සිංහල අවුරුද්ද අප්‍රේල් 13 වැනිදාම යෙදෙන්නේ ඇයි?

අප්‍රේල් 12, 2024

සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ කතා කිරීමේදී නැකැත්වලට මෙවර වෙනදාටත් වඩා වැඩි අවධානයක් යොමු වූ බව නොරහසකි. සිරිත් විරිත් නැකැත් මුවහත්වලින් සපිරි මේ සමය ජීවිතයට නැවුම් බවක් හදවතට උද්යෝගයක් ගෙන එන්නේ වසන්ත සමයට උරුම පරිසරයේ සොඳුරුබවත් එයට දායක කරගනිමිනි.

අප අවුරුදුවලට යොදාගන්නා නැකැත් සහ එහි යෝග්‍යතාව පිළිබඳ හෙළ හවුලේ ප්‍රබල සාමාජිකයකු මෙන්ම ඡ්‍යොතිෂය පිළිබඳ හසල දැනුමක් ඇත්තකු වූ කලාසූරී අරීසෙන් අහුබුදුවන් කළ ප්‍රකාශයක් යළි සිහිපත් කිරීම සුදුසුම කාලයක් ලෙස හැඟුණු බැවින් එතුමන්ගේ අවුරුදු පිළිබඳ විග්‍රහය මෙසේ ප්‍රතිරාව නංවමින් අප උත්සවශ්‍රීයෙන් සමරන ‘සිංහල අවුරුද්දේ‘ අරුත සොයා යමු. එය අද බොහෝ දෙනා අවුරුදු පිළිබඳ කියනා විවිධ මතිමතාන්තරවලට මනා පිළිතුරක් වනු ඇත.

අවුරුද්ද යනු ‘විශේෂ දවස‘ යැයි අහුබුදු සූරීන් විස්තර කරඇත්තේ මෙලෙසිනි. ‘වරු‘ යනු දවසයි. ‘වරුතු‘ බවට පත් එය වහරේදී ‘වුරුදු‘ ලෙස උච්ඡාරණය පහසු විය. අ යන්න උපසර්ගයක් ලෙස විශේෂ යන්නෙහි යෙදෙමින් අ+වුරුදු = අවුරුදු හෙවත් විශේෂ දවස අරුත් ගෙන දී ඇත. මෙය යෙදෙන්නේ බක් මාසයේය. ‘බ‘ යනු වාසනාව, භාග්‍යය යන්නයි. ‘අග්‘ යනු වහරින් ‘අක්‘ බවට පත් වූ ‘අග්‍ර‘ යන අරුත ඇත ඇති පදයයි. එනිසා ‘බක්‘ ලෙස හැඳීන්වෙන බග් මස යනු ‘භාග්‍යයෙන් අග්‍ර‘ වූ මාසයයි. මේ භාග්‍යය හෙවත් වාසනාව උදාවන්නේ සූර්යයාගේ ගමන සමඟිනි. සූර්යයා විශේෂයෙන් ලංකාද්වීපයට මුදුන්වන විශේෂ දවස ‘අලුත් අවුරුද්ද‘ ලෙස සිවු හෙළයේ ජනතාව විසින් සමරනු ලබයි.

මෙවැනි පැහැදිලි කිරීමකින් පසු එය අප්‍රේල් මස 13 සහ 14 අතර යෙදීමට හේතුවද එතුමන් පවසා ඇත්තේ ඓතිහාසික හා විද්‍යාත්මක තොරතුරු ද පදනම් කරගෙනය. අහුබුදු සූරීන් පවසන අන්දමට සිංහල අලුත් අවුරුදු උලෙළ යනු මුළු ලෝකයේම පළමු වතාවට ඇරැඹි උත්සවයයි. එයට හේතුව එය ලොව පැරැණිම හිරු දේවාලය ලෙස සලකන කොග්ගල වලස්ගල හිරිගල් දේවාලය මුල් කරගෙන පැවැත්වීමයි. මාර්තු 21 සමකයට මුදුන් වන ඉර උතුරු අතට ගමන් කර ජුනි 21 කර්කටක නිවර්තනයට මුදුන් වීම සිදු වේ. මෙය අංශක 23 1/2 ක ගමනකි. ඒ සඳහා දින 92ක් ගත වේ. ඒ දින 92 අංශක විසිතුනහමාරෙන් බෙදූ විට එක් අංශකයක් ගමන් කිරීමට ගතවන කාලය ලැබේ. ලංකාව පිහිටා ඇත්තේ අංශක 6ට වන්නටය. එනිසා අංශක 92 අංශක විසිතුනහමාරෙන් බෙදා ලැබෙන අගය ලංකාව පිහිටි අංශක 6න් ගුණ කළ විට ලැබෙන දින ගණන විසිතුනහමාරකි. ඒ දින ගණන හිරු සමකයට මුදුන් වන මාර්තු 21 ට එකතු කළ විට අප්‍රේල් 13 අපර භාගයේදී ඉර ලංකාවට මුදුන් වන බවට ගණන් තැබිය හැකිය. සිංහල අලුත් අවුරුද්ද එදිනට යෙදෙන්නේ මේ හේතුව නිසාය.

අහුබුදු සූරීන් එසේ අවුරුදු යෙදෙන ආකාරය විස්තර කරද්දි ඡ්‍යොතිෂමය වශයෙන් හිරු මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම පිළිබඳව ද ඔහුගේ ඡ්‍යොතිෂ දැනුම ඉස්මතු කරමින් මෙවැනි විග්‍රහයකද යෙදී ඇත. එය ඔහුගේම වචනයෙන් මෙසේය. ‘සිංහල මිනිසුන් ඉහළ අහස ගවේෂණයේදී කොග්ගල සහ වලස්ගලට අයත් අංශක 6 රේඛාවට හිරු මුදුන් වූ අතර එයට ඉහළින් තාරකා දෙකක් පෙනුණා. එය අපේ දේශයේ නමින් හෙළ දිවට උදා වූ රැස හෙවත් ‘හෙළු රැස‘ නමින් ඔවුන් නම් කළා. එවක සිංහලුන් අහස් තලය අංශක 360 බෙදෙන බව දැන සිටි අතර, අංශකවලට ‘අස්‘ යන්න සිංහලෙන් භාවිත වුණා. එසේ 360ට බෙදා තිබූ අහස නැවත අංශක 120 කොටස් තුනකට බෙදුවා. ඒ අංශක 120 කොටස් 4 බැගින් බෙදා ඒවායේ පිහිටීම් අනුව නම් කළා. ප්‍රධාන කොටස් තුනේ පළමු කොටසේ පළමු රැස වූයේ හෙළු රැසයි. මෙය ඉන්දියානුවන් වරදවා එළුවකුට හෙවත් මේෂයට සම කළත් හෙළ- හෙළු- එළු ලෙසින් හැඳීන්වූයේ ලංකාවට ඉහළින් හෙළුණු තාරකායි.

ඉහත කී ප්‍රධාන කොටස් තුනෙන් අවසාන කොටසේ අවසාන රැස නැතහොත් නිම් රැස නිමාව දක්වයි. එය භාෂාමය පෙරැළිය ඔස්සේ මින් බවට පත් වූ අතර ඉන්දියානු ආභාසයෙන් එය මාළුවා ලෙස වරදවා හැඳීන්වූවා. ඒ කෙසේ වෙතත් අවසාන අංශක 30 පිහිටි නිම් රැසේ සිට පළමුව පිහිටි හෙළු රැසට සූර්යයා ගමන් කිරීම හා එය අංශක 6 පිහිටි කොග්ගල වලස්ගලට උදාවීම සිංහල අවුරුද්ද හා හිරු මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම අතර සම්බන්ධයයි.

එහිදී නැකැත් 27 සම්බන්ධවද අහුබුදුහු මෙසේ පැහැදිලි කරති. එය මෙසේය අස් ලෙස හඳුන්වන අංශක 360 න් 27න් පංගුවක් නැකැතක් ලෙස සලකයි. එහි පළමු නැකැත අස්විද වන අතර අවසානය රේවත නම් වෙයි. අස් විදහන්නේ අස්විද නැකැතිනි. එනම් අංශක විහිදීමට පටන් ගන්නේ අස්විද නැකැතිනි. එසේම රිවි+ අන්තයට යෑමේ අරුතින් රේවත ය තැනෙයි. හිරු අන්තයේදී හෙවත් අවසානයේ ගමන් කරන රේවති නැකැතින් හිරු අස් විදහන අස්විද නැකැතට ගමන් කරන විශේෂ දවසේ අවුරුදු උදා වේ.

එසේම නැකත් යනු නා+ කත් දෙපදයේ මුසුවකි. ‘නා‘ යනු ඇදෙන යන අරුත් දේ. ‘කත්‘ යනු කෙත හෙවත් ප්‍රදේශයයි. යම් වේලාවක අහසේ ඇදෙන තරු කෙත නැකතයි.

එසේම නොනගතය යනුවෙන් හඳුන්වන්නේ නැකැතක් නැති වේලාව යන අරුතින් ලෙස බොහෝ දෙනා පැවැසුව ද අහුබුදු සූරීන් එය අරුත් ගන්වනුයේ මෙලෙසිනි. වහරේ ඇති පරිදි මීනයේ සිට මේෂයට හෝ රේවතියේ සිට අස්විදයට හිරුගේ පැමිණීම සිදුවන අතරතුර කාලය නොනගතය ලෙස සලකයි. ‘ගත‘ යනු පැමිණි යන අරුත් දෙයි. ‘ආගත‘ යනු විශේෂයෙන් පැමිණි යන්නයි. නො+ අගත යනු විශේෂයෙන් නොපැමිණි යන අරුතයි. මේෂ රාශියට හෝ අස්විද නැකැතට විශේෂයෙන් හිරු නොපැමිණි කාලය නොනගතයයි. ඒ කාලය තුළ පුණ්‍ය ක්‍රියාවල යෙදීමෙන් අලුත් අවුරුද්දට පෙර සිත ගත තැන්පත් වේ. එය නව ඇරැඹුමකට හොඳ සූදානමකි. මේ කාලය පැය 12යි මිනිත්තු 48ක් ලෙස සැලකේ. හිරු විශේෂයෙන් මේෂයට නැතහොත් අස්විදයට නොපැමිණි නොනගතයේ අපර භාගයේ පටන් ගැන්මත් සමඟ සූර්යයා මේෂයට විශේෂයෙන් පිවිසීමට පටන් ගනී. ඒ කාරණය මුල්කරගෙන ප්‍රධාන නැකත් නොනගතයේ අපරභාගයට යෙදේ. එහිදී රාහු කාලය වැනි අසුබ අවස්ථා ලෙස සැලකෙන යම් විශේෂ කරුණක් යෙදුණ හොත් විශේෂ මුහුර්ත යොදා ගැනීම සිරිතයි. ඒවා දිව්‍ය මුහුර්ත ලෙස හ½ඳුන්වයි. උදාහරණයක් ලෙස අඟහරුවාදා දිනට නැකැත් නොයොදයි. එහෙත් කුජ දිනක අවුරුදු එළැඹුණහොත් එය අප සිදු කළ යුතු නිසා ඊට ගැළපෙන සුබ මුහුර්ත යොදා ගනී. රාහු කාලය තුළ අවුරුදු යෙදුණහොත් එය වැළැක්වීමට නොහැකිම අවස්ථාවක නම් එය තුළ යෙදෙන සුබ මුහුර්ත සොයාගැනීමේ ක්‍රම ද පවතී. එසේම අලුත් අවුරුද්ද යෙදෙන දිනය අනුව දවස ආරම්භ වන්නේ අදාළ ග්‍රහයාගේ හෝරාවෙන් බැවින් එදින ඒ ග්‍රහයා පිහිටන නැකත අනුව සුබ වර්ණ ද තෝරා ගැනේ.

එසේම නව සඳ බැලීමෙන් මේ අවුරුදු සිරිත් ඇරැඹෙන්නේ ඡ්‍යොතිෂයේදී හිතට බලවත් වන්නේ චන්ද්‍රයා වන බැවිනි. නව අවුරුද්දේ කටයුතු ආරම්භ කිරීමට මෙන්ම ඕනෑම කටයුත්තක් කිරීමට පෙර සිත පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත් වේ. නව සඳ බැලීමෙන් අපේක්ෂා කෙරෙන්නේද නව කටයුතු ආරම්භ කිරීමට පෙර තම සිත පිරිසුදු කරගැනීමයි. පරණ අවුරුද්දට දිය නෑමෙන් ද සංකේතවත් කරන්නේ පසුගිය වසරක කාලයේ විවිධ දුෂ්කරතා මඟින් කිළිටි වූ ගත පිරිසුදු කිරීමයි. සිත ගත පිරිසුදු වූ විට සියලු කටයුතු සාර්ථක වන බැවිනි.

නැකතට අනුව කටයුතු කිරීමෙන් එදා සිට අපේක්ෂා කළේ එකට රැස්වීම එකට වැඩ කිරීම, එකට විසිර යෑම, වැඩිහිටි බහට කන්දීම, රිසි සේ නීති වෙනස් නොකිරීම, කාන්තාවන් රැකීම, නිසි පූජා පැවැත්වීම යන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සප්ත අපරිහානී ධර්මය අනුගමනය කිරීමයි. මෙහි ‘එකට‘ යන වචනයෙන් සාමූහිකත්වය හැඟවේ. මුළු ජාතියක්ම, සියලු දෙනාම, එකවර එකම වේලාවකට කටයුතු කිරීම, රටක, ජාතියක, සහයෝගය, එක්බව, සබැඳීයාව දක්වන අපරිහානි ධර්මයේ පළමු වැන්නයි. නැකතට සියල්ලන් වැඩ නවත්වා සියල්ලන් එකම දිශාවක් දෙස බලා එකට කටයුතු ඇරැඹීම මෙන්ම ජීවිතයේ වැදගත් කටයුතු සියල්ල හෙවත් ළිප ගිනි මෙළවීම, ගනුදෙනු, වැඩ ඇල්ලීම, ආහාර අනුභවය මෙන්ම රැකියාවට පිටත්ව යෑම මඟින් රටක එකමුතු බව වැඩි වන බව අරීසෙන් අහුබුදු සූරීන් එහිදී අවධාරණය කර තිබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.