අලුත් අවුරුද්දේ සියලු ග්‍රහ අපල දුරුවීමට මහා බලගතු සෙත්කවි රත්නයක් හා අති විශේෂ බෝධි පූජාවක්

අප්‍රේල් 12, 2024

 

සෑම සියලු දෙනා එළඹෙන අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙමින් සිටී. ඒ‘ අනුව අද මා ඹබ වෙත ඉදිරිපත් කරන්නේ එළඹෙන නව වසරේ වසර පුරාම සෙනසුරු, අගහරු ඇතුළු නවග්‍රහ අපල සමනය කර ගත හැකි මහා බලගතු සෙත්කවි රත්නයක් හා අති විශේෂ බෝධි පූජාවකි. මේ ග්‍රහ ශාන්ති කර්මය ඔබට ඉතාම සරලව නිවසේ දී හෝ ආගමික ස්ථානයක් තුළ පවුලේ සැමගේ සහභාගිත්වයෙන් ඉටු කළ හැකිය. විශේෂයෙන් මෙය තම නිවෙසේ එදිනෙදා තෙරුවන් නැමදීමෙන් පසුව කළ හැකි වීම මේ පූජාවේ ඇති විශේෂත්වයකි.

අපගේ ජීවිත කාලය තුළ මෙවැනි අවුරුදු රාශියක අත්දැකීම් ලබා ඇත්තෙමු. එවන් වූ සොඳුරුතම අලුත් අවුරුද්දක් හෙට දිනයේ උදා වනු ඇත. ඡ්‍යොතිෂානුකූලව සූර්යයා හෙවත් රවි මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණට වීම සිංහල දෙමළ නව වසර ලෙස අප සරලව හඳුන්වමු. මෙලොව ජීවත් වන මිනිසා ප්‍රමුඛ සියලු සතා සිවුපාවාගේත් ගහේ කොළේත් ජීවය වන සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පිවිසෙමින් දවස් 365 ක් රාශි චක්‍රය තුළ ගෙවා අවසන් ව නව රාශියකට පිවිසෙන මෙහොත ඡ්‍යොතිෂයේදී නව වසරක උදාව ලෙස පිළිගනු ලබයි. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාවගේත්, දෙමළ හින්දු ජනතාවගේත් ප්‍රමුඛතම සංස්කෘතික මංගල්‍යය මේ නව වසරයි.

බක්මහේ නැතහොත් වසන්ත සමයේ ගස් වැල් මලින්, පලින් බරවෙමින් ගේ දොර අටු කොටු බත බුලතින් පිරෙමින් කොවුලාගේ කොවුල් නාදයත් රත් පැහැයෙන් දදුළා මෝදු වන එරබොඳු මල් යායේ සුවඳත්, මුළු පරිසරයේ ම ගස්වැල් මලින් පලින් බර වෙමින් මුළු ස්වභාවධර්මයාම අවුරුදු කුමරාගේ සපැමිණීමට පෙර මඟ බලා සිටී. පැරණි වාද භේද අමතක කරමින් උදා වන නව වසර අපට ඉතාමත්ම වැදගත්ය. ඡ්‍යොතිෂ්‍යානුකූලව අප සූර්ය මාස ක්‍රමයට අනුව අප්‍රේල් මාසය හඳුන්වන්නේ බක්මහ ලෙසයි. බක්මහ යන්නෙන් අදහස් වන්නේ පිරුණු මහ යන්නයි. එසේ නම් මුළු පරිසරයම මෙන්ම මුළු සමාජයම පිරිපුන් බවින් යුක්ත වීම බක්මහේ මූලිකම අරමුණයි. මුළු හෙළයම අසිරිමත් කරන සිංහල බෞද්ධ ජනතාවගේ නැතිනම් හෙළයාගේ මේ අසිරිමත් ප්‍රමුඛතම මංගල්‍යයට වසර දෙදහස් ගණනක අතීතයක් හිමිය.

උදාවන්නා වූ මේ අලුත් අවුුරුද්දේ ශනි, කුජ ඇතුළු සියලු නව ග්‍රහ අපල තත්වයන් දුරුවීම සඳහා අප නව වසරට පෙර සිටම ඒ සඳහා සූදානමි විය යුතුය. ඒ සඳහා පහත සඳහන් සෙත් කවි රත්නයන් ඔබට පහසු ස්ථානයක නිවෙසේ හෝ පන්සලේ විෂ්ණු හා කතරගම දෙවියන්ගේ දේවාලයකදී පහත සඳහන් ආකාරයට ගායනා කරන්න.

නිවසේ සෙත්කවි ගායනා කිරීමේදී කළ යුතු වත් පිළිවෙත්

ඔබ ඇතුළු පවුලේ සැම ගව සූකර ඇතුළු සියලු මාංශ කෑමෙන් හා මත් පැන්, දුම් වැටි පානයෙන් මිදී තමන් ඇතුළු පවුලේ සියලුම දෙනා ධාර්මික දිවි පෙවෙතක් ගත කරමින් පංචශීල ප්‍රතිපදාවේ පිහිටා සිට තමා පදිංචි ස්ථානයේ දිනපතා උදේ හෝ සවස තමන් වෙන් කරගත් වේලාවක් තුළ අප මහා බුදුරජාණන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම් හා ගිලන් පස තබා ගාථා කියා අර්ථවත්ව හැඟීමෙන් යුතුව තෙරුවන් නමදින්න. ඉන් අනතුරුව මේ සමඟ ඇති අලුත් අවුරුද්ද වෙනුවෙන්ම ඉතා නිවැරදිව ගණ පිහිටුවා අති විශේෂ සුබ වේලාවක් තුළ ඉතා නිවැරදිව සියලු පැතුම් ඉටුවීමටත්, සෙනසුරු, අඟහරු හා සියලු නව ග්‍රහ අපල දුරුවීමට හා සියලු අංශවලින් මේ වසර තුළ සැපත, දියුණුව, නිරෝගී බව හා සහනය උදාවන ලෙස රචනාකොට ඇති මෙම සෙත්කවි රත්නයන් උදා වන්නා වූ 2016 නව වසරට ග්‍රහ අපල දුරු කර ඔබ සැමට හා නිවෙසට සාමය සතුට නිරෝගී බව හා රැකී රක්ෂා දියුණුව මෙන්ම ජීවිත සිරි සෙත ගෙනෙනු ඇත.

මේ අති ප්‍රබල සෙත් කවි රත්නයන් එළඹෙන 2024 අප්‍රේල් 12 වන සිකුරාදා සිට දින 7ක කාලයක් සෑම දිනකම උදේ 6.00 ත් 8. 24 හෝ සවස 6. 00 ත් රාත්‍රී 8. 24 අතර කාලයේ ගෙදර ප්‍රධානයා විසින් තෙරුවන් නැමදීමෙන් අනතුරුව විෂ්ණු දෙවියන් හා කතරගම දෙවියන් උදෙසා නිවැරැදිව ගායනා කළ යුතුය. මේ අති ප්‍රබල සෙත්කවි රත්නය දිනකට 7 වරක් ගායනා කිරීම මඟින් මේ අවුරුද්දේ ලග්න අනුව තම තමන්ට වන අපල කරදර හා බාධාවලින් නිදහස් ව සුබදායක යහපත් ජීවිතයක් ගත කළ හැකිය.

නිවෙසේ බුද්ධ වන්දනා කරන ස්ථානයට පහළින් තැබූ ශ්‍රී විෂ්ණු හා කතරගම දිව්‍ය රාජයාණන් වහන්සේලාගේ රූපයන් ඉදිරිපිට එළඟිතෙල් පහනක් දල්වා සුවඳ ඳුම් සමඟින් නිල් කටරොළු හා රතු මල් වට්ටියක් පූජා කර මේ සෙත්කවි රත්නය ගායනා කරන්න.

සෙනසුරු, අඟහරු ඇතුළු නව ග්‍රහ අපල දුරුවීමට ශ්‍රී විෂ්ණු ඳෙවිඳුන්ගේත් කතරගම දෙවිඳුන්ගේත් ශ්‍රී නාමයනට ගායනා කරනු ලබන සෙත්කවි රත්නයන් මෙසේය .

 

ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට

 

ලබන බැතිපුද විකුම පැතිරුණ විෂ්ණු දෙවියනි ඉසුර ලැබදෙන

බරණ දිදුළන අතට සකඅවි පතන බුදුබව ලොවම සනසන

දෙවන කරදර ලොවෙහි සතහට ශනිද කුජ හැම දොසම නසමින

තිලිණ කළ මැන සැපත සහනය සතුට දිරිබල වසර ජයවන

 

කතරගම දෙවිඳුන්ට

දැයට සෙත දෙන බරණ දිදුළන රුහුණුපුර මහ දෙවොලෙ වැජඹෙන

සතට සුවදෙන විකුම පැතිරුණ කදිර දෙවියනි ලොවෙහි ගරුවන

ලකට හැමදොස, ලොවෙහි සත වෙත දෙවන ශනිකුජ අපල නසමින

සිතට සහනය සුවය දිරිබල සැපත දෙනු මැන වසරෙ සැනසෙන

 

ආගමික ස්ථානයක් තුළදී (ශ්‍රී විශ්ණු හා කතරගම දේවාලයක් ) සිදු කරන ආකාරය.

නිවෙසින් බැහැර ව ආගමික ස්ථානයක මේ සෙත්කවිය ගායනා කිරීමේදී පළමුව බුදුරජාණන් වහන්සේට බෝධි පූජාව තැබිය යුතුය. පූජාව තැබීමේදී පහත සඳහන් කරුණු අනුගමනය කරන්න. ඉන් අනතුරුව මුල් දිනයේ හා අවසන් දිනයේ වස විස නොයෙදූ පිරිසුදු දේශීය පලතුරු වර්ග 07 ක් කැවිලි5 ක් හා ඖෂධ වර්ග තුනක් සමඟින් කපන ලද පලතුරු පූජවක් විෂ්ණු / කතරගම දෙවියන්ට තබන්න. ඉන් අනතුරුව සෙත්කවිය ගායනා කරන්න.

තමන්ට පහසුවෙන් යාමට හැකි බෝධීන් වහන්සේ නමක් තෝරා ගෙන (වට නොකරන ලද බෝධියත් නම් වඩාත් සුදුසු වේ) එම ස්ථානය හොඳින් අතුගා පිරිසිදු කර මල් ආසන හා අදාළ ස්ථානද පිරිසිදු කිරීමෙන් අනතුරුව සුවඳ දූපයක් දල්වා තෙරුවන්ට තම ඉෂ්ට හා ආත්ම පාලක දේවතාවුන් ඇතුළු සියලු දෙවියන්ට පහන් 07 පත්තු කොට නිල්, කහ, රතු, සුදු, මිශ්‍ර මල්, මල් මාලා, නිල් හා රතු කොඩි පුදකර අදාළ ගාථා කියා බෝධි පූජාව තබන්න. සුවඳ පැන්වලින් වැසි රහිත දිනවල බෝධිය නාවන්න. ඉන් අනතුරුව තමා විසින් මේ කර ගත්තා වූ සියලු පින් තමාගේ හා තම පවුලේ සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ හා ආත්ම පාලක දේවතාවුන් වහන්සේ ඇතුළු ශ්‍රී විශ්ණු දෙවියන්ටත් පහත සඳහන් ආකාරයට අනුමෝදන් කරන්න.

එදිනෙදා තමන් කළ යම් පින්කමක් මතක් කර පහත සඳහන් පාඨය කියා අදාළ දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න.

“මා හා අප පවුලේ සියලු දෙනා විසින් කරගත්තා වූ මේ සියලුම කුසල සම්භාරය මාගේ හා මගේ පවුලේ අප සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ආත්ම පාලක දේවතාවුන් වහන්සේලාටත් ශ්‍රී විශ්ණු, කතරගම ඇතුළු සියලු දෙවියන්ටත් අත්වේවා. ඒ ආනුභාවයෙන් ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. තුන්තරා බෝධියකින් උතුම් වූ බෝධියක් ලැබේවා. ඒ ආනිශංසයෙන් මාගේ හා අප පවුලේ සියලු දෙනාගේ පූර්ව ආත්ම භාවයේ කරන ලද අකුසල කර්ම අහෝසිකර්ම බවට පත්කර සෙනසුරු, අගහරු හා සියලු නවග්‍රහ අපල හා ඒරාෂ්ටක දෝෂ භංග කර මාගේ හා අප පවුලේ බලාපොරොත්තු මේ වසර පුරා ඉෂ්ට කර නිරෝගී බව, දියුණුව හා සහනය මෙන්ම අපල දුරුකර ශක්තිය ලබා දුන මැනවි” යනුවෙන් සත්‍ය ක්‍රියා කරන්න.

මේ සෙත්කවිය ඉදිරි කාලයේත් පුර පක්ෂයේ ශනිදා දිනවල ඉහත සඳහන් වේලාවට ගායනා කිරීම සුබදායක වනු ඇත.

එසේම පහත සඳහන් ගාථා කියා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේටත්, කතරගම ස්කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න.

ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේට පින් දෙන ගාථාව.

 

සම්බුද්ධ ශාසනවරං යතිපුංග වංච

සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්සී

පුඤා්ඤාාණිමානි අනුමෝධීය වාසු දේවෝ

පාලේතු මං සතත සහත හිතා වහන්තු.

 

කතරගම ස්කන්ධ කුමර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට

පින් අනුමෝදන් කරන ගථාව.

 

කාචරේ දේව ගොවින්දං

රක්කන්තු ලෝක සාසනං

ඒතෙ දේවානූ භාවේන

කන්ද ස්වාමි නමො වරං.

මේ ගාථා තෙවරක් කියා කතරගම දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් පිං අනුමෝදන් කරන්න. ඔබේ ග්‍රහ අපල බෙහෙවින්ම සමනය වනු ඇත.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

 

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක,

පුවත්පත් ලේඛක,

බණ්ඩාරගම,

සම්පත් එස්. කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.