ඒරාෂ්ටකවලදි සුබ පල ලැබෙන හැටි

මාර්තු 29, 2024

 

ශ්‍රී ලංකාව තුළ වෙසෙන බොහෝ පුද්ගලයන් ඒරාෂ්ඨක කාල වකවානුවලට ඉතා දැඩි බියක් දක්වන බව පෙනේ. එනම් ඔවුන් සිතා සිටින්නේ ඒරාෂ්ඨක කාල වකවානුවලදී “මරණය” ඇතුළු අතිශය අසුබ ප්‍රතිඵල පමණක් ලැබෙන බව ය. එහෙත් අපගේ අත්දැකීම්වලට අනුව ඉතා ප්‍රබල ඒරාෂ්ඨක කාල වකවානුවලදී පවා සිහිනෙන්වත් නොසිතන තරම් සුබ ඵල ද ලැබිය හැකි බව පෙනී ගොස් ඇත.

මේ ලිපි පෙළ මඟින් බලාපොරොත්තු වන්නේ ප්‍රසිද්ධ උදාහරණ මඟින් සහ පෞද්ගලිකව ඉතා හොඳින් දන්නා උදාහරණ මඟින් ඒරාෂ්ඨක කාලවලදී ලැබුණ විස්්මිත සුබපල කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

මීට සති කිහිපයකට පමණ පෙර මගේ හිතවතකු විසින් රත්නපුර ප්‍රදේශයේ දී ඉතා අපූරු පුද්ගලයෙකුව හඳුන්වා දෙන ලදී. ඒ අන් කිසිවකුත් නොව 2023 වසරෙහි අග භාගයේ දී කහවත්ත ප්‍රදේශයේ දී හමු වූ රුපියල් කෝටි 50කට පමණ අලෙවි වූ වටිනා මැණික් කැටයෙහි හිමිකරුය. මේ අපූරු පුද්ගලයා සමඟ හිතවත් වී ඔහුගේ කේන්ද්‍ර සටහන පිළිබඳ විමසද්දී ඔහුගේ ලග්ය ‘කුම්භ’ බව හඳුනා ගත හැකි විය. ඒ අනුව ඔහුට රුපියල් කෝටි 50ක් වටිනා මැණික් කැටය හමු වන විට ඔහු ලග්න ඒරාෂ්ඨකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිටි බව මා හට ඉතා පහසුවෙන් නිගමනය කළ හැකි විය. ඒරාෂ්ඨක කාල වකවානුවලදී සිහිනෙන්වත් නොසිතන තරම් සුබපලද ලැබිය හැකි බව මේ සත්‍ය උදාහරණයෙන් මොනවට පැහැදිලි වෙයි.

මීළඟට බලාපොරොත්තු වන්නේ ප්‍රසිද්ධ උදාහරණයක් ඇසුරින් ඒරාෂ්ඨක කාල වකවානුවල ලැබිය හැකි විස්මිත සුබ ප්‍රතිපල පිළිබඳ කතාබහ කරන්නට ය. වත්මත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය “මීන” වන අතර චන්ද්‍රයා 11 වැනි භාවය තුළ තැන්පත්ව ඇත. එතුමා 2022 වසරෙහි මැයි 12 වනදා කිසිවකුත් නොසිතූ මොහොතක ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන විට ශනි ග්‍රහයා කුම්භ රාශිය තුළ ගත වෙමින් තිබූ අතර ඒ අනුව ජන්ම ඒරාෂ්ඨකයේ අවසාන අදියර ද ලග්න ඒරාෂ්ඨකයේ පළමු අදියර ගත වෙමින් තිබුණි. මීළඟට රනිල් වික්‍රමසිංහ මහතා ඉතා විස්මිත ලෙස කිසිවකුත් නොසිතූ මොහොතක මෙරට රාජ්‍ය නායකයා බවට පත් වූ 2022 වසරෙහි ජූලි 21 වන දා වන විට ශනි ග්‍රහයා කුම්භ රාශියෙන් නැවත මකර රාශියට පිවිස තිබුණි. ඒ අනුව වික්‍රමසිංහ මහතා මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන මොහොත වන විට එතුමාට ජන්ම ඒරාෂ්ඨකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇති බව ඉතා පහසුවෙන් නිගමනය කළ හැකිය. මෙහි විශේෂත්වය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර වතාවක අගමැතිධුරයට පත් වන්නේ ද එවක සිටි ජනාධිපතිවරයා ඝාතනය වූ පසුබිමක 1993 වසරෙහි මැයි 07 වනදා නොසිතූ ලෙස වීමය. එවර අග්‍රාමාත්‍ය ධුරයට පත් කරද්දී, එතුමන් මෙවර හදිසියේ ජනාධිපති ධුරයට පත් වූ මොහොතෙහි සේම ජන්ම ඒරාෂ්ඨකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිටියේය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.