ජාතික කොඩිය සමඟ බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර

පෙබරවාරි 4, 2022

ශ්‍රී ලාංකික අප වර්තමානයේ භාවිතා කරන සිංහ සංකේතය සහිත ශ්‍රී ලාංකේය ජාතික කොඩිය ඊ.ඩබ්ලිව්.පෙරේරා සහ ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ වන ඩී.ආර්.විජයවර්ධන යන දේශ හිතෛෂයන්ගේ නොමසුරු කැපවීමෙන් සොයාගත් සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය සිංහ ධජයේම සංස්කරණයකි.


ජාතික කොඩියේ නිවැරදි භාවිත අවස්ථා සහ නිවැරදි පිළිවෙල ජාතික කොඩිය එළිමහනේ ප්‍රදර්ශනය කිරීම.

ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ජාතික වශයෙන් වැදගත් දිනවලදී සහ සියලුම රාජ්‍ය උත්සවයන්හිදී ජාතික ධජය එළිමහනේ ප්‍රදර්ශනය කළ යුතුය.

ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ඕනෑම අවස්ථාවක ඊට ඉහළම ගෞරවය දිය යුතු අතර හොඳීන් පෙනෙන ස්ථානයක එය සවිකර තැබිය යුතුය.

සෑම විටකම ජාතික කොඩිය එසවීමේදී හා පහත් කිරීමේදී එම කාර්යය කළ යුත්තේ සෙමෙන් ගෞරවාන්විතවය.

සිරස් තීරු දෙක (තැඹිලි හා කොළ) කොඩි ගස දෙසින් තිබෙන පරිදි ජාතික කොඩිය ඔසවා තැබිය යුතුය.

සෑම උත්සවයකදීම ජාතික කොඩියට ප්‍රමුඛස්ථානය දිය යුතුය.වෙනත් කිසිදු කොඩියක් ජාතික කොඩියට ඉහළින් ඔසවා තැබීම නොකළ යුතුය.

විදේශීය රාජ්‍ය නායකයකු වෙනුවෙන් මෙරට පවත්වන උත්සවයකදී එම රටේ ධජය සමග ශ්‍රී ලංකා ජාතික කොඩියද ප්‍රදර්ශනය කළ යුතුය.වෙනත් ජාතීන්ට අයත් කොඩි ඔසවා තැබීමේදී ඒවා ශ්‍රී ලංකා ජාතික කොඩියට වම් පසින්, සම උසකින් හා සම ප්‍රමාණයකින් යුක්තව තැබිය යුතුය.

පළාත් කොඩි, ප්‍රාදේශීය කොඩි, සමිති සමාගම් ආදියේ ධජ පතාක සමග ජාතික කොඩිය එසවීමේදී ජාතික කොඩිය සියලු ධජවලට මැදින් ඉහළින්ම ඔසවා තැබිය යුතුය.

පළාත් ධජ හා පාසල් ධජ සමග ජාතික කොඩිය එකම කොඩි ගසක එකම කොනක එල්ලනු ලබන අවස්ථාවලද ජාතික කොඩිය ඉහළින්ම ඔසවා තැබිය යුතුය.

එකිනෙකට යාව කොඩි ගස් කීපයක කොඩි එල්ලන අවස්ථාවකදී මුලින්ම එසවිය යුත්තේද අවසානයට පහත් කළ යුත්තේද ජාතික කොඩියයි.

වීදියක් මැද ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන අවස්ථාවලදී සිංහයා නිසි පරිදි ඍජුව සිටින සේ තිරස් අතට දිග පැත්තෙන් එල්ලිය යුතුය.

ජාතික කොඩිය ඔසවන විටදී කාලගුණය කුමක් වුවත් හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා එකම ස්ථානයක ඔසවා තැබිය යුතුය.

ජාතික කොඩිය ඔසවනු ලැබූ විට ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතුය.සියලුදෙනා නැගී සිටිය යුත්තේ ජාතික කොඩියට මුහුණලා සීරුවෙනි.හමුදා නිල ඇඳුමෙන් සැරසී සිටින අය උචිත හමුදා ගෞරවය ජාතික කොඩියට දැක්විය යුතුය.සාමාන්‍ය පුද්ගලයන් නම් හිස් වැසුම් ඉවත් කළ යුතුය.

වේදිකාවක් මත ජාතික කොඩිය ඔසවන විටකදී කථිකයා සභාවට මුහුණ දුන් විට ඔහුගේ දකුණු පස ඉහළින් කොඩි ගසක මුදුනේ හෝ කථිකයාට පිටුපසින් කථිකයාට ඉහළින් ජාතික කොඩිය ප්‍රදර්ශනය විය යුතුය.

රාත්‍රී කාලයකදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන විටදී එය ඔසවා තිබෙන තුරුම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කළ යුතුය.

වෙනත් ජාතීන්ගේ හා එක්සත් ජාතීන්ගේ කොඩි සමග ජාතික ධජය ප්‍රදර්ශනය කිරීමේදී ජාතික කොඩිය එම කොඩි පෙළෙහි දකුණුපස අවසාන කෙළවරේ ප්‍රදර්ශනය කළ යුතුය.

මෙරට පැවැත්වෙන අන්තර්ජාතික සමුළු හා අන්තර්ජාතික ක්‍රීඩා උත්සව අවස්ථා වලදී අපේ රටේ ජාතික කොඩියේ සිට රටවල නම් අකාරාදී පිළිවෙලට අනෙකුත් විදේශීය කොඩි සවිකළ යුතුය.

සංවෘත චක්‍රාකාරව කොඩි ප්‍රදර්ශනයේදී ජාතික කොඩියෙන් චක්‍රය ආරම්භ කළ යුතුය.

කොඩි කඳන් එකිනෙකට හරස්ව සිටින සේ වෙනත් කොඩියක් සමග ජාතික කොඩිය බිත්තියට සවිකර ප්‍රදර්ශනය කරන විටකදී ජාතික ධජය අනෙක් කොඩි කඳන්වලට ඉදිරියෙන් දකුණුපසින් තිබිය යුතුය.

එකම කොඩි ගසක් මුදුනේ වෙනත් කොඩි කීපයක් සමග ජාතික කොඩිය ඔසවා නොතැබිය යුතුය.

විදේශීය රාජ්‍යවල රාජ්‍ය තාන්ත්‍රික සහ තානාපති නියෝජිත අනුග්‍රහයෙන් පැවැත්වෙන සංස්කෘතික සංදර්ශන, ගීත ප්‍රසංග, චිත්‍රපට උත්සව වැනි අවස්ථාවලදී ජාතික කොඩිය හා වෙනත් රටවල කොඩි රාජ්‍ය අවසරය සහිතව ප්‍රදර්ශනය කළ යුතුය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීතිරීතිවලට යටත්ව ජාතික කොඩිය ගුවන්තොටුපළේදීද ප්‍රදර්ශනය කළ හැකිය.

සිංහ කොඩියේ වර්ණ භාවිතය

රක්ත වර්ණය - සිංහල ජනතාව හා සමෘද්ධිය

කහ වර්ණය - හේතුඵල වාදය

රක්ත වර්ණයෙන් හා කහ වර්ණයෙන් වට වී තිබීම - ප්‍රඥාගෝචර බව, මනාව පාලනය විය යුතු බව

තැඹිලි වර්ණය - දෙමළ ජනතාව

කොළ වර්ණය - මුස්ලිම් ජනතාව

ජාතික කොඩිය කිසිම කොටසක් හෝ ඒ සමාන හැඩතල හෝ සමාන වර්ණ රටා පිහිටීම කිසිම විටක ඇඳුමක් හෝ ක්‍රීඩා ඇඳුමක් ලෙස පාවිච්චි නොකළ යුතුය.

ජාතික කොඩියේ නිරූපණයක් අවසර නොමැතිව භාවිතා කිරීම තහනම්ය.

හානි වූ, අවර්ණ වූ, අපවිත්‍ර වූ ජාතික කොඩියක් වේ නම් එය කෞතුකාගාරයක තැන්පත් කිරීම හෝ කෞතුක භාණ්ඩ රැස් කරන්නකු අතට පත්කිරීම හෝ කරනු මිස එය අගෞරවනීය ලෙස විනාශ නොකළ යුතුය.

අත්ලේන්සු, අත්පිස්නා, යට ඇඳුම්, කොට්ට, මෙට්ට හා වෙනත් එවැනි භාණ්ඩවල මැසීම, පින්තාරු කිරීම හෝ ගෙත්තම් කිරීම සඳහාද රෙදි හෝ කඩදාසි අත් පිස්නා, ඇසුරුම් මල් හෝ පෙට්ටි අත් බෑග් හෝ තාවකාලික භාවිතයෙන් පසු ඉවත දැමීම සඳහා නිපදවන යමක මුද්‍රණය කිරීම හෝ වෙනත් ආකාරයකින් සටහන් තැබීමට ජාතික කොඩි සලකුණ කිසිම විටක යොදා නොගත යුතුය.


නව ජාතික කොඩියේ උපත

ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වන ඩී.එස්.සේනානායක මහතා 1948 මාර්තු 16 වන දින නිල වශයෙන් ජාතික කොඩියක් තෝරාගැනීම සඳහා ජාතික ධජ කමිටුව නමින් විශේෂ කමිටුවක් පත්කරන ලදී.එම කමිටුවේ සංයුතිය මෙසේය.

සභාපති - එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක

ලේකම් - සෙනරත් පරණවිතාන

සෙසු සාමාජිකයන් - ජේ.ආර්.ජයවර්ධන, ජී.ජී.පොන්නම්බලම්, ටී.බී.ජයා, කර්නල් ජේ.එල්.කොතලාවල, එස්.හඩ්සන්, එල්.ඒ.රාජපක්ෂ

1950 පෙබරවාරි 13 වැනි දින ජාතික ධජ කමිටුවේ අවසන් වාර්තාව රජයට බාරදෙනු ලැබීය. එම වාර්තාවේ 34 වන පිටුවේ ඇතුළත් වූ සිංහ කොඩියේ සිතුවම කමිටුව විසින් ජාතික ධජය ලෙසට අනුමත කොට අත්සන් තබා තිබිණි.එහි වූ නිර්දේශය මෙසේය.

මෙම සැලැස්මේ එකම ප්‍රමාණයක් වූ කොළ හා රඹ වර්ණයෙන් යුතු තීරු දෙකකි.එක් එක් තීරුවේ ප්‍රමාණය කොඩියේ සම්පූර්ණ ප්‍රමාණයෙන් හතෙන් එකක් විය යුතුය.මුස්ලිම් ජාතීන් වෙනුවෙන් කොළ පාටත් ද්‍රවිඩ ජාතීන් වෙනුවෙන් රඹ පාටත් නිර්දේශ කරමු.

1951 පෙබරවාරි 17 දින ඩී.එස්.සේනානායක අගමැතිවරයා ඉහත නිර්දේශ පිළිගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තු විවාදයෙන් පසුව 1951 මාර්තු මස 02 වෙනි දින පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 30 කින් සභා සම්මත විය.ඉන්පසු එය ලාංකේය ජාතික කොඩිය බවට නීතිගත විය.එම ජාතික කොඩිය ලංකාවේ පාර්ලිමේන්තුව ඉදිරිපිට මුල්ම වරට ළෙල දුන්නේ 1951 මාර්තු 31 වෙනිදාය.


සිංහලයට ජාතික කොඩිය අහිමි වීම

ක්‍රිස්තු වර්ෂ 1815 මාර්තු 02 වැනිදා සිංහල රාජ්‍යය ඉංග්‍රිසීන් විසින් පවරා ගැනීමේ ගිවිසුම (උඩරට ගිවිසුම) අත්සන් කිරීමත් සමගම සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රජුගේ රාජකීය සිංහ කොඩිය ඉංග්‍රීසින් අතට පත්වූ අතර ඉංග්‍රීසීන්ගේ යූනියන් ජැක් කොඩිය එතැන් පටන් මහනුවර මඟුල් මඬුවේදී ඔසවන ලදී.එතැන් පටන් සිංහල ජාතියේ පැවති අතීත ශ්‍රී විභූතිය, සභ්‍යත්වය, සංස්කෘතිය හා අනන්‍යතාවය හා නිදහස් නිවහල් බවද මුළුගැන්වී ගියා පමණක් නොව සිංහල ජාතිය ලෝකයා හමුවේ පරාධීන ජාතියක් බවටද පත්විණි.

ඉන් වසර 133 කට පසු 1948 පෙබරවාරි 04 දා සිංහලේ පැරණි ජාතික කොඩිය ලංකා දිවයින පුරා නැවත ළෙල දීම ඇරඹුණි.ලංකාවේ ප්‍රථම අගමැති වූ ඩී.එස්.සේනානායක මහතා විසින් 1948 පෙබරවාරි 12 දින මහනුවර දළදා මැදුර අබියස පැවැත්වූ නිදහස් සමරු උළෙලේදී හා 1948 පෙබරවාරි 19 වෙනි දින එවකට එංගලන්තයේ ග්ලොස්ටර් හි ආදිපාදවරයාගේ ප්‍රධානත්වයෙන් ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී ඔසවන ලද්දේ මෙකී පැරණි සිංහ කොඩියමය.


බෝපත් හා සිංහරුව ස්වාභාවික ලෙස නිර්මාණය වීම

එම ජාතික කොඩියේ සතර කොනෙහි වූ බෝපත් හා සිංහරුව ශෛලීගත බවින් තොරව ස්වාභාවික ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට 1972 දී පිහිට වූ ජනරජ ආණ්ඩුවේ එවකට සංස්කෘතික ඇමතිවරයා වූ එස්.එස්.කුලතිලක හා අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කළ නිශ්හංක විජේරත්න මහත්වරු යෝජනා කළහ.

මේ අනූව 1951 මාර්තු 31 දා ප්‍රථම වරට පාර්ලිමේන්තුව ඉදිරිපිට ළෙලදුන් ලංකා ජාතික කොඩියේ සිංහරුව හා බෝපත් සතර ශෛලීගත බවින් තොරව ස්වාභාවික ලෙස නැවත නිර්මාණය කළ ලංකා ජාතික කොඩිය 1972 දී කොළඹදී පැවැත්වුණු ජනරජ උත්සවයේ ශ්‍රී ලංකාවේ මුල්ම ජනාධිපතිවරයා (විධායක බලතල රහිත) වූ විලියම් ගොපල්ලව මහතා විසින් පළමුවරට පාර්ලිමේන්තුව ඉදිරිපිට ඔසවන ලදී.

එතැන් පටන් ශ්‍රී ලංකාව වර්තමානයේ භාවිතා කරන ජාතික කොඩිය රටේ ඒකීයභාවයත්, ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජාතීන්ගේ සහයෝගීතාවයත් සංකේතවත් කරමින් සෑම ජාතික දිනයකදීම ශ්‍රී ලංකාව පුරාම ජාතික කොඩිය ළෙලදීම “ ජාතික සිරිතක් ” බවට පත්විය.


ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ ප්‍රමිතිය

1985 අංක 693 දරණ ශ්‍රී ලංකා ප්‍රමිතිකරණයෙහි සඳහන් පරිදි ශ්‍රී ලංකා ජාතික කොඩිය නිර්මාණය කළ යුතු ආකාරය මෙසේය.ජාතික කොඩියේ වර්ණ සහිත පෙදෙස් තුන වන කොළ, තැඹිලි, ලෝහිත යන වර්ණ පිළිවෙලින් 1 : 1 : 5 යන අනුපාතයට සකස් විය යුතුය.

සිංහලයෙහි ජාතික කොඩියේ ඇතුළත් සියලුම සංකේතවලින් අර්ථවත් වන සංකේතයන් විශේෂ වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාවයත්, සභ්‍යත්වයත්, ස්වාධීනත්වයත් ඒ හා බැඳී පවතින හෙයිනි.


ජාතික කොඩිය වැරදි ලෙස ප්‍රදර්ශනය කිරීම සහ අවභාවිත අවස්ථා

ජාතික කොඩිය කිසිම අවස්ථාවක බිම නොතැබිය යුතුය.

කිසිවකු හෝ කිසිවක් වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් පහත් කිරීම නොකළ යුතුය.

ජාතික කොඩිය පෙරහරක ගෙනයන විටකදී කිසිදු විටෙක පොළොවට සමාන්තරව සිටින සේ හෝ තිරස් ලෙස රැගෙන යාම වැරදිය.

වෙනත් වර්ගයේ කොඩි සමග භාවිතා කරන අවස්ථාවක ජාතික කොඩිය එම කොඩි අතර මැදට ජාතික කොඩිය ගෙන යා යුතුය.

වෙනත් කොඩියක් හෝ කොඩි කීපයක් සමග පෙළපාලියක හෝ පෙරහැරක ගෙනයද්දී ජාතික කොඩිය දකුණු පසින් ඔසවාගෙන යා යුතුය.

ජාතික කොඩිය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස සැලෙන පැත්තෙන් නොවේ.නූලකින් එසවීමද අනුචිතය.කොපුවෙන් කොඩිය ඔසවන විට කොඩි කණුව ලම්බාකාරව හෝ කෝණාකාරව තිබිය යුතුය.

ජාතික කොඩිය ඔසවන අවස්ථාවේදී සියලුදෙනා නැගී සිට සීරුවෙන් සිට කොඩියට ගරු කළ යුතු අතර දුම්බීම හෝ මත්පැන් පානය කිරීම,ආහාරපාන ගැනීම, කතා කිරීම හෝ සිනාසීම හෝ වෙනත් නොගැළපෙන කිසිවක් නොකළ යුතුය.

හමුදා නිල ඇඳුමෙන් සැරසුණු අය අදාළ සේවා නියෝග අනූවම ජාතික කොඩියට ආචාර කළ යුතුය.

චාරිත්‍රානුකූලව මඟුල්බෙර වාදනය හා සංඛනාද පැවැත්විය යුතු වුවත් වෙනත් කිසිදු සංගීතයක් වාදනය නොකළ යුතුය.

හානියට පත් වූ හෝ අවපැහැවූ හෝ අවලක්ෂණ වූ ජාතික ධජයක් ප්‍රදර්ශනය නොකළ යුතුය.

මල් හෝ මල්දම් හෝ ලාංඡන ඇතුළු අන් කිසිවක් ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගහ මත හෝ ඊට ඉහළින් නොතැබිය යුතුය.

ජාතික කොඩියට මල්වැල්, ලියවැල්, පීත්තපටි, මල් හෝ සැරසිලි ධජ, පතාකාදිය ලෙස හෝ වෙනත් කිසිදු ආකාරයක සැරසිල්ලක් ලෙස භාවිතා නොකළ යුතුය.

ජාතික කොඩියේ පෙනුම ගෙනදෙන පරිදි වෙනත් පාට රෙදි කැබලි පිළියෙල නොකළ යුතුය.

කථිකයකුගේ මේස ආවරණයක් ලෙස හෝ කථික වේදිකාවක් මතින් රැලි පහතට වැටෙන සේ ආවරණය කිරීම පිණිස ජාතික ධජය භාවිතා නොකළ යුතුය.

කිසිම අවස්ථාවක ජාතික කොඩියේ සිංහයා උඩු යටිකුරු ආකාරයෙන් ප්‍රදර්ශනය නොකළ යුතුය.

ජාතික කොඩිය පොළොව ස්පර්ශවීමට හෝ ජලය මත ඇදී යන සේ භාවිතා නොකළ යුතුය.

ජාතික කොඩියට හානිවන කිසිදු ආකාරයකින් එය ඔසවා තැබීම නොකළ යුතුය.

ජාතික ධජය පෙළපාලියකට අයත් සංදර්ශන රථයක ප්‍රදර්ශනය කිරීමේදී කොඩි ගසක පමණක් සවිකර ප්‍රදර්ශනය කළ යුතුය.

ජාතික ධජය කිසිම අවස්ථාවක අඳීන ඇඳුමක්, සිවිලිම් ආවරණයක් හෝ ඇතිරිල්ලක් හෝ ආස්තරයක් ලෙස භාවිතා නොකළ යුතුය.(රාජ්‍ය හමුදා අවමංගල්‍යයකදී භාවිතා කළ හැක.).

මල් වැලක් ලෙස හෝ රැලි කොට හකුළා හෝ උඩට ඇදීමක් නොකළ යුතු අතර හැමවිටම නිදහසේ ළෙල දෙමින් තිබීමට ඉඩහැරිය යුතුය

ජාතික ධජය පහසුවෙන් ඉරී යාමට, කිලිටිවීමට හෝ හානියට පත්වීමට ඉඩ ලැබෙන පරිදි සවි කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ ගබඩාකර තැබීම නොකළ යුතුය.

ජනාධිපති ආඥාවෙන් සිදුකෙරෙන යුද හමුදා රෙජිමේන්තු සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානයකදී හැර කිසිම සලකුණක්, විශේෂ ලාංඡනයක්, අකුරක්, වචනයක්, රූපයක්, මෝස්තරයක්, පින්තූරයක් හෝ චිත්‍රයක් ජාතික කොඩිය මත තැබීම නොකළ යුතුය.

කිසියම් දෙයක් දැමීම, දමා තබාගැනීම, ගෙන යෑම හෝ ගෙන ගොස් භාරදීම සඳහා උපයෝගී කරගනු ලබන මල්ලක් හෝ බඳුනක් ලෙස ජාතික කොඩිය භාවිත නොකළ යුතුය.

කිසිම ආකාරයක වෙළඳ දැන්වීම් ප්‍රචාරයක් සඳහා ජාතික කොඩිය යොදා නොගත යුතුය.

ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගසට හෝ යොතට වෙළඳ දැන්වීම් සම්බන්ධ පුවරු කිසිවක් සම්බන්ධ නොකළ යුතුය.

ජාතික ධජය කිසිම වාහනයක වහල මුදුන දෙපස හෝ වාහනයේ පසුපස හෝ ආවරණය කිරීම සඳහා භාවිතා නොකළ යුතුය.


විදේශයකදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම

ජාතික කොඩිය විදේශයන්හි භාවිතා කරන විටදී විදේශයක සිටින ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් විසින් එකී දූත මණ්ඩල කාර්යාලයෙහි දූත මණ්ඩල ප්‍රධානියාගේ නිවසෙහි සහ දූත මණ්ඩලයේ ප්‍රධානියාගේ ඉදිරියේදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලැබීමේදී ශ්‍රී ලංකා කොඩියට අයත් රීති සංග්‍රහයට අමතරව ඔවුන් දූත මෙහෙය සඳහා පත්කරනු ලැබ සිටින රටෙහි පවත්නා කොන්දේසිවලටද එකී රටෙහි සිටින වෙනත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග අනූවද කටයුතු කළ යුතුය.ශ්‍රී ලංකාව සහභාගී වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ හැක්කේ අදාළ නීතිරීතිවලට අනූවයි.


ජාතික කොඩියේ සංකේත භාවිතය

සිංහරුව - විනය, ප්‍රඥාගෝචර බව, ශක්ති සම්පන්න බව, වීරත්වය, එඩිතරකම

සිංහයා අතැති කඩුව - අයුක්තියට එරෙහිව ස්වාධිපත්‍යය, පරම බලය

සිංහ හිසේ මුදු සහිත කෙස් - ආගමානුකූල බව, භාවනානුයෝගී බව, ප්‍රඥාව

සිංහ ගෙලේ කේසර විස්ස - දශ ශීල, දස පාරමිතා

සිංහ බලේ කේසර රැලි විසි හතර - සතර කර්ම ක්ලේෂ, සතර අගති, ධන විනාශමුඛ හය, සතර සංග්‍රහ වස්තු, ෂඩ් දිශාඅනෙකුත් කේසර - දාන, ශීල, භාවනා

සිංහ මුහුණේ රැවුළ - පාරිශුද්ධ බව

සිංහ නාසය - බුද්ධිමත් බව, හරි වැරදි හඳුනාගැනීම

සිංහ වල්ගේ නැමි අට - අටලෝ දහම

සිංහ පාද සතර - කල්‍යාණ මිත්තතා, උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, සමජීවිකතා

සිංහ පාද සතරේ නිය - ශ්‍රද්ධා, ශීල, ත්‍යාග,

ඒ.සී.එස් නවීලා 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.