සුබ අසුබ ගෙන දෙන ගස් වැල් මල්

මාර්තු 1, 2024

බොහෝ දෙනකු මවුපියන්ගේ නිවෙස්වල සහෝදර සහෝදරියන්ගේ හෝ ඥාතීන්ගේ නිවෙස්වල හෝ කුලී නිවෙස්වල ජීවත් වෙමින් සිට ණය මුදලක් හෝ වෙනත් ඉඩමක් විකුණා හෝ තමන්ටය කියා නිවෙසක් ගෙන පදිංචියට යන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. ඔවුන්ගේ එකම පැතුම වන්නේ තම දූ දරුවන් සමඟ සතුටින් සමාදානයෙන් ජීවත්වීම ය.

ඒත් තම නිවෙසේ පදිංචියට ගොස් මාසයක් දෙකක් ගත වන විට පැවති සතුට වෙනුවට නිමක් නැති කරදර ගෙන දෙන්නේ පුදුමාකාර විදියටය. දරුවන් ලෙඩ වීමෙන් ද ඔවුනොවුන් අතර ආරවුල් වියවුල් ඇතිවීමෙන්ද පැවැති ධනය නොසිතූ අයුරින් වැයවීමට පටන් ගැනීමෙන්ද ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිවීමට පටන් ගනී.

නිවෙසක අලංකාරයට ඉඩමේ සුන්දරත්වයට ගස්වැල් මල් වැවීම බොහෝ කාන්තාවන්ගේ සිරිතක් වී ඇත. එමෙන්ම විකිණීමට ඇති නිවෙස්වල එය බෙහෙවින් සිදුකරනු ලබෙන්නේ නිවෙස ගැනීමට එන අයගේ ආකර්ෂණය ඇති කර ගැනීම සඳහාය. සමහර ගස්වැල් මල්ගස් වැවීමෙන් නිවැසියන්ට බොහෝ අපල උදාව සිදු වේ. නොයෙක් විදිහේ කරදර බාධක පවුලේ අඬදබර මානසික පීඩනය රෝගාබාධ පමණක් නොව නුරුස්සන ගති පවා ඇති වේ.

නිවෙස ඉදිරිපිට හෝ නිවෙස ආසන්නයේ සුදුපාට, මල් රතුපාට මල් මෙන්ම කටු සහිත රෝස මල් ගස් බෝගන්විලා මල් ගස්ද සුබ නැත. කටු සහිත ගස,් පලතුරු ගස්, අඳුරු පැහැ ගස් ද සුදුසු නැත. සමහර මල්ගස්වලට හා ගස්වලට අමනුෂ්‍ය බැල්ම පවා ඇතිවේ. එමෙන්ම සමහර මල්ගස්වල බලපෑමෙන් රෝගාබාධ වගේම දියුණුවට බාධාවීම්ද සිදුවූ අතර, භූත දෝෂ පවා ඇතිවේ.

උළුවස්ස

නිවෙසේ ප්‍රධාන උළුවස්සට කෙළින් ගසක් තිබීම පැළයක් සිටුවීම අසුබය. ගසක් තිබීම හඳුන්වනු ලබන්නේ වෘක්ෂ දෝෂය නමිනි. ගෙට ආසන්නයේ මුරුංගා, කතුරු මුරුංගා හෝ කටුසහිත ගස්වැල්ද තිබීම අසුබය. නිවෙසට ආසන්නයේ නිවෙසේ සිට යම් ගමනක් යෑම සඳහා එළියට බහින විට මිදුලට එන විට මුලින්ම දකින්නේ සුදුපාට මල් පිපුණු ගහක් නම් එම ගමන බාධා විය හැකිය. රැකියාව සඳහා යන්නේ නම් එහිදීද සිතේ සතුටක් හෝ ධෛර්ය බවක් ඇති නොවිය හැකිය. පවුලේ කරදර ආරවුල් වියවුල්ද නොසිතූ විරූ අයුරින් ඇති වේ. නිවෙස ඉදිරියේ රතුමල් ගසක් හෝ රතුමල් සහිත මල් පෝච්චියක් හෝ තැබීමත් සුදුසු නැත. විශේෂයෙන් රතුමල් සහිත කටු සහිත මල් පඳුරු සතුට නැති කරයි. විනාශකාරි වේ.

රතු රෝසමල් නිවෙසට අලංකාරයක් වුවත් එය කටු සහිත බැවින් ඒවා තිබීමෙන් පවුලේ අඬදබර හා සතුරු කරදර මතභේද නිතර නිතර ඇති වේ. නිවෙස ආසන්නයේ කිරි සහිත ගස්, කටු සහිත ගස් සහ ගෙඩි හටගන්නා ගස් සිටුවීම සුදුසු නැත. කිරි ගහට ගන්නා ගස්වලින් සිදු වන්නේ මිලමුදල් හීනවීම නිසා පවුලේ මතභේද හට ගැනීමයි. කටු සහිත ගස්වලින් සතුරු කරදර තොරක් නැතිව ඇතිවේ. පල හට ගන්නා ගස්වලින් අසුබ ලක්ෂණ පහළ වේ.

එරබදු වතුසුදු කතුරු කරම් බා

එරඬුද එවරා තල කපු නිම් බා

පෙර දෙරගෙ අසල ඇතිවුව පුම් බා

පුර රදුගේ වත් ඉසුරු කලම් බා

 

සපුනා කිහිරිය තැඹිලි එරම්බා

එපනා කජු බෙලි දිවුල් කදම්බා

තිබුණා එම ලෙස අරලුද ජම් බා

නිතිනා සව් සිරියාය කලම් බා

 

රතු මල් පිපිනා ගස් දොරකඩ වැවෝති නා

හැම කල් පැමිණේය රජ බිය නොසිතු මෙ නා

වියවුල් කටුගසින් ගව බිය කිරිගසි නා

එබුල් ගසින් ගෙය බිඳුම ද කිවු පෙර නා

 

ගෙවත්තේ තිබෙන සමහර අසුබ ගස් නිසා ධන හානි පමණක් නොව සතුරු කරදර වගේම පවුලේ අඬදබර ද ඇතිවිය හැකිය. එවැනි ගස් නිවෙස ආසන්නයේ තිබේ නම් ඒවා එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම සුබදායකය. එමෙන්ම මොනම හේතුවක් නිසාවත් ගෙවත්තට නුසුදුසු යැයි කියා ඉවත්කරන ලද ගස්වල අතු කඳන් නිවෙස තුළට නොගත යුතුය. එවැනි ක්‍රියා අසුබ බව වාස්තු විද්‍යාවේ පෙන්වාදී ඇත.

නිවෙස ආසන්නයේ ගෙවත්තේ රත්මල් පඳුරක්, අන්නාසි පඳුරක් වගේම කිරි සහිත අරලිය ගසක් ඇත්නම් නිවැසියන් නිතර නිතර ලෙඩ රෝගවලට ලක් වේ. අඹුසැමියන් අතර අඬදබර කලහකිරීම් අනිවාර්යයෙන්ම ඇතිවේ. සමන්පිච්ච, දෙළුම් වැනි ගස් වැල් ගෙමිදුලට වඩාත් සුබදායක වේ. එවැනි ගස්වැල් තිබීමෙන් නිවෙසට අලංකාරයක් ගෙන දෙන්නාක් වගේම මිහිරි සුවඳින්ද අවට පරිසරය ප්‍රබෝධවත් කෙරේ. ඖෂධීය වශයෙන්ම එම ගස්වැල් ප්‍රබල නීරෝගිතාවක් ඇති කරයි.

 

පුලිල දෙළුම් සැම හෝපලු දොඹ සපු ද

පලොල මුහුණ මල් මිදිවැල් ද බඳුව ද

පියල කොහොඹ පුවකුත් පොල් බෝලිද් ද

පතල පනස නෙල්ලිද සීනුත් අඹ ද

නෙළුම් සමන් මහනෙල් සාදික්කා ද

දොඩම් කෙසෙල් සහ සුවඳැති වැටකේ ද

වැවුම් කළහොතින් ගෙමිදුලෙහි රිසිලෙ ද

නොහිමි සිරි සැපත නිරෝ බැව් ලබයි සො ඳ

 

ඉපැරැණි පොත පත කෙසෙල් වැවීම ගෙමිදුලේ නුසුදුසු බව සඳහන් කර ඇත. දසාව අනුව සිටුවිය යුතු ශුභ වෘක්ෂ මෙසේ් පෙන්වාදී ඇත.

නුගය පෙර දිගට දකුණට ඉඹුල් ග ස

ඩෙබර සොමි දිගට වරුනට එබෝග ස

හොඳය සැම කලට වැවුමට මෙකී ලෙ ස

සැපත සිතු ලෙසට වේ සත සැම දව ස

ගෙමිදුලට කොසඹ ගස ඉතා සුබසාධක නීරෝගිතාව රැක දෙන ගසකි. කොසඹ ගසක් ගෙමිදුලේ තිබීමෙන් පරිසරයද සුවඳවත් වේ. කොසඹ ගස දෙවියන්ට පි‍්‍රයවූ ගසකි. ඉඩම ගෙවත්තේ පිහිටි දිසාව අනුව රතුසුදු මල් දකුණු දිසාවටත් පුලිඳ, දිවුල් වැනි ගස් උතුරු දිසාවටත්, නෙල්ලි ඊශාන දිසාවටත් - නුග නැගෙනහිර දිසාවටත්, දෙළුම් ගිනිකොන දිසාවටත්, සියඹලා නිරිත දිසාවටත්, ජම්බු නිරිත හා දකුණ අතරටත් කොස්, අඹ ඊසාන නැඟෙනහිර අතරටත් සුබදායක බව දක්වා ඇත.

 

 

 

ඡ්‍යොතිෂ ප්‍රභේෂ්වර

මොරටුවේ

තිස්ස මහානාම

 

සටහන - බී.ඇල්. පේ‍්‍රමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.