මේ වසරේ සිංහල අවුරුදු නැකැත් පිළිබඳවයි

අප්‍රේල් 12, 2024

 

මෙවර සිංහල අවුරුදු චාරිත්‍ර සිදු කිරීමේ නැකැත් වැරදි බව සඳහන් කරමින් මතයක් පළ වී ඇත. අප රටේ බොහෝ කාලයක සිට මේ සිංහල අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ නැකැත් මඟින් මුළු ජාතියටම එක දිනයක හෝ මතයක පිහිටා කටයුතු කිරීමෙන් ජාතියේ එක්සත්කම විදහා දක්වන කැඩපතක් බවට සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර පත් විය.

මෙතෙක් පැවැති සංස්කෘතික අංග තුළ තවමත් නොනැසී පවතින එකම චාරිත්‍රය මේ සිංහල අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම බව පෙනී යන කරුණකි. මේ නැකැත් වැරැදි යැයි පෙන්වන විද්වතුන් කුමන කරුණු පදනම් කරගෙන නැකැත් වැරැදි බව කියාපාන්නේ දැයි අපට පැහැදිලි නැත. මේ පිටුපස කුමන්ත්‍රණකාරී බලවේග සිටින බව පෙනී යන කරුණකි.

එබැවින් මේ නැකැත් යෙදී තිබෙන දිනය හා වේලාවන් පිළිබඳ විමසා බැලීම කාලීන ජාතික අවශ්‍යතාවයක් වශයෙන් පෙනී යයි. අලුත් අවුරුදු උදාව ඡ්‍යොතිෂයට අනුව යෙදී තිබෙන දිනය වන්නේ අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 09.05 ටය. එය උදා වන්නේ ගුරු හෝරාව සමඟය. තවද එදිනටම එනම් 13 වැනි සෙනසුරාදා දින අපරභාග 11.06 ට(රාත්‍රී) ළිප ගිනි මෙලවීමේ නැකත යෙදී ඇත. මේ නැකත උදා වන්නේ රවි හෝරාවෙනි.

එදිනම වැඩ ඇල්ලීම සහ ආහාර අනුභව කිරීමේ නැකත මධ්‍යම රාත්‍රී 12.06ට යෙදී ඇත. එය සිකුරු හෝරාවෙන් යෙදී ඇත. එම වේලාව දිව්‍යමය සුබ මුහුර්තය යෙදී ඇති වේලාවකි. මේ නැකැත් වැරැදි යැයි කියන්නේ කුමන පදනමක් මතද? වැඩිදුරටත් විග්‍රහ කරන්නේ නම් 13 වැනි සෙනසුරාදා පවතින්නේ රෙහෙණ නැකතයි. රෙහෙණ නැකත සෙනසුරාදා දිනයක යෙදීම සුබ වන්නේ ය. එමෙන්ම අප්‍රේල් මස 13 වැනිදා චන්ද්‍ර මාස ක්‍රමය අනුව බලන කල බක්මස 05 වැනි තිථියයි. 12.06 ට යෙදෙන්නේ සැටවක තිථියයි. එම තිථි දෙකම පෙන්වන්නේ අමෘර්ත යෝගය යෙදී ඇති බවය. එසේ යෙදී තිබෙන නැකැත්වලින් කටයුතු ආරම්භ කිරීමේ දී සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව ඡ්‍යොතිෂයට අනුව පෙන්වා දිය හැකිය. කරුණු එසේ වන පිරිසක් මේ නැකැත් වැරදිසහගත වන බවත් එම නැකැත් වෙනස් කරන ලෙසටත් මතයක් ඉදිරිපත් කර ඇත. රෙහෙණ නැකත විෂ යෝගයක් බවට පත් වන්නේ එය කුජ දිනක හෙවත් අඟහරුවාදා දිනයක යෙදෙන්නේ නම් පමණි. වෙනත් නැකැත් පිළිබඳව ප්‍රකාශයක් සිදුකළහොත් ජාතිය දෙපිලකට බෙදී යන බව කිව යුතු ය. එයින් සිදු වන්නේ බොහෝ කාලයක් තිස්සේ පැවත එන අවුරුදු චාරිත්‍ර විධි හෑල්ලුවකට පත් වීමය. අප රටේ සංස්කෘතිය, සිරිත් විරිත්, චාරිත්‍ර ධර්ම විනාශ කිරීම සඳහා මාන බලන ඇතැම් සංවිධාන අපගේ සංස්කෘතික දායාදයන් සහ ලක්ෂණයන් විනාශ කර දැමීමේ ක්‍රියාදාමයකට සම්බන්ධ වී තිබෙන බව පෙනී යන්නේ ය. මෙවැනි අවස්ථාවලදී රජය හා සංස්කෘතික කටයුතු භාර බලධාරීන් දැඩි ලෙස මේ කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අපගේ මතය වේ. එබැවින් දැනට ප්‍රකාශනය වී ඇති නැකැත් සියල්ල නිවැරැදි බව රජය විසින් ප්‍රකාශ කරන අතරම ජනතාව එයට අනුව කටයුතු කිරීම සුදුසු බව මෙහිලා සඳහන් කරමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.