අද නැකැතින් උපන්නෝ

මාර්තු 29, 2024

 

උපන්නේ ඔබ අද නැකැතින් නම් සෞන්දර්ය අංශයෙන් නමක් දිනා ගැනීමේ වාසනාව තිබේ. විශේෂයෙන්ම සිරුරේ භාෂාව මඟින් නිරීක්ෂණය කරන විටදී අංග චලන භාව චලනයන්හි ප්‍රාසංගික රිද්ම රටා වියමනක් ගැබ් වී ඇත. කතා විලාසයෙන් අන්‍යයන් තමා වෙත ආකර්ෂණය කර ගැනීමට සමත් වේ.

ස්ථාවර ධනයකට ජීවිතයේ මුල්ම කාලයේ හිමිකම් නැතත් පසුව මැදි වියට පා තබත්ම මූල්‍ය සම්පත් මූල්‍ය වැයවීමක් සිදු වේ. සමහර විට ලොතරැයි දිනුම්වලටද වාසනාව පෑදේ. මුදල්වලට තදින්ම ඇලුම් කරන නිසා අන්‍යයන් ගැන එතරම් තැකීමක් නොමැත. එම නිසා තමා විසින් මිල මුදල් ලබා ගැනීමටත් අන්‍යයන් සමඟ ගනුදෙනු කිරීමේදී තමාගේ පැත්තේ වාසිය ගැන තැකීම නිසා බොහෝ දෙනෙක් අමනාප වනු ඇත.

සිතනවාටත් වඩා වැඩකරයි. ගතවන සෑම මිනිත්තුවක්ම තමාගේ දියුණුව තකා වැඩ කරන්නෙකුය. මොහුව තේරුම් ගැනීමට අන්‍යයන්ට අපහසු වේ. සමහර විට තමා ගැනම වැඩියෙන් සිතන බැවින් රහස් සංගම් ඔත්තුසේවා විමසිලිමත්වීම් වැනි ගුප්ත ක්‍රියාවන්ට දක්ෂ වේ. රහස් සඟවා ගැනීමටද ඉතාම දක්ෂ වේ. අන්‍යයන්ට ඒ කිසිවක් ප්‍රකාශ නොකරයි.

යන්ත්‍රෝපකරණ, ලෝහවර්ග, මැණික් ගැරීම, ලෝහ ආම්පන්න වැඩ, වාහන අලෙවිය වැනි වැඩට දක්ෂ වේ. ඒ මඟින් මුදල් උපයා ගනී. වර්තමානයට වඩා අනාගතය ගැන වැඩියෙන් සිතා වැඩ කරයි. අද නැකතින් උපන් තැනැත්තා හුදෙක්ම හුදෙකලා දිවියකට වැඩිපුර කැමැත්තක් දක්වන්නේ ඔහුගේ සැඟවුණ යම් යම් වැඩ කටයුතුවලදී අන්‍යයන් සමඟ එක්වීමෙන් වන හානිය වළකා ගැනීමටයි. පොත්වල සඳහන් පරිදි අද නැකතට ගසා ඇති රතු ලේබලය එතරම් සුබවාදී නැත. එකට එක්ව වැඩ කිරීමට නොහැකි වන්නේ ඒ අය වංචාකාර හොර වැඩ කරන්නට අදහස් කරන නිසාය.

ආගම ධර්මයට ඍජුවම නැඹුරු නොවන්නේ ගැඹුරින් කල්පනා කරන නිසාය. බොරුවට උඩින් සිල්රෙද්දක් පොරවාගෙන වංචාකරුවෙකුගේ වැඩවලට අද නැකත් හිමියා කිසිම විටක පෙලඹෙන්නේ නැත. මනසට මුල් තැන දේ. යටින් එකක් සිතා උඩින් තව එකක් කරන්නන් සමඟ එක් වන්නේද නැත. මේ කරුණ නිසා සමාජයේ කැපී නොපෙනේ. වංචනික සමාජයකට අද නැකත් හිමියා නොගැළපේ. විවාහ වීමේදී දෙදෙනා අතර සුසංයෝගි බව සොයන්ට වහා පෙලඹේ. වංචනික ආදරයට පේ‍්‍රමයට, ආලයට ඔහු අකමැතිය.

උඩින් පල්ලෙන්ද පේ‍්‍රම නොකරයි. තමාට තමා ආදරය කරන කෙනෙක් යුගදිවියට ගළපා ගැනීමට උත්සාහ කරයි. සාර්ථකව යුගදිවියක් ගෙන යාමට අද නැකත් හිමියාට අවශ්‍ය නිසාම දිගුකලක් පෙම් කරයි. කෙටි ඇසුරකින් යුගදිවියට පත් නොවේ.

උඩින් පල්ලෙන් කරන ආදරයට ඔහු අකමැතිය. ජීවිතය හරි හැටි හඳුනාගත් අයෙකු සමඟ යුග දිවියට පත්වේ. ඇගේ බාහිර රූපයට වඩා ඇතුළත මනෝමය චිත්ත රූපය වඩාත් ලස්සනවීම බලනු ඇත. මහා මනෝඑන්ද්‍රිධරයකු නූවත් විශේෂයෙන්ම ගැහැනු සිත් මැනවින් විග්‍රහකර බැලීමේ උපන් දක්ෂතාවක්ද තිබේ. යුගදිවියෙන් අද නැකත් හිමියා අමාරුවේ නොවැටේ. තුන්කල්ම බැලීමට දක්ෂ නිසාය.

යම් කාන්තාවක් අද නැකතින් උපන්නේනම්, ඇය තියුණු නුවණක් ඇති තමා ගැනම සිතා අභිමානය සඳහා වැඩකරන කෙනෙකි. සමහර විට නපුරු ගති ගුණද නැත්තේම නොවේ. තද ආත්මාර්ථකාමියෙකි. තුන්දොස් වහා කිපෙන සිරුරකි. කැපී පෙනෙන රූපයක්ද හිමි වේ. තරුණ වියට පත්වීමත් සමඟම විවිධ ඇසුරු කිරීම්වලට රුචිකමක්ද දක්වයි. කේන්ද්‍රයේ 7 වැන්න තුළ කුජ – ශුක්‍ර – රාහු සහ සඳු යෝගවී ඇත්නම්, බොහෝ පිරිමි ඇසුරට ගිජු වේ. සමහර විට විකෘති කාමයට ද මනස ගොනු වී ඇත. යුගදිවියේදී පුනාවස, අස්ලිස, රෙහෙන, මුවසිරස යන නැකත් හිමියන් වඩාත් ගැළපීම් තිබේ. පුෂ, අස්විද, කැති යන නැකත් ඉතාම අසුබයි.

විවාහ වීමේදී නැකත් ගැළපීම් මෙන්ම අන්‍ය ග්‍රහ ගැළපීම්ද විශේෂයෙන්ම සුබ තත්ත්වයේම තිබීම අනිවාර්ය වේ. බොහෝ ඡ්‍යොතිෂ නිරීක්ෂණවලදී හෙළි වී ඇති කරුණු අනුව විග්‍රහ කර බලන විට අද නැකත් හිමි දෙපක්ෂයේම විවාහ ජීවිත තුළ ඇතුළු පැත්තේ රස සෞන්දර්යාත්මක අගය එතරම් ඉහළම තැනකට පත් නොවන බවද පැහැදිලිය. ඒ නැකතේ ස්වභාවයකි.

සමහර විට තද ආත්මාර්ථකාමීත්වය නිසා යුගදිවියේ රස සෞන්දර්ය නීරස වීමට පෙලඹේ. යුගදිවියේ රස විඳීම යනු දෙදෙනාම එක්වරම සතුටට පත්වීමකි. එක් අයෙක් පමණක් වින්දනයේ රස විඳීමකට පෙලඹුණ හොත් එතැන වන්නේ ආදරය, ආලය, පේ‍්‍රමය බිඳ වැටීමකි. මකර ලග්නය වී අද නැකතින් උපන් කාන්තාව සතුටු කිරීමට සැමියාගේ ග්‍රහ ශක්තිය ඉතාම බලවත්ව තිබිය යුත්තේ මකර ලග්න හිමි කාන්තාව රතියේ දී විවිධ උපක්‍රශීලි පැති සොයන නිසාය. ක්ෂණික මෝචනය ඇති සැමියකු ඇයට ලැබුණොත් යහන පෝරකයක් වේ. විද්‍යාත්මක පැතිකඩකින් තෙවැනි ඇසින් බැලිය යුත්තක් වනු ඇත. මකර ලග්න කාන්තාවකගේ සැඟවුණ ජීවන රහස් ඉතාම සෞන්දර්යවත්ය. එය වෙනම මාතෘකාවක් ඔස්සේ විග්‍රහ කර බැලිය යුතු වේ.

අද නැකතේ පළමු පාදයෙන් උපත ලබා ඇත්නම් ලෞකිකමය සම්පත් උරුම වේ. රසවත් යුගදිවියක් ගෙවනු ඇත. නමුත් ජීවන ගැටලුද වරින්වර පැන නඟී.

2 වැනි පාදයේ නම් විරුද්ධ ලිංගිකයා සමඟ පෑහීම අඩුවේ. සමහර විට ස්වයං වින්දනයකටද මඟ පාදා ගනී. සැමියා නුරුස්සයි.

3 පාදයේ නම් යුගදිවිය සාර්ථක කර ගැනීම සෑම විටම යත්න දරයි. කරදර හිරිහැර දුක් පීඩාවලට හුරුවී අසහනයෙන් යුතුව යුග දිවිය ගෙවයි.

4 වැනි පාදයේ නම් යුගදිවිය නීරස වේ. දරු සම්පත්ද අඩුවිය හැකිය. කෙටි කලකින් විවාහය නතර කරන තැනට කරුණු යෙදේ. මුලසිටම යුගදිවිය එතරම් රසවත් අන්දමට ගෙවීමට වාසනාව අඩුයි.

අද නැකත නැකත් විසි හත අතුරෙන් විශේෂයෙන්ම කැපී පෙනෙනුයේ කායික හා මානසික පීඩනවලට මුහුණ දීමේදී වඩාත් උපක්‍රමශීලිව තමාගේ වැඩකටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට දරන උත්සාහය පැසසිය යුතු වේ.

රාහුගේ මහ දශාව නියෝජනය කරන නැකතකි. අද නැකත රාහු වසර 18ක් පුරාම ජන්මියාට පලදීම් ඇතිවේ. පාපී ග්‍රහයෙක් වශයෙන් සලකන අතර, රාහු ජන්මියා ග්‍රහයෙක්ද වන්නේය. මිථුන, කන්‍යා, මේෂ, වෘෂභ, කටක, කුම්භ යන ලග්න තුළදී ශුභපල අත්කර දේ. අද නැකත හිමි රාහුගේ බලය හා කිරණ බලවේගය ඔස්සේ බලන විට රාහු ඉතාම සුබ වී ඇත්නම් ජන්මියාට ඉතාම සුබ පල ගෙන දේවි. අසුබ නම් අයහපත් ප්‍රතිඵල ලැබෙන බැව් පෙනේ. රාහු දශාවේ මුල, මැද, අග යන කොටස් තුනෙන් එකක සුබ ප්‍රතිඵල ලැබෙන බැව් ඡ්‍යොතිෂයේ දක්වා ඇත්තේය. අද නැකත් හිමියා විසින් දෛනික දිවියේදී කරන සියලුම වැඩකටයුතුවලදී නිසි කළමනාකාරිත්වයකින් යුක්තව කළහොත් අතිසාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බැව් බොහෝ පර්යේෂණවලදී හෙළි වී ඇත.

අද නැකත හිමි රාහු මහ දශාවේදි මැණික් වාසනාව ලැබූ අයත් ව්‍යාපාර අරඹා දැවැන්ත ව්‍යාපාරිකයන් බවට පත් වූ අයත් මේ අතර කොතෙකුත් සිටින බැව් සත්‍යයකි. අද නැකත නිවාස සෑදීමේදී වඩාත් කල්පනාකාරී වීම මැනවි. තරමක බාධක පැන නඟින නිසාය. අද නැකතටත් රාහුටත් එක එල්ලේම ගසා ඇති රතු ලේබලයට බියවීමෙන් සිදු වන්නේ අතට එන ලාභයන් විනාශකර ගැනීමකි. ලග්නය මෙන්ම ඔබේ උපන් නැකත ගැනත් මීට වඩා ගැඹුරින් නිරීක්ෂණය කර බලන්න. කේන්ද්‍රයේ කොටු 12න් හැසිරෙන ග්‍රහයින් වගේම තමා උපන් නැකතද සඳුගේ ශක්තිය මත වැදගත් වන්නේය.

විවාහයේ මධුසමය ගත කරන මොහොත ඉතාම සුබවාදී සෑම අංශයකින්ම උත්තම ගණයේ නැකතක් උදා වී ඇති මොහොතක යහන්ගත වුවහොත් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච මහා සම්පත්තියම ඇති දරුවෙකුද මෙලොවට බිහි කර ගැනීමේ වාසනාව පෑදේ.

හැඩ වැඩ වීමටත් සේයාරූ ගැනීමටත් ලක්ෂ ගණන් මුදල් වැය කළත් ඉතාම දුෂ්කර කටයුත්තක් වූ විවාහ නැකත් සෑදීම ගැන එතරම් සැලකීමක් නොදක්වන තැනටද පත්වී තිබීමේ අසුබයන් ගැන පසුව කතා බහ කරමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.