කිරි ඉතිරවීමේ ආර්ය චාරිත්‍රය

අප්‍රේල් 12, 2024

 

පෙරදිග ශාස්ත්‍රවලින් එකක් ලෙස ගැනෙන ඡ්‍යොතිෂය සහ වාස්තු ශාස්ත්‍රය සමඟ සැබැඳි “කිරි ඉතිරවීමේ ආර්ය චාරිත්‍රය” ලොවට දායාද වූයේ මෙයට වසර 5000කට පෙර දර්ශනවාදයේ උල්පතක් බඳු මහා භාරතයෙනි.

ගංගා, සින්දු වැනි මහා ගංගාවලින් පෝෂිත හිමාල අඩවියේ දේවදාර වනාන්තරවල සඳුන් රුක් සෙවණේ ඍෂිවරු මුළු මහත් මිනිස් වර්ගයාගේ හිතසුව පිණිස ආධ්‍යාත්මික විමුක්තියේ නිරත වූහ.

එමෙන්ම විවිධ ජීවන මාර්ගවල නිරත සංකීර්ණ වූ මිනිස් දිවි ගමන, පවිත්‍ර වූත්, නිරාමිස වූත්, දුක් වේදනාවෙන් තොර වූත් සමෘද්ධි සම්පන්න හොඳ ජීවන පරිචයක් ගොඩ නඟන්නට මේ ආර්ය චාරිත්‍ර ධර්ම ලොවට හඳුන්වා දෙමින් තම මුළු මහත් දිවි පෙවෙතම ආධ්‍යාත්මික සුවය සඳහා කැප කරන්නට වූහ.

දියුණු මනසකින් සපිරුණු කාලබුත්ජර මහා ඍෂිවරයා ප්‍රමුඛ ඍෂිවරු එළදෙනගෙන් දායාදවන මහා ඖෂධයක් බඳු ක්ෂීරය (කිරි) උපයෝගී කරගෙන කිරි ඉතිරවීමේ ආර්ය චාරිත්‍ර ධර්මය ලොවට හඳුන්වාදුන්නේය. මේ චාරිත්‍රය ඉටුකිරීමෙන් එම ගෘහයට, නිවස්නයට, ස්ථානයට සෞභාග්‍යය උදාවෙතැයි යන්න එම ඍෂිවරුන්ගේ මතයයි. ඈත අතීතයේ වනාන්තරවල වර්ෂ දහස් ගණනක් තිස්සේ බෝ වෙමින් සිටින කැළෑ ගවයන් ගොවි යුගය එළඹෙත්ම ගොවියන් විසින් හීලෑ කර ගන්නා ලදි. එදා එම ගොවි පවුල්වලට කිරි බීම පිණිසත් ගිතෙල් කෑමටත් එළදෙන අත්‍යවශ්‍ය විය.

ගොවි ගෙදර එළදෙන “අම්මා” නම් විය. ඍෂිවරුන්ගේ ඒකායන නිර්දේශය වන්නේ ද සෑම ශුභ මංගල කාර්යයක්ම එළකිරි උතුරුවා ආරම්භ කිරීම ඉතා සුදුසු බවයි.

හැට හතර වතාවක්ම (64) මහා භාරතයේ ප්‍රාන්ත රැසකටම යාමට මම භාග්‍යවන්ත වුණෙමි. එහි මුළු මහත් ඉන්දීය සමාජ ජාලය තුළම මේ චාරිත්‍රය අකුරටම පිළිපැදීම දක්නට ලැබිණි. ඔවුන් එය සිදු කරන්නේ මහත් වූ භක්තියෙන් සහ දේව විශ්වාසයන් පෙරදැරිවමය. එහි රාජ්‍ය තන්ත්‍රයේ මැති ඇමැතිවරු, ප්‍රභූවරු, මෙන්ම ඉහළ මධ්‍යම සහ පහළ සහ ඉතා දිළිඳු පවුල්වල පවා මේ චාරිත්‍රය නිසි ලෙස ඉටුකරයි.

මංගල අවස්ථාවල එළකිරි ඉතිරවීම ඉතා ශුභ කටයුත්තක් ලෙසත් එම චාරිත්‍රය ඉටු කිරීම, තම පෞරුෂය නංවාලීමක්, තම ආත්මාභිමානය ඉහළ නැංවීමක් ලෙසත් ගෞරව බහුමානයක් ලෙසත් සැලකීමට ඉන්දීය ජනතාව හුරු පුරුදු වී සිටිති. තත්ත්වය මෙබඳු වුවද ලංකාවේ සමහර ගෝත්‍රික ජනයාද ආදිවාසීන්ගේ කොටසක් ද මුහුදුබඩ ධීවර ජනයාද, තැනින් තැන යන අභිකුණ්ඨික ජනයාද කොළඹ ආශි‍්‍රත මහල් නිවාසවල ජීවත් වන පිරිසගෙන් සුළු කොටසක්ද එළකිරි වෙනුවට පොල්කිරි ඉතිර වීමට මෑත කාලීනව පුරුදුව ඇති බව පෙනෙයි.

මේ පොල්කිරි ඉතිරවීම නගර ආශි‍්‍රත කුඩා බද්ධ නිවාස, පේළි ගෙවල හා පැල්පත් නිවාසවලද තට්ටු නිවාසවලද බෙහෙවින් පැතිර ගොස් තිබේ. මේ පිළිබඳව වාස්තු විද්‍යාත්මක සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇත්තේ ඉහත ජනතාව වෙත එළකිරි පහසුවෙන් සොයා ගැනීමට අපහසු නිසා සරල ලෙස පොල්කිරි ඉතිර වීමට ඔවුන් පෙලඹී ඇති බවකි. වයඹ පළාතේ සහ ඇතැම් දකුණු පළාත්වල මළ ගෙවල්වල දේහය නිවෙසේ තිබූ ස්ථානයේ දේහය අස්කළ පසු පිරිසිදු කොට එම ස්ථානයේ පොල්කිරි ඉතිරවීම සිදුකරනු ලබයි.

වාස්තු විද්‍යානුකූලව උත්සව සහ මංගල අවස්ථාවල නිවෙසේ එළකිරි ඉතිරවිය යුත්තේ නිවෙසෙහි මධ්‍ය ලක්ෂ්‍යයට මදක් ඈතින් නැඟෙනහිර පැත්තට වන්නටය. එය නිවෙසේ භාග්‍යවන්ත බව වැඩි දියුණුවට හේතු කාරක වෙයි.

එනිසා පොල්කිරි ඉතිරවීම නිවැරැදි ක්‍රමය නොවේ. ඉන් ශුභ මංගල කටයුත්තකට ආශීර්වාද ගැන්වීමක් සිදු නොවන බව මෙයට වසර පන්දහසකට පෙර සිටි භාරතයේ අග්‍රගණ්‍ය ඍෂිවරුන්ගේ අදහස වී ඇත. එසේම පොල්ගෙඩිය ලොව භාවිතයට පැමිණියේද වසර 500ක් වැනි මෑත ඉතිහාසයකය. එයද ජාවා සුමාත්‍රා ඉන්දුනීසියා දූපත්වල සෑදුණු තාල වර්ගයේ ගස් විශේෂයක ඵලදාවක් ලෙසිනි. එය ලංකාවට ගෙනවිත් සිටුවා බෝ කර ඇති බව පෙනෙයි.

සාමාන්‍ය නාගරික ජනයාගෙන් කොටසක් මේ පොල්කිරි ඉතිර වීමේ පුරුද්ද තවදුරටත් අනුගමනය කරනු පෙනෙන්නට ඇත. එය නිවැරැදි යැයි සමාජ මතයක් ගොඩනැඟී ඇත්තේ එළකිරිවල සතුන්ගේ ලේ තිබෙනවාය යන මතය ද සමඟිනි. අප ගෞතම බුදුන් වහන්සේ සිද්ධාර්ථ තාපසයකුව සිටි සමයේ දුෂ්කර ක්‍රියාව හයමසක් තිස්සේ කළ වකවානුවල ඉන්දියාවේ ‘දුර්ගරී’ ප්‍රදේශයේ එකල වාසය කළ එඬේරකු විසින් සිද්ධාර්ථ තාපසයන් අත්තකිලමථානුයෝගීව සිට සිහිසුන්ව ඇද වැටී සිටි විටක එළදෙනකගේ තන බුරුලෙන් විදි කිරි ආහාරයට ගෙන ප්‍රකෘති තත්ත්වයට පැමිණි බව “බුද්ධ චරිතය” ග්‍රන්ථවල සඳහන් වෙයි.

එමෙන්ම ඔවුන්ගේ පුහු තර්ක හමුවේ දැක්විය හැක්කේ වසර දහස් ගණන් එළකිරි බොන ජනතාව බී ඇත්තේ හරකුන්ගේ ලේ ද? යන්නයි. ඡ්‍යොතිෂය අනුව මිහිකතට බැඳි ශ්‍රී ලක්ෂ්මී දේවිය හෙවත් ශි‍්‍රයා කාන්තාව එළකිරි ඉතිරවීමෙන් සතුටු වන බව දැක්වෙයි. එබැවින් ඕනෑම මංගල සම්මත කටයුත්තකදී එළකිරි උතුරුවා ශ්‍රියා කාන්තාවගේ බැල්ම ලැබීමට අවකාශ සලසා ගැනීමට බොහෝ ජනී ජනයා අපේක්ෂා කරන සිරිතකි. මේ චාරිත්‍රයෙන් සියලු දෝෂ භංග වීමට ඉඩ සැලසේය යන්නත් සෞභාග්‍ය උදාවනු ඇතැයි යන්නත් ඍෂි මතයයි.

ඒ සඳහා බොහෝ දෙනා සිදුකරනුයේ තම නිවෙසේ සාලය මැද සුදුසුම තැන තෝරාගෙන ළිප බැඳ එළකිරි උතුරුවා ශි‍්‍රයා කාන්තාවගේ බැල්මට හසුකර සියලු දෝෂාන්ධකාරයන් දුරු කර භාග්‍යය උදාකර ගැනීමයි.

කිරි ඉතිරවූ පසු ඉතිරි වන කිරි ගෙතුළ ඉසීම සිදු කරයි. ඇතැම් ජන කොට්ඨාස එම මුට්ටිය වහලයේ එල්ලා තබයි. මෙම කටයුතු ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙයි. එළකිරි ඉතිර වීමේ ආර්ය චාරිත්‍රය නිවැරැදිව ඉටු කර මේ අලුත් අවුරුද්ද සෞභාග්‍ය සම්පන්න කර ගැනීමට අපි වැර දරමු.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.