යුතු ය. බෝංචි, මෑකරල්, දඹල වැනි එළවළු ද වැඩිපුර ආහාරයට එක්කර ගත යුතු ය. ආහාර වේලට ධාන්‍ය වර්ග එක්කර ගැනීමෙන් ප්‍රෝටීන, ඛනිජ, හා බී විටමින් බෙහෙවින් ලබා දෙයි. සහල්වල සහ කුරක්කන්වල තන්තු අඩංගු වේ. ඒ මඟින් කොලෙස්ටරෝල් පවා අඩු කෙරේ. මලබද්ධයට ද ගුණාත්මක වේ. කොළ පැහැති පලා වර්ගවල බී විටමින් අඩංගු වේ. විටමින් සී අඩංගු දෙහිද එක්කර ගත යුතු ය.

කහ පැහැති එළවළු වර්ග ද වැඩිපුර එක්කර ගත යුතු ය. නිසි පෝෂණයක් ලබා ගැනීමට නම් සමබල ආහාර වේලක් ලබා ගත යුතු ය. අලුත් එළවළු, පලාවර්ග ආහාරයට එක්කර ගැනීමෙන් විටමින් ද ලැබෙන අතර ලේ ද පිරිසුදු වේ. එය කොවිඩ් රෝගයට ගොදුරු වීම පාලනයට හේතුවේ.

 

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය,

සුමිත් රාජපුර

 

සටහන - මාධ්‍යවේදී

බී. ඇල්. ප්‍රේමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.