පුවත් පත් කලාවේදීන් බිහිකරන විශේෂිත ග්‍රහයෝග

පෙබරවාරි 14, 2020

ලෝකයේ පවතින විවිධ වෘත්තීන් අතුරින් පුවත්පත් කලාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. වර්තමානයේ දී සමස්ත ලෝකය පුරාම ක්‍රියාත්මකවන තොරතුරු තාක්ෂණයට ඓතිහාසිකව මුලින්ම දායකවී ඇත්තේ පුවත්පත් කලාවයි.

එසේම එම තොරතුරු තාක්ෂණයට අයත් මූලාශ්‍ර අතුරින් තවමත් ඉදිරියෙන් සිටින්නේ පුවත්පත් කලාව බව පෙනේ. මෙවන් ගෝලීය වැදගත් කමකින් යුත් පුවත් පත් බිහිවන්නේ පුවත්පත් කලාවේදීන් අතිනි. එම නිසාම එය ලෝකයේ කාගේත් සිත් දිනාගෙන ඇති වෘත්තියක් ලෙස සැලකේ. කුඩා ගම්මානයක සිට සමස්ත ලෝකය පුරාම සිදුවී ඇති, සිදුවෙමින් පවතින සහ සිදුවීමට ඉඩ ඇති සෑම විෂය ක්ෂේත්‍රයකටම අයත් සෑම දෙයක්ම පුවත්පත් මඟින් සන්නිවේදනය කරනු ලබන්නේ එම තොරතුරු තාක්ෂණය ගැන ප්‍රවීණත්වයක් ලත් පුවත් පත් කලාවේදීන් දුක, ආදරය, පී‍්‍රතිය, කරුණාව, ක්‍රෝධය, පහර දීම්, මරණය, ශුභසාධනය, විමුක්තිය පිළිබඳ කරුණු සහ සැඟවුනු දෑ හෙලි කිරීම වැනි සෑම දෙයක්ම අප වෙත නිරතුරුවම ගෙන එනු ලබන්නේ පත්‍ර කලාවේදීන් විසිනි. මේ අනුව පුවත් පත් වල කාර්යභාරය වන්නේ පුවත් සහ තොරතුරු එක්රැස් කිරීම, ඒවා තක්සේරු කිරීම, බිහිකිරීම සහ විශ්වසනීය මෙන්ම සත්‍යතාවයකින් යුතුව ආකර්ශනීය ලෙස ඉදිරිපත් කිරීමයි. මේ නිසාම විද්වතුන් පෙන්වා දෙන්නේ පුවත්පත් කලාවේදියකුට නොකළහැකි දෙයක් නැතිබවයි. එසේම මෙම කලාවේදීන්ට කුඩා දියබිඳුවක් සාගරයක් දක්වා විශාල කළ හැකි බවද පෙන්වා දී ඇත. සාමාන්‍යයෙන් මෙම වෘත්තියේදී වඩාත් වැදගත් වන්නේ විචිත්‍ර වචනවලින් සමන්විත ආකර්ශනීය භාෂා විලාශයක් සහ දක්ෂ ලෙස ලිවීමට ඇති හැකියාවයි.

ඡ්‍යොතිෂයට අනුව සරස්වතී දේවියගේ මෙන්ම ලක්ෂ්මී දේවියගෙන් ලත් වර ප්‍රසාදය මත පුවත්පත් කලාවේදීන් තම වචන සහ වැකි තුළින් වරෙක මුතු ඇට මෙන්ම තවත් විටෙක දැවෙමින් පවතින අකුරු බිහිකරයි. ඡ්‍යොතිෂයෙහි දැක්වෙන පරිදි පුවත් පත් කලාවේදියකුගේ පෑන අයත් වන්නේ යෝගකාරක බුධ ග්‍රහයාට වන අතර එම පෑනෙහි ඇති තීන්ත අයත් වන්නේ යෝග කාරක කුජ ග්‍රහයාටය. මේ අනුව කුජ සහ බුධ සංයෝගය තුළින් ප්‍රවීණ පුවත් පත් කලාවේදීන් බිහිවන අතර විශේෂයෙන්ම ජන්ම පත්‍රය තුළ බුධ ග්‍රහයාගේ පිහිටීම මූලික වේ. බුධ ග්‍රහයා බෙහෙවින් ගතික ස්වභාවයකින් යුතු එමෙන්ම සෑම දෙයක් පිළිබඳවම ඉක්මන් ප්‍රතිචාරයක් දක්වමින් ක්‍රියාත්මක වන ග්‍රහයකු ලෙස සැලකේ. යම් ජන්ම පත්‍රයක බලවත් වූ බුධ ග්‍රහයා එම ජන්ම පත්‍රයේම ගුරු ග්‍රහයා සමඟ සංයෝගවූ විට වඩාත් ශුභදායක යෝගයක් ඇතිකරමින් ප්‍රවීන පුවත්පත් කලාවේදීන් බිහිකරයි. එසේම මෙහිදී හය වැන්නද බලපාන බව අමතක නොකළ යුතු ය.

පුවත් පත් කලාවේදීන් සහ ඡ්‍යොතිෂය පිළිබඳව කරුණු දැක්වීමේ දී වැදගත් වන රාශීන් සළකා බැලීමේ දී ලග්නයේ සිට තුන් වැන්නට නැත්නම් වික්‍රමස්ථානයට ප්‍රධාන තැනක් හිමිවේ. ඊට හේතුව එමගින් සමස්ත සන්නිවේදන ක්ෂේත්‍රයම නිවේදනය කරනු ලැබීමයි. එසේම මෙම රාශිය මගින් කතා කිරීමේ කලාව නියෝජනය කරන අතර ආකර්ෂනීය භාෂා විලාසයකින් කතා කිරීමේ සහ ලිවීමේ හැකියාව මෙමඟින් ලබාදෙයි. එසේම ජන්ම පත්‍රයේ පස් වැන්නේ විද්‍යා ස්ථානයෙන්ද යමෙකුට එම හැකියාව ලබාදෙයි, ජන්ම පත්‍රයේ දහ වැන්නෙන් යම් අයෙකුගේ වෘත්තිය හෝ රැකියාව නිවේදනය කරන බැවින් තුන්වන පස්වන සහ දහ වන රාශි අතර ඇති ධනාත්මක සබඳතාවය මත වඩාත් දක්ෂ පුවත්පත් කලාවේදීන් බිහිවේ. ඉහත දැක්වූ පරිදි තවදුරටත් ග්‍රහ පිහිටීම් සළකා බැලීමේදී පළමුවෙන්ම කුජ සහ බුධ යන ග්‍රහයන්ගේ සංයෝගය ඉතා වැදගත්වේ. යම් ජන්ම පත්‍රයක මෙම ග්‍රහ සංයෝගය ශුභවාදීව පවතින විට එම ජන්මියා නිතරම පාහේ පුවත්පත්වලට ලිපි රචනා ඉදිරිපත් කරන කලාවේදියකු බවට පත්වේ. ගුරු ග්‍රහයාගේ සබඳතාවය මෙහිදී වැදගත්වන්නේ අවශ්‍ය දැනුම වර්ධනය කිරීම තුළිනි. එසේම ගුරු ධනයට අධිපති වන්නාසේම කීර්තිමත් ලෙස නමක් දිනා ගැනීමේ යෝගකාරක ද වන්නේ ය. මේ අනුව යම් ජන්ම පත්‍රයක කුජ, බුධ සංයෝගයට එම ජන්ම පත්‍රයේ ගුරු ග්‍රහයා ධනාත්මක ලෙස සම්බන්ධ වීමෙන් ජන්මියා දක්ෂ සහ ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියකු වේ.

ඡ්‍යොතිෂයට අනුව පුවත් පත් කලාවේදියකුගේ ප්‍රවේශය තෝරා ගන්නා ක්ෂේත්‍රය තීරණයවීමට ජන්ම පත්‍රයේ අමාත්‍යකාරක ග්‍රහයාගේ බලපෑම මූලික වේ. නිදසුනක් ලෙස යම් ජන්ම පත්‍රයක අමාත්‍යකාරක ග්‍රහයා සිකුරුවී සඳු ග්‍රහයාගේ බලපෑම ලැබුනුවිට ජන්මියා විසින් තෝරාගනු ලබන්නේ දෘෂ්‍ය ක්ෂේත්‍රයයි මේ අනුව ජන්මියා කැමරා කරුවෙකු නැත්නම් රූපවාහිනී නාලිකාවල කටයුතුවල නිරත අයෙකු බවට පත්වේ. එසේම ඔහුට ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපටවල අත් පිටපත් රචකයෙකු බවටද පත්වීමේ හැකියාවක් ඇත. යම් ජන්ම පත්‍රයක අමාත්‍යකාරක ග්‍රහයාට රාහු, ශනි සහ කේතුගේ බලපෑම ලැබුණුවිට ජන්මියා පුවත්පත් කලාවේදියකු වේ. යම් හෙයකින් ගුරු හෝ ශනි අමාත්‍යකාරක ග්‍රහයන් වූ විට නැත්නම් එම ග්‍රහයන්ගේ බලපෑම ලැබුණුවිට ජන්මියා පුවත් පත් කලාවේ මුද්‍රණ අංශය සමඟ සම්බන්ධ වේ. කෙසේවෙතත් වඩාත් ක්‍රියාකාරී සහ ප්‍රසිද්ධ පුවත් පත් කලාවේදීන් බිහිවන්නේ බුධ සහ කුජ අමාත්‍ය කාරක ග්‍රහයන්වූ විට බව ඡ්‍යොතිෂයෙහි දැක්වේ. එසේම පුවත් පත් කලාව වෘත්තියක් වශයෙන් තෝරා ගැනීමට යම් අයෙකු උනන්දුවක් දක්වන්නේ නම් ජන්ම පත්‍රයේ තුන් වැන්නට වැඩි අවධානයක් යොමුකළ යුතු අතර එහි අධිපති ග්‍රහයා සහ තුන්වැන්නේ පිහිටි ග්‍රහයන්ගේ සංයෝග උච්චවීම් ස්ව ක්ෂේත්‍රවීම් යනාදියද ගැඹුරින් සලකා බැලිය යුතු අතර අමාත්‍යකාරක ග්‍රහයා හඳුනාගෙන එම ග්‍රහයාගේ බලවත් බව සහ පීඩාවට පත් නොවීම යනාදියද සැළකිල්ලට ගත යුතු වේ.

 

ටී.එම්. කුලරත්න.

මනෝවිද්‍යා, ව්‍යාපාර සහ

ඡ්‍යොතිෂ උපදේශක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.