අලුත් අවුරුදු සුබ නැකැතට නිවැරදිව කිරි උතුරවමු

අප්‍රේල් 5, 2024

 

යම් සුබ කටයුත්තක් ආරම්භයේදී කිරි මුට්ටියක් ඉතිරීම සිංහල සංස්කෘතියේ ඉතා උතුම් අංගයකි.

මුල්ගල තැබීම විවෘත කිරීම සහ මංගල සම්මත අවස්ථාවලදී කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කිරීම ඉතා උසස් ගුණාංගයක් වේ. මෙවර සිංහල අවුරුදු උදාවේදී ඉතා බැතිබරව පිළිවෙත් ගරුකව මේ කිරි ඉතිරවීම සිදු කර ගැනීම මුළු මහත් අවුරුද්ද පුරාම සෞභාග්‍ය රඳා පැවතීමට උපකාර වේ. කිරි ඉතිරවීම සඳහා ඉතා පිරිසුදු නැවුම් මැටි මුට්ටියක් යොදා ගැනීම සිදුකළ යුතු අතර අලුත් මැටි ගඩොල් කැට තුනක් යොදා සකස් කරගන්නා ළිපක් මේ සඳහා සකස්කර ගත යුතුමය.

ගෙයි සාලය මැද (නිවෙසේ මැද බ්‍රහ්ම පාදය හසුනොවන පරිදි) යකඩ තහඩුවක් මත වැලි අතුරා ඒ මත මේ ගඩොල් ළිප සකස් කරගත හැකි නම් ඉතා උසස් ප්‍රතිපල ගෙන දෙනු ඇත. කළුගල්, බ්ලොක්ගල්, ගෑස්ලිප් යන දේ ළිපක් ලෙස යොදා ගැනීම අශුභ පල ගෙන දෙන්නකි. අලුත් අවුරුදු උදාවෙන නැකතේදී අදාළ සුබ දිශාව බලා කිරිමුට්ටිය ළිප තැබිය යුතු අතර කිරි ඉතිරවීම සඳහා යොදා ගන්නා කිරි සඳහා එළගව කිරි යොදාගැනීම ඉතා ශුභදායකය.

ශ්‍රී මහා විෂ්ණු දෙවිඳුන්ගේ පතිනිය වන ශ්‍රී ලක්‍ෂ්මී දේවියගේ ආකර්ෂණය එළකිරිවලට විශේෂයෙන් ලැබේ. විෂ්ණු දෙව් රදුන් උදෙසා සිදුකරන විශේෂ පූජාවක් වන්නේ එළකිරිය. කිරි මුට්ටිය ළිප තබන අය ඉතා පිළිවෙතින් පිරිසිදුව සුදු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටීම ඉතා යහපත් බව සිහිකළ යුතුය. කිරි ඉතිරවීම සඳහා පැරැන්නන් විසින් භාවිත කළ දර වර්ග අතර සුවඳ හමන කුරුදු දර, සුදුහඳුන් දර, රත්හදුන් දර , දේවධාර දර, අගිල් දර, සුවඳකොට්ටං දර, පැඟිරි දර යන ආදිය වන භාවිතා අතර මුළු මහත් අවුරුද්දටම සෞභාග්‍ය පතා සිදු කෙරෙන මේ උතුම් කිරි ඉතිරවීමට අපහසුවෙන් නමුත් මේ දර වර්ගයත් සපයා ගත හැකි නම් ඉතා යහපත් වේ. එසේ නොමැති නම් සාමාන්‍ය දර භාවිත කර මෙය සිදු කරගන්න. ළිප තැබූ කිරිමුට්ටිය ඉතා හොඳීන් උතුරා යනතුරු ළිපට ගින්දර දැමිය යුතු අතර මුට්ටියට හැන්දක් යොදා බලෙන් කිරි මුට්ටිය ඉතිරවීම ඉතා අසුභ දෙයකි. කිරිමුට්ටිය ඉතිරී ගිය පසු මුට්ටියේ ඉතිරි කිරිවලින් කිරි ප්‍රමාණයක් වෙනම භාජනයකට ගෙන එයට වී ටිකක්, අබ ඇට ස්වල්පයක්, තල, මුං, මෑ, ඕලු, නෙළුම් යන ඇටවර්ග සියල්ල හෝ හැකි වර්ගයත් එම කිරි භාජනයට දමා නිවස තුළ හා භූමිය අවට ඉසින්න සියල්ල අවසානයේ දෙවියන්ට පින් දී අවුරුද්ද සෞභාග්‍යමත් වේවා යැයි ප්‍රාර්ථනා කරන්න! පවුලේ සියලු දෙනා කිරි ඉතිර වීමට පෙර තිසරණ පන්සිල්හි පිහිටා තෙරුවන් වන්දනා කර දෙවිවරුන්ට පින් දී මුළු මහත් අවුරුද්ද පුරාම යහපතක් වේවායි ප්‍රාර්ථනා කිරීම මැනවි!

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.