සිංහල අවුරුදු කවි කලාව

අප්‍රේල් 12, 2024

 

සිංහල අවුරුදු ඉතිහාසයේ මේ භාග්‍යවත් මාසය ලෙස හඳුන්වනු ලබන අප්‍රේල් මාසයෙහි අවුරුද්ද සඳහාම වූ කවි කලාවක් මුළු සිරිලක දෙණරපුරා එදා සිටම බිහිවී පැවතියේ ඒ තුළ වූ සුන්දර නැවුම් අවුරුදු රසය නිසාම ය.

එය සාරවත් කොට රසවත්ව ලියා තැබුවේ අපිට ආවේණික වූ කවි කලාවකින් වීමත් ඒවා ගම් අනුව නගර අනුව එහි කවි ලීලාව වෙනස් වුව ද එහි අන්තර්ගතය ඉතාමත් මිහිරි රස සාහිත්‍ය කලාවක් වූයේ අප සිංහල අවුරුද්දේ ඉතිහාසය මනාව ප්‍රකට වන ආකාරයකින් වීම නිසාත් එහි අන්තර්ගතය අප හෙළ සිරිත් විරිත් හා අවුරුදු සංස්කෘතියේ පැතිදැක්මට එය මනා කලඑළිය කළ කවියන් විසින්. අප රට ජනයා තුළ වන අවුරුදු උදාවන හැඟුම්බර මානසික, සංතෘප්තභාවය ද, සතුට ද හෙට දවසට වන්නා වූ ප්‍රාර්ථනාවන් ද, අදට වඩා එදා තිබූ සමගි සම්පන්න ශක්තිමත්භාවය ද මනාව විදහා දැක්වීමට මේ කවියන් සමත් වීමත් අප රට තුළ පැවති එදා දවසක පැතුම් අද දවසට ද එළියක්. එදා තිබූ ලිහිල් මානසිකත්වය අද අපට නොමැති නිසාම ය. එදා හොඳ දේ ගෙන හෙට දවස අපි අලුත් කොට සංස්කෘතිය අප ඉතිහාසය තුළ සිරිත් රැකගෙන එය පරමාදර්ශයක් කොට ඉදිරියට යමු.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුශාසනාව ලෝවාසි රටවාසි අපට දෛනික ජීවිතයේ සිදුවන සියලු ආකාර අයහපත් කර්ම, මානව කර්ම හා වාචික කර්ම, භූසිත කර්ම සිදු නොවීමටත් ඒ මොහොතේම එම අනේක සිතුවිල්ලට ප්‍රතිවිරුද්ධ වූ කුසල් සිතුවිල්ලක් උපදවා සිත පිරිසුදු කර ගැනීමට ක්‍රියා කිරීම මැනවි. ඒ සඳහා මුලින්ම මේ ගාථාව සිහිපත් කරන්න.

සබ්බ පාපස්ස ආකරණං -

කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියෝ දපනං -

ඒතං බුද්ධානු සාසනං

 

දරාපල බරව බක්මහ පුරාලා

පුරාජේරුවට පටකෝණම් ඇඳලා

නුරා බැලුම් හීසර දඟ කැවීලා

පුරා කෙළි කෙළිත් නාඹර ලියෝ එකලා

 

සියලුම සුබ සිද්ධි දැරීම සඳහා පහන් ආලෝකමත් කරනු ලැබේ. එය මෙසේ හේලංකඩ පහන ලෙසටත් හඳුන්වනු ලැබේ. එසේම හේලංකඩ නම් නපුරු යකාට ගෙට ඇතුළුවීමට නොහැකි වන ලෙසටත් මෙලෙස කටයුතු කරන බවට දැක්වේ.

 

පැලක් වැඩ ගමන් තිබුණත් අපමණ අවුරුදු පුරලයි දැන ගන්නේ

පිලක් ගෙබිම වට මහ ගේ ගාගෙන

හේලංකඩ පනහයි දෙන්නේ

නැකත් බලාගෙන දරදිය ඇදලා කෝණම් ඇඳගෙන හැඩ වෙන්නේ

මෙදත් සිරිත් රැක ලිප ගිනි මොළවා

ගනුදෙනු කරලම පල දෙන්නේ

 

කැවුම් අවුරුද්දට නැතිවම බැරිය. එය එදා වාගේම අදටත් අප කරන හෙළ සිරිතක් වේ. රබන් පදයටද කැවුම් මෙලෙස දක්වා ඇත්තේ ඒ තුළ වූ කතාවක ද සිරිය ගනිමිනි.

නැන්දයි ලේලියි කැවුම් උයන්නට ලිග්ගල මුල්ලේ ඉඳ ගත්තා

ලේලි කැවුම් දෙක තුනක් හොරෙන් ගෙන කිහිල්ල අස්සේ ගහ ගත්තා

අපේ රටේ නම් කැවුම් මෙහෙම යැයි ලේලි කිහිල් තදකර ගත්තා

 

අවුරුදු මාලය කවි පොතෙහි එන කවි රාශියකි. අවුරුද්දේ මුල සිට අග දක්වා වන්නා වූ සියලුම සිරිත් විරිත් මෙහි අන්තර්ගත වේ.

 

ගොම මැටි ගා පිරිසුදු කර ගේ දොර

අමදති වතුපිටි වළ කැසී සිඳ හැර

සැම තැන සුදුහුණු ගාවා ගේ දොර

මෙම හැටි අවුරුද්දට විසිතුරු කර

 

ලමින් දියට හාලුත් කෙටුවාලු

හොඳින් සලා ගල්වැලි හැර සියලු

ඒ මුළු ගෙඩිද කැවුමුත් අතිරසලු

කැවුම් උයති ගේ දොරවල සියලු

 

සුබ නැකතින් වැඩපළ අල්ලන්නේ

සුබ නැකතින් වෙළඳම් ද කරන්නේ

සුබ නැකතින් ගමනුත් අල්ලන්නේ

සුබ නැකතින් තම කුසල් කරන්නේ

 

සුබ දින ස්නානය කර මින්නේ

සුබ දින හිසතෙල් ගාගති සෙමිනේ

සුබ දින සඳ දකිමින් මොර දෙන්නේ

සුබ දින අවුරුදු ගතකර වන්නේ

 

අවුරුද්දට සොඳ ආහාර උයාලා

කවුරුත් නෑයෝ එක් කරලා

කැවුමුත් මුං අතිරස කාලා

පවුමුත් රුපියල් ගනුදෙනු කරලා

 

සිරිතට ලෙසට ස්නානය කර හැම

පිරි ඇති අභරණ බැඳ සිතූ විලසම

සිරිකත ලෙසට සුබ නැකතින් එක් කොට

කිරිබත් කති පළමුව අවුරුද්දේ

 

සාදාදෙන කැවිලි සොඳ වතුකැන් කෑවා

බාදා නැතිව හොඳ කිරිපැණි එක් කරවා

භේද නැතිව හත් අට දෙන එක් වෙනවා

නෑදෑයෝ බලන්නට කවුරුත් සැම යනවා

 

මෙවැනි වූ කවි රාශියකින් අවුරුද්ද හැඩකරවනා එහි ඇති මෘදු ගුණය පෙන්වනා ඒ බව එහි වූ සමගියේ සතුටේ එකාවන් වූ බලය තහවුරු කිරීම උත්තර මානව සැණකෙළියෙහි ශිෂ්ටාචාරය හා සභ්‍යත්වය මනාව ප්‍රකට කොට අප ඉතිහාසයේ පටන් වූ මේ අවුරුදු සැණකෙළිය අදට වඩා මතු පරපුරට වැදගත් වනුයේ අදට නොව හෙටට ද මේ සුබ පෙර නිමිති ගැනීම වැදගත් වන නිසාමය. එයට හේතුව නම් ලෝකයේ කිසිදු රටක නොමැති චාරිත්‍ර වාරිත්‍ර රාශියකින් එකම සුබ හෝරාවකින් පටන් ගන්නා එකම රට අප ලංකාව වීමත් ඒ තුළ වූ මිනිස් යුතුකම්, අයිතිවාසිකම් හා වගකීම් ක්‍රියා කලාපයෙහි මතු පරපුර එකම රට අප ලංකාව වීමය. තේරුම්ගත යුතු වන්නේ මවුපිය ගුණ, තම ගම, සාරධර්ම, තම ආගමික පිළිවෙත් හෙළ සිරිත් විරිත් තුළ කැටිවූ සමගි බලයත් එයටම එක්වන්නා වූ චමත්කාර ස්වභාව ධර්මයන්, ඒ තුළ සංවේදී සංවර බවත්, සාරධර්ම පද්ධතියත්, ඒ තුළ නිසර්ගයෙන් වන්නා වූ මිනිස්කම එළිදක්වන්නා වූ චර්යා රටාවන් ය. ඒ තුළින් වන්නා වූ පරමාදර්ශය හෙට පරපුරට සුව, සුබ ලකුණක් වන නිසාම ය.

 

තවද අවුරුදු උලෙළ රසවත් වූ කවි රාශියකි.

බක්මහ ලත් මේසය යන රැසටා

සක් රජු ලෙස ඇඳ දිවසළු සොඳවා

නෙක් ආසිරි සලසා සව් සනවා

නික්මෙයි සූරිය දෙවි මේ ලෙසටා

 

සඳ බැලීම අප අවුරුදු සිරිතක් වේ. හිරු සඳු හමුවේ මේ සිංහල අවුරුදු හා ඇති සබැඳියාව එදා ගැමි ජීවිතයේ සියල්ලටම නැතිවම බැරි දෙයකි.

 

දුක් දුරු බදාදා

සඳ නොබලන් සෙනසුරාදා

සඳ බලනු ඉරිදා

ඊට සැපතක් වේය සඳුදා

 

බී.එච්. අමරසූරිය මහතාගේ අවුරුදු සුන්දරි නම් කවි පොතේ ද (1951) අවුරුද්ද ගැන කවි රාශියක් පළවූවකි.

ඇසෙයි ඇසෙයි කොවුලන් රති ගී සද්ද

පිපෙයි පිපෙයි එරබුදු මල් වතු සුද්ද

පෙනෙයි පෙනෙයි ගම්මුන් ඕවිලි පැද්ද

ළඟයි ළඟයි කියනෙමි දැන් අවුරුද්ද

 

මිහිදෙස නැමි කෙත්වතු කරලින් බරව

විහිදෙයි නෑසෙන මෙන් සිරිදුව කරව

එහි සිරි බලා කිරි සාගරයෙන් තෙරව

මෙහි මහ වඩින කුමරිය ගැන සිහිකරව

 

රබන් වාදනයේ දී පළමුව බුදුන් ද දෙවනුව දෙවියන් වැඳ එදා ක්‍රීඩාවට අවසර ගත යුතු යි.

 

බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ

ධම්මං ධම්මං ධම්මං වන්දේ

සංඝං සංඝං සංඝං වන්දේ

බුද්ධං ධම්මං සංඝං වන්දේ

 

දෙවනුව දෙවියන් අමතන්නේ මෙසේ ය

එගොඩ කෝවිලේ වේනාවක සද්දේ

මෙගොඩ කෝවිලේ හොරනෑවක සද්දේ

හතර වරම් දෙවියන්ගේ බෙර සද්දේ

අනේ දෙවියනේ අපේ සවනට මිණි සද්දේ

 

තම පන්සල, බුදුන් දෙවියන් ඉරහඳ ග්‍රහ තරු මෙන්ම තම කෙතට කමතට ළිඳට ද, එසේම කුණුමුත්තා පවා පුදා ගමේ සියල්ලටම තමාගේ වගකීම් හා යුතුකම් ඉටුකොට ගෞරව පුදකොට එකාවන්ව බෙදා හදාගෙන ජීවත් වූ ඔවුන් ඉදිරියටද සමගියෙන් නව වසරේ සිතුම් පැතුම් ආකල්ප හා යුතුකම් සමඟ එකාවන්ව හෙට දවස ගොඩගැනීම අරමුණයි. එදා ගමේ තිබූ ආදර්ශය අපට රටට දැයට අවශ්‍ය වේ. එසේම මේ වර්ෂ 2024 වසර ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුබ පැතුම් එක්කරනුයේ නිදුක් නීරෝගි සුවපත්, සැපවත් වසරක් වේවා යන ප්‍රාර්ථනාවෙනි.

 

 

වෛද්‍ය

නිරූපා සංජීවනී රත්නායක

ඩී.එස්.ඒ.සී. (ලංකා)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.