2024 අලුත් අවුරුදු ලග්න පලාපල

අප්‍රේල් 5, 2024

 

වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ආයුබලය, ධනබලය, පිරිස්බලය ගෙන දෙන ආගමික අංශවලට ද නැඹුරු කරන පංච මහා පුරුෂ යෝගයක් වන සස යෝගය සහ මේෂ, මිථුන, කටක, කන්‍යා, තුලා, ධනු, මකර, මීන ලග්නවලට ඉතිරි කර ගැනීම, තැන්පත් කර ගැනීම තුළින් ජීවිතයේ ජයග්‍රහණ ලබා දෙන ජය යෝගය ද මේ හැර සිකුරුගෙන් මාලවි යෝගය සහ මහෞෂධ යෝගයද රවිගෙන් මයුරපාල යෝගය ද උදාකරමින් 2024 නව වසර ආරම්භ වන වගයි.

මේෂ ලග්නය

මයුරපාල යෝගයෙන් - අතමිට සරුවේ

අලුත් අවුරුද්ද උදාවෙද්දී රවි, ගුරු ලග්නගතව ගමන් කරන අතර, ලග්නාධිපති කුජ සෙනසුරු සමඟ අයස්ථානගතව ගමන් කරයි. සඳු තුන්වැන්නේ, කේතු හයවැන්නේ සහ බුධ, සිකුරු, රාහු වැයස්ථානයේ ගමන් කරයි. රවිගෙන් මයුරපාල යෝගය සිකුරුගෙන් මහෞෂධ යෝගය ශනිගෙන් ජය යෝගය යන සුබ යෝගද යෙදී ඇත.

ගෘහ ජිවිතය

නව වසර බලවත් අසුබ ඇති නොවේ. ගෙදර දොර වාසනාව ඇති වේ. ආරම්භ කරන වැඩවලින් දියණූුව ඇති වේ. ශරීර ශක්තිය, ආත්ම විශ්වාසය ඇති කරයි. කරන කියන කටයුතු අලස බවකින් තොරව කරගෙන යාමට අවකාශ සැලසෙනු ඇත. නොසැලෙන උදාර ආඩම්බර ගතියකින් යුතුªව කටයුතු සිදු කෙරෙනු ඇත.

තමා ඇසුරු කරන පිරිස අතර ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට කරුණු කාරණා යෙදෙනු ඇත. වගකීම් බාර ගෙන නිවැරැදිව විශ්වාසවන්තව, යුක්තති සහගතව එම කටයුතු ඉටු කිරීමට අවකාශ සැලසෙනු ඇත. චිත්ත ඒකාග්‍රතාවයෙන් යුතුªව කටයුතු කරනු ඇත. පෙර පින් පෑදෙන කාලසීමාවකි. බලාපොරොත්තු ඉටුවන කාලයකි. දියණුවීමට අවකාශ සැලැසේ. අන්‍යයන්ගේ ගරු සැලකිලි නොඅඩුව හිමිවෙයි. විවාහ කටයුතු සපලවන කාලයකි. රූපශෝභාව වැඩිවීමට කරුණු යෙදෙයි. සියුම් දේට ඉතා ප්‍රිය වෙයි. තීක්ෂණ කල්පනාකාරීත්වයෙන් කටයුතු කරන කාලසීමාවකි. කාහටත් ප්‍රිය කතා ඇත්තෙක් වෙයි. උගත් මිතුරන් ඇසුරට ලැබෙන කාලයකි. ඔවුන්ගෙන් තම යහපතට උපකාර ලැබේ. ස්ත්‍රීන් ඇසුරේ දී පරිස්සම් විය යුත්තේ ඔවුනගෙන් පාඩු විදීමට සිදු වන බැවිණි. විවාහ වූ අය නම් සැමියාගෙන් බිරියටත් බිරියගෙන් සැමියාටත් ලාභ සහ සැප ලැබේ.

සෙනසුරු දශා තිබෙන අය වංචාකාරයන්ගෙන් සොර සතුරු කරදරවලින් ආරක්ෂාවීමට වග බලාගත යුතුය. ගරු සැලකිලි මෙන්ම සැප ලැබීම් ද ඇති වේ. ප්‍රසිද්ධිය සමඟ ලාභ ලැබේ. සතුරන්ගෙන් ජය ලැබේ. ප්‍රීතිමත් වාසනාවන්ත කාලයෙකි. නව ගෘහ උපකරණ මිලදී ගැනීමට හැකි වේ. එහෙත් සිකුරු දශා ගත කරන අයට අවනම්බු ආදියට මුහුණපෑමට සිදු විය හැකිය. එනිසා කල්පනාකාරීව කටයුතු කිරීම යහපත් වේ.

රැකියාව හා ආර්ථිකය

ආර්ථික ස්ථාවරය ඇති වේ. ධනය උපයන මාර්ග දියුණු වේ. ආදායම් මාර්ග සරුවේ. අනතුරු පීඩා ගැනද සැලකිලිමත් විය යුතුය. අවිවේකය මෙන්ම වියදම් වැඩිවන අවස්ථාද ඇති විය හැකිය. ලැබීමේ වාසනාව පවතී. අලංකාරය, විනෝදය වෙනුවෙන් කාලය, ධනය වැයවීමට ඉඩ තිබේ. ගුරු දශා ගත කරන අය මැයි සිට මුදල් වැය කිරීම ගැන සැලකිලිමත් විය යුතුය.

අධ්‍යාපනය

සැලකිල්ලෙන් කටයුතු කළහොත් ඉගෙනීම දියුණු කර ගත හැකිය. ඥානය වැඩි දියුණු කර ගැනීමේ වාසනාව පවතී. විභාග පරීක්ෂණාදියෙන් ජයග්‍රහණය ලබා ගැනීමට ද හැකියාව පවතී. උසස් අධ්‍යාපන කටයුතුවලට ද යහපත් වෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බලාපොරොත්තු පරිදි අසහන ඇති නොවන පරිදි කර ගැනීමට හැකියාව ද ඇති වේ. විශේෂයෙන් ඉගෙන ගන්නා අය අලසකම් පසෙකලා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුය. නැතිනම් ඉගෙනීමට බාධා වේ. අධ්‍යාපන කටයුතු සඳහා ගමන් බිමන් මෙන්ම විදේශ ගමන් යෙදීමට ද ඉඩ තිබේ. ගවේෂණ කටයුතුª, පර්යේක්ෂණ කටයුතුවල නිරතවීමට යහපත් කාල සීමාවකි. රහස් , ගුප්ත ශාසුත්‍රයන් හැදෑරීමට මෙන්ම විවිධ භාෂා ඉගෙනුමට අවකාශ ලැබෙන යහපත් කාලයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබදායකය. ජයග්‍රහණ හිමිවේ. සංගීතය, කලා කටයුතු ඉගෙනුමට යහහපත්ය. උසස් ඉගෙනීමක් ලද හැකි කාලයකි.

සෞඛ්‍යය

ඉතා යහපත් ශරීර ශක්තියෙන් යුතු කාලයකි. නීරෝගි වේ. ධාරණ ශක්තියෙන් යුතු ශක්තිමත් ශරීරයක් හිම වන කාලයකි. එහෙත් උෂ්ණාධික රෝග පීඩා, ලේ දෝෂ රෝග, හිස ආශි‍්‍රත රෝගද ඇති විය හැකි බැවින් සෞඛ්‍ය ගැන අවධානයෙන් ද කටයුතු කළ යුතුය. සිතේ අසහනගතිද ඇතිවිය හැකිය. කේතු දශා තිබෙන අයට උදරගත රෝග පීඩා මෙන්ම ශල්‍යකර්ම යෙදීමටද ඉඩ ඇත. ඥාතීන් සමඟ වියවුල් ඇතිවීමටද ඉඩ තිබේ. ඉවසීමෙන් කටයුතු කළ යුතුය.

අය - 11 වැය - 14

ජය අංකය – 6, 8, 9

ජය වර්ණය – නිල්

සුබ මැණික් – රතු කැට

ජය දින – අඟහරුවාදා,සෙනසුරාදා,ඉරිදා

සුබ දිශාව – නැඟෙනහිර

ජය මාස – ජනවාරි, පෙබරවාරි

---------------------------

වෘෂභ ලග්නය

සස යෝගයෙන් - ධනය වැඩි වේ

අවුරුදු උදාවේදී ලග්නාධිපති සිකුරු උච්ච බලයෙන් බුධ රාහු ද සමඟ අයස්ථානයේ ගමන් කරයි. සඳු දෙවැන්නේ කේතු පස්වැන්නේ කුජ, ශනි දහයේ සහ රවි ගුරු වැයස්ථානයේද ගමන් කරයි. ශනිගෙන් සස යෝගය, සිකුරුගෙන් මහෞෂධ යෝගය, රවිගෙන් මයුරපාල යෝගය ද යෙදී ඇත.

ගෘහ ජිවිතය

මහන්සියකින් තොරව ධනය උපයා ගැනීමේ භාග්‍යය පවතී. ගුණයහපත්කම නිසා සමාජ කටයුතුවලට යොමු වේ. පිරිස් බලය ද ඇති වේ. බුධගේ නීචය භංගවී ඇත. නොසිතූ ආකාරයට කටයුතු සාර්ථක වේ. ගෙදර දොර දියුණුව ඇති වේ. ප්‍රශ්න ගැටලු මඟ හැරී යන වර්ෂයක් වෙයි.

කුජ දශා ගත කරන අයට මංගල යෝගද උදාවේ. අන්‍යයන්ගේ බසට අවනතව කටයුතු කිරීමට යෑමෙන් තම මනුෂ්‍ය ගුණ ධර්ම හීන වී යා හැකිය. එනිසා මිතුරන් හා සමාජය ඇසුරේ දී කල්පනාකාරී විය යුතු වේ.

රැකියාව හා ආර්ථිකය

රැකියාවේ ස්ථානමාරු වීමට ඉඩ ඇත. එසේ ඇති වුවත් එය යහපත පිණිස වේ. රවි දශාගත කරන අයට විදේශ ගමන්ද යෙදිය හැකිය. අදහස් කරන දේවල් විටින් විට වෙනස්වීමටද ඉඩ තිබේ. වෙළෙඳ ව්‍යාපාර වාණිජ කටයුතු සාර්ථක ලෙස කළ හැකිය.

වියදම් තරමක් වැඩි වේ. ගුරු දශා ගත කරන අයටද ආර්ථික අපහසුතා ඇති වේ. මැයි සිට තත්ත්වය සමනය වේ. සෙනසුරු වෘෂභයට සුබයි. රැකියා නිලතල ලැබීමට වාසනාව පවතී. උසස් තත්ත්වද හිමිවේ. අනුන්ගෙන් ප්‍රශංසා ලබන විදියට කටයුතු කළ හැකිය. රාහු දශා තිබේ නම් කොන්ත්‍රාත් වැනි කටයුතු දියුණු ලෙස සිදු කළ හැකිය. නිර්භීතව කටයුතු කිරීමට ධෛර්ය ඇති වේ. යුක්තියට ගරු කරයි. නරකනාම, අවනම්බු ඇතිවීම් ද ඉඩ තිබේ. කේතු දශා තිබෙන අයට සමඵලදායක වේ. දරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ දියුණුවට මුදල් වැයකිරීමට සිදු වේ.

අධ්‍යාපනය

ඉගෙනීම දියුණු වේ. මැයි මස සිට අධ්‍යාපනයට ඇති බාධා මඟ හැරී යයි. ගුප්ත විද්‍යා හදාරන අයට සුබ කාලයෙකි. ගුප්ත විද්‍යා රහස් කටයුතු වෛද්‍ය ක්‍රම හදාරණ අයට උසස් ප්‍රතිඵල ලද හැකිය. පසු කාලයේ ඒවායේ ප්‍රතිඵල අඩු නැතිව ලැබේ. තරග විභාගවලින් අපේක්ෂා කළ ප්‍රතිපල ලැබීමට නම් ධෛර්යවත්ව අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වියදම් කිරීමට සිදු විය හැකිය. විදේශ අධ්‍යාපන කටයුතු සඳහා හිමිකම් පවතී.

සෞඛ්‍යය

කෙණ්ඩාවල රෝග පීඩා මෙන්ම, සෙම් දෝෂ රෝග ඇති වේ. උදරගත රෝග ද උෂ්ණ පීඩා ආදී රෝග තත්තවයන් මතුවිය හැකිය. ලේ විෂවීම, සීරීම් තුවාල, උගුරේ අමාරු ඇති විය හැකිය. දරුවන්ටද අසනීප ලෙඩ රෝග ඇති විය හැකිය. තම සෞඛ්‍යය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම යෝග්‍ය වේ. ශල්‍යකර්මවලට භාජනයවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි විය යුතුය.

අය - 05 වැය - 08

සුබ දිශාව – නැඟෙනහිර

ජය අංක – 5, 6, 8

ජය වර්ණ – කොළ , සුදු

ජය දින – බදාදා, සිකුරාදා,

ජය මාස – පෙබරවාරි, මාර්තු

සුබ මැණික් – පච්චගල්

--------------------------

මිථුන ලග්නය

මාලවී යෝගයෙන් - සුබ සිද්ධිය යහපත

මේ අවුරුද්ද උදාවෙද්දී මිථුන ලග්නයේ ලග්නාධිපති බුධ, සිකුරු, රාහු සමඟ කර්මස්ථානයේ ගමන් කරන අතර, සඳු ලග්නයේද කේතු හතරේ, කුජ ශනි නවයේ රවි, ගුරු අයස්ථානයේද ගමන් කරයි. සිකුරුගෙන් මාලවී යෝගයද රවි ගෙන් මයුරපාල යෝගයද ශනිගෙන් ජය යෝගය ද යෙදී ඇත. නීචභංග රාජ යෝගයද ඇත.

ගෘහ ජිවිතය

ගෘහ දිවිය වඩාත් සුබදායක වේ. බුධ, සිකුරු දශා ලබා තිබෙන අයට මේ තත්ත්වය උපරිමව විදීමට හේතු වාසනා වෙයි. කරන කියන හැම දෙයකම යහපත දියුණුව, සුබ සිද්ධිය ඇති කරයි. ධනය, සම්පත් ලැබෙන කාලසීමාවකි. රටේ ප්‍රසිද්ධියට පත් වේ. අන්‍යයන් සමඟ කටයුතු කිරීමට සිදුවන කාල සීමාවක් බැවින් ඉවසිලිවන්තව අන් මත විමසා කටයුතු කළ යුතුයි. ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය හා සම්බන්ධතා ඇති වන කාලයෙකි.

රවි දශා ගත කරන අය, අයුක්තියට එරෙහි වන අතර, තම මතයට කටයුතු කරයි සාධාරණයට ගරු කරයි. පොදුවේ කටයුතු කරන අදහස් ඇති වේ. කුජ දශා ගත කරන අයගේ දියුණුවට තරමක් බාධා ඇති වුවත් එය අභිබවා කටයුතු කළ හැකිය.

සහකරු හෝ සහකාරිය හේතු කොට පවුලේ දියුණුව ඇති වේ. ගුරු දශා ඇති අයට මංගල යෝග උදා වේ. මිතුරන්ගෙන් දියුණුවට උපකාර ලැබිය හැකිය. දැනුම, බුද්ධිය, ධනය ඇති කෙනෙක් විවාහයට ලැබිය හැකිය. මානසික වර්ධනය මෙන් ශාරීරික වර්ධනය ද ඇති වේ. ආගමික කටයුතුවලින් ප්‍රසිද්ධිය ඇති වේ. විවේකය අඩු කරයි. නොයෙක් දේවල් පසුපස හඹා යාම දියුණුවට බාධාවකි. රාහු දශා ගත කරන අය ඕනෑම දේකට නොබියව ඉදිරිපත් වේ. කේතු දශා ගත කරන අයට හිතේ බිය ඇති වේ. සතුරු කරදර තිබුණද දියුණුවට මංපෙත් විවර කරගත හැකිය.

රැකියාව හා ආර්ථිකය

සඳුගෙන් දහයේ ලග්නාධිපති යෙදීම රැකියා ආදී කටයුතු සඳහා සුබදායක වේ. රැකියාවේ වෙනස්වීම්, මාරුවීම් ඇති වුවත් ඒවා ඉතා යහපත් වේ. දියුණුව ඇති වේ. සඳු දශා ඇති අයගේ රැකියා අංශද දියුණු වේ. ධන ලාබ ද යෙදේ. ඉඩකඩම්, දේපළ ද ලැබිය හැකිය. සෙනසුරු දශා තිබෙන අයටද එතරම් වරදක් නැත. ඉඩකඩම්, භූමිලාභ ලැබීමේ වාසනාව මතු වේ. රාහු දශා ඇති අයට ස්ථානමාරු රැකියා අංශවල කරදර බාධා ඇති විය හැකිය.

අධ්‍යාපනය

ඉගෙන ගන්නා අයට යහපත් වේ. අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට හැකියාව ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු සඳහා අඩි තාලම යෙදෙනු ඇත. උසස් අධ්‍යාපන කටයුතු සඳහා භාග්‍යය ඇත. අධ්‍යාපන කටයුතුවලදී තම අනාගතයට යහපත් වන ලෙස දුර දිග සිතා බලා කටයුතු කළ යුතුය. අධ්‍යාපනය ලබන දරුවන් අනවශ්‍ය බැදීම්වලින් දුරස්ව කටයුතු කළයුතුය. මිථුන ලග්න හිමියන්ට ඉගෙනීම අධ්‍යාපන ශාස්ත්‍රිය කටයුතුවලට මේ කාලය වරදක් නැති බැවින් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට ද බලය උදාවී පවතී. බාධක ඇති වුවත් නොසැලී කටයුතු කිරීමෙන් ජය ගත හැකිය. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කටයුතුවලටද යහපත් වසරකි. ඒ අයගේ සියලු අධ්‍යාපනික කටයුතු සුබ දායක වෙයි.

සෞඛ්‍යය

පීනසය සෑදිය හැකිය. ඇස් රෝග ස්නායු අබාධ වලට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. හිස ආශ්‍රිත රෝග සහ තුවාල පීඩා සමේ රෝග ඇති වීමට ඉඩ තිබේ. ලේ විෂවීමේ රෝගද යෙදිය හැකිය. ඒ නිසා මේ කාලයේ තමාගේ සෞඛ්‍යය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය.

අය - 11 වැය - 05

සුබ වර්ණය – කොළ,

විසිතුරු පාට

සුබ මැණික් – පච්චගල්

ජය දින – සඳුදා, සිකුරාදා,

ජය අංක 03

සුබ දිශා – උතුර, නැඟෙනහිර

--------------------------------

සිංහ ලග්නය

සස යෝගයෙන් - භූමියෙන් ලාභ

නව අවුරුද්ද උදාවෙද්දී සිංහ ලග්නයේ ලග්නාධිපති රවි ගුරු සමඟ උච්ච බලයෙන් නවයේ ත්‍රිකෝණගතව ගමන් කරන අතර, කේතු දෙවැන්නේ කුජ, ශනි හත්වැන්නේද බුධ, සිකුරු අට වැන්නේද සඳු අයස්ථානයේද ගමන් කරයි. ශනි ස්වක්ෂේත්‍රව සස යෝගය උදාව ඇති අතර සිකුරු මහෞෂධ යෝගයද, රවි මයුරපාල යෝගයද උදාකර ඇත.

ගෘහ ජීවිතය

ඔබට ප්‍රීතිමත් කාලයෙකි. ශරීර සැපය ලැබෙන හම දීප්තිමත් කරන කාලයෙකි. සතුට මිතුරුදම් දියුණුව ඇති වේ. යෝග බලය නිසා යහපත සෙත ශාන්තිය ආයුබල නිල බල ඇති කරන යහපත් කාලසීමාවක් ඔබට උදාවනු ඇත. රවි දශා ඇති අයට සුබයි. විදේශ ගමන් විදේශ සම්බන්ධතා රාජ්‍ය අංශයෙන් උපකාර සැලකිලි ඇති වේ. ප්‍රසිද්ධිය වාසනාව ඇතිවේ. මානසික ශක්තිය නීරෝගි බවද ඇති වේ.

බුධ දශා ගත කරන අයට මුතු, මැණික් ආදී පොළොවෙන් ලැබීම්වලටද වාසනාව උදා වේ. බලාපොරොත්තු නොවුණ විටෙක ධනය ලැබීමට ද ඉඩ ඇත. නීච භංග රාජ යෝගය නිසා යහපත් පල ලැබේ. රහසිගත කටයුතුවලටද කැමැත්ත ඇතිවේ. සිකුරු දශා ගත කරන අයට සුබයි. කරදර බාධාවලින් ආරක්ෂා විය හැකිය. කුජ දශා ගත කරන අයට තරමක් කරදර බාධා එල්ල විය හැකිය. වියදම් වැඩි වේ. ඥාති මිත්‍රාදීන් අතර අමනාප භේද ඇති විය හැකිය. ගුරු දශා ගත කරන අයට උරුම හිමිකම් ලැබේ. සමාජයෙන් ගෞරව ලැබිය හැකිය. සෙනසුරු දශා ගත කරන අවිවාහක අයට මංගල යෝග උදාවේ. යහපත් ලෙස කටයුතු කරයි. සඳු දශා ගත කරන අයටද යහපත් සුබපල ලැබේ. රාහු කේතු දශා ගත කරන අයට සුබ නැත. කරදර බාධා ඇතිවේ. ඉවසීම අඩුවේ. යුග දිවියේ සතුට අඩු විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

රැකියාව හා ආර්ථිකය

රැකියා අංශවලට බාධා කරදර ඇති වුවත්, ඒවා බලවත් නොවේ. ගුරු දශා ගත කරන අයට බාධක මැදින් තම කටයුතු සාර්ථක කර ගත හැකිය. සෙනසුරු දශා ගත කරන අයගේ ව්‍යාපාර කටයුතුවලින්ද උසස් ප්‍රතිඵල ලැබිය හැකිය. යානවාහන, ඉඩකඩම් දේපළ ලැබීම් ඇති වේ. මේ කාලසීමාවේ හවුල් ව්‍යාපර කටයුතුවලට එතරම් සුබ නොවන බැවින් හවුල් ව්‍යාපර කටයුතුවලට සම්බන්ධ වීමේදී දෙවරක් සිතා බලන්න.

අධ්‍යාපනය

උපතේදී ගුරු, බුධ, කුජ බලවත්ව සිටි සිංහ ලග්න හිමියන්ට විවිධ භාෂාවන් විවිධ විෂයන් ඉගෙනීමට අවස්ථාව උදාවන අතර පිටස්තර අයගේ උපකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය හැකිය. දරුවන්ට සුබ කාලයකි. උසස් ශාස්ත්‍ර ඉගෙන ගත හැකිය. විවිධ භාෂා මෙන්ම ගුරු උපකාරද නොඅඩුව ලැබිය හැකිය. එහෙත් රාහු කේතු දශා ගත කරන අයගේ ඉගෙනීම් ආදියටද බාධා වේ. රැවටීම් මුලාවීම්වලට ලක්විය හැකිය.

සෞඛ්‍යය

ශරීර සනීපයට බාධා වේ. මූත්‍රා ආශි‍්‍රත රෝග පීඩා, තුනටියේ අමාරු ඇති විය හැකිය. ආර්ථික අපහසුතා ඇති වේ. ඇස්වල දත්වල අබාධ ඇතිවිය හැකිය. පිත් සේම කෝපවන රෝග ඇතිවීමට ද ඉඩ ඇති බැවින් සීතල ආහාර පාන ගැනීමේ දී සැලකිලිමත් විය යුතුය.

අය - 08 වැය - 14

සුබ වර්ණය – රතු

සුබ මැණික් – බෙරලියන්තු

ජය දින – බදාදා, සිකුරාදා

ජය අංකය – 09

සුබ දිශාව – උතුර, දකුණ,

ජය මාස – අපේ‍්‍රල්, මැයි

------------------------

කටක ලග්නය

මාලවි යෝගයෙන් - විදේශ ගමන්

අවුරුද්ද උදාවෙද්දී කටක ලග්නයේ ලග්නාධිපති සඳු දොළොස්වැන්නේ ගමන් කරන අතර, කේතු තුනේ, කුජ ශනි අටේ, බුධ සිකුරු, රාහු නවයේ සහ රවි, ගුරු දහයේද ගමන් කරයි. මාලවී යෝගය, මයුරපාල යෝගය, ජය යෝගය ආදි යෝගද උදාවී ඇත. කටකයට යෝගකාරක වන කුජ, ගුරු දෙදෙනාගෙන් ගුරු බලවත්ව ඇත.

ගෘහ ජිවිතය

ලග්නාධිපති දොළහේ නිසා ප්‍රමාදවී තම කටයුතු සාර්ථක කරගත හැකිය. පදිංචි ස්ථාන මාරු විදේශ ගමන් බිමන් යෙදීමට ද ඉඩ තිබේ. හතුරන්ගෙන් හානි සිදුවිය හැකිය. නඩුහබවලට සම්බන්ධවීම සුදුසු නැත. නෛතික ප්‍රශ්න මතු වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වීම යහපත්ය. කාන්තාවන් හා පිරිමි පාර්ශ්වයන් අතර සම්බන්ධතා තීව්‍ර වනු ඇත. දුක් සහිත කාල සීමාවක් විය හැකි බැවින් පරිස්සම් වීම යහපත් ය. කරන කියන වැඩ කටයුතු දුර දිග බලා කළ යුතුය.

සූදු වැනි කටයුතුවලින් ඈත්විය යුතුය. ඔබ සතුව මෙතෙක් පැවැති පිළිවෙළ, ක්‍රමානුකූල බව පවත්වා ගෙන යාමට සැලකිලිමත් විය යුතු කාලයකි. රෝගීනට දුක් විදින ජනතාවට උදව් උපකාර කිරීමට ඔබ නිතැතින්ම පෙලඹෙන කාලයකි. රවි දශා ගත කරන අයට උසස් යහපත් ප්‍රතිපල ලබා ගැනීමට හැකි වේ. කිසිවකුට යටත් නොවී ස්වාධීනව කටයුතු කළ හැකිය.

බුධ සහ සිකුරු දශා ගත කරන අයටද සුබදායක වේ. කරන කියන කටයුතු දියුණුව වන අතර වන්දනා ගමන් විදේශ ගමන් ආදිය ද යෙදීමට ඉඩ තිබේ. වාසස්ථාන ලැබීම් ආදිය ඇති වේ. පුණ්‍ය කටයුතුවලටද නැඹුරුවන අතර, ගෞරවයට පාත්‍ර වේ. ගුරු දශා තිබෙන අයට ද යහපත් කීර්තිමත් ලෙස කටයුතු කර දියුණුව ඇති කර ගත හැකිය.

සෙනසුරු දශා ගත කරන අයට අෂ්ටම ඒරාෂ්ටකය පවතී. යුගදිවියේ සතුට අඩුවේ. හිතට අසහන කරදර ඇති වේ.

එනිසා කපුටුදානය දෙන්න. සිවුරක් පූජා කරන්න. විනෝද කටයුතුවලින් අපහසුතා ඇති විය හැකිය. කේතු දශා ගත කරන අයට සතුරු කරදර නිසා බිය ඇති වේ. ස්ත්‍රී පක්ෂයෙන් කරදර ඇති වේ. උරුම හිමිකම් ලැබුණත් එහි දියුණුව අඩුය.

රැකියාව හා ආර්ථිකය

ධනය හිමි වුවත් වියදම් අධික විය හැකි කාලයකි. ඒ නිසා මුදල් හා දේපළ සම්බන්ධව කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. රැකියා ආදියට බාධා කරදර එල්ල විය හැකිය. රැකියා කටයුතු, වෙළෙදාම් ආදී කටයුතු ගැන සැළකිලිමත් වන්න.

අධ්‍යාපනය

කටක ලග්න හිමියන්ට මුලදී අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතුවලට බාධා ඇති වුවත් පසුව යහපත් අතට හැරේ. ඉගෙනීම් කටයුතුවලට බාධා ඇති විය හැකි නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට වෙහෙසක් මහන්සියක් දැරිය යුතුය. විදේශගත ඉගෙනීම්වලට ද වාසනාව භාග්‍ය උදාවී පවතී. කලින් කල විෂයයන් වෙනස් කිරීමට ඉඩ ඇත. වෙනත් විෂයවලට මාරුවිය හැකිය.

විශේෂයෙන් අධ්‍යාපන ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් දැරීමට සිදු විය හැකිය. උත්සාහය නිසාම අධ්‍යාපනයෙන් දියුණුවට ප්‍රසිද්ධියට පත්විය හැකිය.

සෞඛ්‍යය

තමාගේ සනීපාරකෂාව ගැන වඩාත් සැළකිලිමත් විය යුතුය. හදිසි අනතුරු පීඩා ගැන සැලකිලිමත් විය යුතුය. වාත පීඩා සමේ රෝග මලමුත්‍රා ආශි‍්‍රත රෝග ඇති විය හැකිය. අපිරිසුදුවට නොසිටිය යුතුය. වෙහෙස වන්නට සිදුවන බැවින් ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරී විය යුතුය.

අය - 05 වැය - 02

සුබ වර්ණ – රතු, කහ

සුබ මැණික් – පච්ච, දියපච්ච,

ජය අංකය 3,5

ජය දින – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

සුබ දිශාව – දකුණ

------------------

කන්‍යා ලග්නය

ජය යෝගයෙන් - රැකියා දියුණුව

නව වසර ආරම්භයේදී කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුධ, සිකුරු සහ රාහු සමඟ නීචභංග රාජ යෝගය උදාකරමින් හත් වැන්නේ ගමන් කර අතර, කේතු ලග්නයේ කුජ, ශනි හය වැන්නේ රවි, ගුරු, අටවැන්නේ සහ සඳු දහයේද ගමන් කරයි. රවිගෙන් මයුරපාල යෝගයද සෙනසුරුගෙන් ජය යෝගය ද සිකුරුගෙන් මාලවී යෝගයද උදාව පවතී.

ගෘහ ජීවිතය

කන්‍යා ලග්න හිමියන්ට යහපත් වසරක් බව කිව හැකිය. වස්තුව හා සැප සම්පත් හිමිකම් සහිතය. ප්‍රීතියෙන් යුතුව කාලය ගත කරන්නට හැකිවෙයි. සතුරු කරදර ඇත්නම් ඒවා අවම වී යන කාලසීමාවකි. මේ කාලසීමාවේ ඔබට සතුරන් නොමැති තරම්ය. ඔබ යටතේ සේවය කරන සේවකාදින්ගේ ගෞරවාදරයට කාන්‍යා ලග්න හිමි ඔබ ලක්වනු ඇත. විවාහ වන වයස නම් යහපත් විවාහයක් සිදු වෙයි. විවාහ දිවියේ යම් යම් අඬදබර ඇතිවිය හැකි බැවින් සැලකිලිමත් විය යුතුය. අන්‍යයන්ට කතා කිරීමේ දී ඒ පිළිබඳ වචන හැසිරවීම යහපත් ලෙස සිදු කිරීමට වගබලා ගත යුතුය. කන්‍යා ලග්නයට බුධ, සිකුරු යෝග කාරක වේ. බුධ, සිකුරු දශා ගත කරන අයට යහපත් වේ.

සතුටුදායක ගමන් බිමන් යෙදෙන අතර කරන කියන කටයුතු සාර්ථක වේ. විදේශ ගමන්ද සාර්ථක වේ. කුමන කරුණකින් හෝ ප්‍රසිද්ධිය ඇතිවේ. කුජ දශා ගත කරන අයට කලාව, සාහිත්‍ය මෙන්ම ආධ්‍යාත්මික අංශවලටද යොමු වේ. ගුරු දශා ගත කරන අයට ද කරදර බාධා අසහන ඇතිවීමට ඉඩ තිබේ. වියදම් වැඩි වේ. දියුණුව ප්‍රමාද වේ. සඳු දශාගත කරන අයට ගමන්බිමන් යෙදේ. රාහු දශා ගත කරන අයට යුගදිවියේ ප්‍රශ්න, කරදර ඇති විය හැකිය. වියදම් වැඩි වේ. අස්ථාන චෝදනා එල්ලවිය හැකිය. කේතු දශා ඇති අයට ද එසේමය.

රැකියාව හා ආර්ථිකය

යහපත් ව්‍යාපාර හා රැකි රක්ෂා කටයුතුවල යෙදීමට හැකි වන කාලයකි. හවුල් ව්‍යාපාරවලින් ලැබෙන ලාභ අලාභ පිළිබඳව හොඳින් විමසා බලා එම ව්‍යාපාරවල යෙදීමට වගබලා ගත යුතුය. මේ කාලය ඇවිදීම් සහිත රැකිරක්ෂාවලට අවතීර්ණ විය හැකි කාලසීමාවක් වෙයි. රැකියා ආදී සියලු කටයුතු දියුණු කර ගැනීමට අවස්ථාව උදාවේ. තම කටයුතු ගැන දැඩි අවධානයකින් කටයුතු කරයි. ව්‍යාපාර සාර්ථක වේ. රවි දශාගත කරන අයට ධනය ලැබීම මෙන්ම ධන හානි ද ඇති විය හැකිය. කුජ දශා ගත කරන අයට තරමක් සුබ මදි. ආර්ථික අපහසුතා ඇති වේ. නමුත් ව්‍යාපාර අංශවලට සුබයි. සෙනසුරු දශා තිබේ නම් සතුරු කරදර රෝග පීඩා ගැන අවදියෙන් කටයුතු කිරීමෙන් ඒවා මඟහරවා ගත හැකිය. එවිට දිවි මග ජය ගත හැකිය.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සඳහා යහපත් කාලසීමාවකි. සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. විභාග ජය හිමිය. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගමන් හිමිකම් ලැබේ. විශේෂයෙන් පොත්පත් ශාස්ත්‍රීය වැඩ කටයුතු සඳහා සුබ කාලයකි. එම කටයුතුවලින් ලාබ ලැබෙනු ඇත. ඉගෙනීමේ යෙදී සිටින අයගේ එම කටයුතු දියුණු වේ. තරග විභාග ආදියෙන් ජය ලැබේ. මැයිවලින් පසු අධ්‍යාපනය සඳහා විදේශගත වීමටද හැකියාව ලැබේ. ඒ ගැන උනන්දු වන්න. දරුවන්ගේ අධ්‍යාපනික දියුණුවට යම් යම් බාධා ඇතිවෙයි. උනන්දුවෙන් කටයුතු කිරීමෙන් බාධක ජය ගත හැකිය.

සෞඛ්‍යය

ඈළිමෑළි ගතිය පහවී යහපත් ශාරීරික ක්‍රියාකාරීත්වයකින් යුතුව කටයුතු කරන්නට ඉඩ ප්‍රස්ථා හිමිවෙයි. වැටීම් තැළීම්වලින් ආරක්ෂා විය යුතුය. බඩේ අජීර්ණ සෑදිය හැකිය. ගර්භාෂගත රෝග ඇති විය හැකිය. උෂ්ණාධික රෝගාබාධ ඇති විය හැකිය. මුත්‍රා වකුගඩු ආශි‍්‍රත රෝග පීඩා යෙදිය හැකිය. බෝධි පූජා පවත්වන්න. රවි දශා ගත කරන අය ගින්නෙන්, විදුලියෙන්, හදිසි අනතුරුවලින් ප්‍රවේශම් විය යුතුය. කුජ දශා ගත කරන අයට උදරගත රෝග පීඩා යෙදිය හැකිය.

අය - 11 වැය - 05

සුබ වර්ණය –කොළ

සුබ මැණික් – පද්මරාග, රතුකැට

ජයදින - බදාදා, සිකුරාදා

ජය අංක – 6, 9

----------------------------

තුලා ලග්නය

මහෞෂධ යෝගයෙන් - යහපත් ප්‍රතිපල

අවුරුදු උදාව ආරම්භයේදී ලග්නාධිපති සිකුරු බුධ සහ රාහු සමඟ හයවැන්නේ උච්ච බලයෙන් ගමන් කරන අතර, කුජ ශනි පහේද, රවි - ගුරු හතේ, සඳු නවයේ, කේතු දොළහේද ගමන් කරයි. රවි උච්චව මයුරපාල යෝගය ද සිකුරු උච්ච වීමෙන් මහෞෂධ යෝගය සෙනසුරුගෙන් ජය යෝගය ද උදාව ඇත. බුධ, සිකුරු, දෙදෙනාම හයේ නිසා නීච භංග වී ඇත.

ගෘහ ජීවිතය

අවුරුදු උදාව යහපත් පල උදා කරනු ඇත. වසරේ මැද සිට ගෘහ ජීවිතය ගැන සැලකිලිමත් විය යුතුය. සතුරු උවදුරු යෙදිය හැකිය. ඥාතියකුගේ හිතවතකුගේ මරණය වැනි කනගාටු සිද්ධි ඇතිවීමට ද ඉඩ තිබේ. පදිංචි ස්ථාන වෙනස්වීම් ඇති විය හැකිය. එහෙත් තමා කැමැති ආකාරයට සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව සැලැසේ. තම නිවෙසට අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීමට මෙන්ම නිවෙස විසිතුරු කරන්නට වැඩපිළිවෙළක් සැකසේ. මැයි මාසයෙන් පසුව සතුරු උවදුරු ඇතිවීමට ඉඩ කඩ වැඩිය. එනිසා ඒ පිළිබඳ විමසිලිමත් විය යුතුය.

සිකුරු දසා ගත කරන අයට ශරීර සනීපයට බාධා යෙදිය හැකිය. ස්ත්‍රී පක්ෂයෙන් කරදර ඇති වේ. කුජ දශා ගත කරන අය ආධ්‍යාත්මික අංශයට ද යොමු වේ. අවිවාහක අයට මංගල කටයුතු උදා වේ. පේ‍්‍රම සම්බන්ධතා ඇති වේ. කරන කියන කටයුතු සාර්ථක වේ.

විවාහ දිවිය යහපත්ව පවත්වාගෙන යාමට අවකාශ සැලැසේ. අඹුසැමි සම්බන්ධතාවය වැඩි දියුණූු වෙයි. ගුරු දශා ගත කරන අයට ගරු සැලකිලි ලබමින් විශ්වාසවන්ත ලෙස කටයුතු කළ හැකිය. හවුල් කටයුතුවලින්ද සාර්ථක ප්‍රතිපල ලැබිය හැකිය. ආශ්‍රය කරන අයගෙන් උදව් උපකාර ලැබිය හැකිය. මැයි සිට බාධා කරදර ඇති විය හැකිය. බුධ දශා ගත කරන අයටද යහපත් ප්‍රතිඵල ලැබේ. ශනි තුලාවට යෝග කාරක වේ.

ස්ථිර අදහස් හා ප්‍රතිපත්තිවලින් යුතුව කටයුතු කරයි. රවි දශා ගත කරන අයට ද සුබ දායකය. දියුණුව ගෙන දෙයි. උනන්දුව උත්සාහය ඇතිවේ. රාහු දශා ගත කරන අයට දුර ගමන් යෙදේ. අලුත් දේට පෙලඹේ. කේතු දශා ගත කරන අයටද සුබ නැත. සතුරු කරදර ඇති වේ.

අධ්‍යාපනය

අධ්‍යාපනයට යහපත් කාලසීමාවකි. දැනුම වැඩිවේ. විශේෂයෙන් බුධ දශා ගත කරන අයගේ කලා කටයුතු සාහිත්‍ය ශාස්ත්‍රීය අංශ දියුණු වේ. ලැබීම් ද ඇති වේ. උසස් ධර්ම ශාස්ත්‍ර ඉගෙනුමට අවස්ථාව සැලැසේ. උරුම හිමිකම් ධන ලාබ ද ඇති වේ. සඳු දශා ගත කරන අයට ද සුබයි.

තුලා ලග්න හිමියන්ගේ ඥානය වැඩි දියුණූුවන කාලයක් බව කිව හැකිය. විභාග ආදි කටයුතු වලින්ද ජය ලැබිය හැකිය. අධ්‍යාපනය ද යහපත් වෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ට අසනීප කරදර සතුරු පීඩා ඇති වීමට ඉඩ තිබේ. ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

සෞඛ්‍යය

උදරාබාධ යෙදීමට ඉඩ ඇතත් යහපත් පැවැත්මෙන් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගත යුතුය. නිදන්ගත හා බෝවන රෝගවලින් ආරක්ෂා විය යුතුය. ගුද මාර්ගය ආශ්‍රිත රෝග පීඩා ඇති විය හැකිය. එබැවින් සෞඛ්‍යය පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුය.

රැකියාව හා ආර්ථිකය

රැකියා ලැබීම් මෙන්ම ඒවායේ දියුණුවද ඇති කරයි. ගෙදර දොර අලංකාරය ඇති වේ. රවි දශා ගත කරන අයගේ ආදායම් මාර්ග සරු වේ. ප්‍රසිද්ධිය ඇති වේ. රාහු දශා ගත කරන අයගේ වියදම් වැඩි වේ.

අය - 05 වැය - 08

ජය අංක – 2, 4

සුබ වර්ණ – ලා රතු

සුබ මැණික් – දියමන්ති

ජය දින – සඳුදා, බදාදා

සුබ දිශාව – නැඟෙනහිර

----------------------

වෘශ්චික ලග්නය

සස යෝගයෙන් - ගෞරව සම්මාන

අලුත් අවුරුද්ද උදාවෙද්දී වෘශ්චිකයේ ලග්නාධිපති කුජ සෙනසුරු සමඟ ලග්නයෙන් හතරේ කේන්ද්‍රගතව ගමන් කරන අතර, බුධ, සිකුරු, රාහු පස්වැන්නේද රවි, ගුරු හයේ, සඳු අටේ කේතු, අයස්ථානයේද ගමන් කරයි. ශනිගෙන් සස යෝගය රවිගෙන් මයුරපාල යෝගය සිකුරුගෙන් මාලවී යෝගයද යෙදී ඇත. උපතේදී සඳු හතරේ සිටි අයට ජන්ම ඒරාෂ්ටකය ද යෙදේ.

ගෘහජීවිතය

මිශ්‍රපල ගෙන දෙන කාලයකි. තදබල අපල නොවේ. දැහැමෙන් කටයුතු කරන අයට අපලවල අගුණ ඇතිවීම අඩුය. අධර්මවාදී අයට වැඩි අපල ඇතිවේ. වාහන ඉඩම් ගේ දොර වැනි ලැබීම් ද ඇති විය හැකිය. පවුලේ විශේෂ අයෙකුට ධන ලාබ වාහන ලාභ හිමි වන බව පෙනේ. විවිධ ස්ථානයන්හි සංචාරය කරන්නත් විසිතුරු දේ ලබා ගැනීමටත් පෙලඹෙන කාල සීමාවකි. හොඳ ආහාර පාන සංග්‍රහයන්ගෙන් ඔබට අඩුවක් නොවේ. යන යන තැන කෑම බීම ලැබෙයි.

වාසානවන්ත දරු උපත් හිමි වේ. කුජ දශා ගත කරන අය ආධ්‍යාත්මික අංශයටද යොමු වේ. ගුරු දශා ගත කරන අය තම ගෘහ ජීවිතය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. ඒ සතුරු කරදර ඇති විය හැකි බැවිනි. මැයි සිට තත්ත්වය යහපත් වේ. කරන කියන කටයුතු දියුණු වේ. ගෞරව සම්මාන හිමි වේ. සෙනසුරු දශා ගත කරන අයටද එතරම් වරදක් නැත. සමාජයේ විශ්වාසය දිනාගෙන කටයුතු කළ හැකිය.

ගේ දොර ඉඩකඩම් හිමිවේ. සිකුරු දශා ගත කරන අයට මංගල යෝග උදා වේ. දියුණුව ඇති වේ. ගමන් බිමන් යෙදේ. බුධ දශා ගත කරන අයට ද ධන ලැබීම් ඇති කරන අතර, කරන කියන කටයුතු දියුණු වේ. රාහු දශා ගත කරන අයට ගමන් බිමන් යෙදේ. කේතු දශා ගත කරන අයට භූමියෙන් ලැබීම් ඇති වේ.

සෞඛ්‍යය

ගුරු දශා ගත කරන අයට රෝගපීඩා යෙදිය හැකිය. උෂ්ණ රෝග මෙන් ඇස්වල පීඩා ඇති විය හැකිය. සෙනසුරු දශා ගත කරන අයට වාත රෝග පීඩා ඇතිවිය හැකිය. ඇස්වල අමාරුද යෙදිය හැකිය.

අධ්‍යාපනය

පොදුවේ ගත් කල ඉගෙනීම්වලට යම් යම් බාධා ඇතිවේ. එහෙත් අධ්‍යාපන කටයුතු දියුණු වේ. බුධ දශාගත කරන ඉගෙන ගන්නා අයට යහපත්ය. සඳු දශා ගත කරන අයට ද යහපත්ය. වගකීමෙන් යුතු දොස් නාසන ආකාරයට කටයුතු කළ හැකිය. ගමන් බිමන් විදේශ ගමන් යෙදේ. රාහු දශා ගත කරන අයගේ ඉගෙනීමේවලට බාධා ඇති වේ. අධ්‍යාපනික කටයුතුවලට වරදක් නැත.

තමන් උගත් කරුණු අනුව ප්‍රසිද්ධිය ඇතිවීමට ඉඩ තිබේ. ගුප්ත විද්‍යා ඉගෙනීම්වලට ද ඉතා සුබයි. මැයි සිට දරුවන්ගේ කටයුතු දියුණු වෙයි.

රැකියාව හා ආර්ථිකය

රැකියා ස්ථාන මාරු යෙදිය හැකිය. එහෙත් රැකියා අංශ දියුණු වේ. රවි දශා ගත කරන අයටද රැකියා ලාබ ඇති වේ. ඒවා දියුණු වේ.

අය - 11 වැය - 14

සුබ වර්ණය – රතු

සුබ මැණික් – පුෂ්පරාග,

ජයදින – ඉරිදා

සුබ දිශාව – උතුර

ජය අංක – 1,2,10

---------------------

ධනු ලග්නය

මාලවී යෝගයෙන් - සිතුම් පැතුම් ඉටු වේ

නව අවුරුද්ද උදාවෙද්දි ලග්නාධිපති ගුරු රවි සමඟ පස්වැන්නේ ගමන් කරන අතර, කුජ ශනි තුන්වැන්නේ බුධ, සිකුරු, රාහු හතරවැන්නේ සඳු හතේ සහ කේතු දහයේද ගමන් කරයි. සිකුරුගෙන් බුධගෙන් නීචභංග රාජ යෝගයද, රවිගෙන් මයුරපාල යෝගයද, ශනිගෙන් ජය යෝගයද, සිකුරු නිසා මාලවී යෝගයද යෙදී ඇත.

ගෘහ ජීවිතය

දැනුම බුද්ධිය යොදවා කරන කටයුතු සාර්ථක වේ. ඉඩකඩම් දේපළ මිල දී ගැනීමට හැකි කාලයකි. ඒ පිළබඳ ඔබ උත්සාහ කළ යුතුය. ගමන් බිමන් යෙදේ. ව්‍යාපාර ආදී කටයුතුද සාර්ථක වේ. මැයි සිට තරමක් බාධා කරදර ඇති විය හැකිය. අන්‍යයන්ගේ ඊර්ෂ්‍යාකාරකම් නිසා කරදර බාධා ඇති විය හැකිය. සිතුම් පැතුම් සාර්ථක වේ. විවාහ මංගල කටයුතු ද උදා වේ. ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට කම් සැප විඳිය හැකි කාලයකි. නවීන පහසුකම් සහිත සැපවත් ස්ථානවලට යාමට අවස්ථාව උදාකරයි. විනෝදයෙන් කාලය ගත කිරීමට හැකි සමයකි. සෙනසුරු දශා ගත කරන අයට සමපල දායක වේ. චාම් බවෙන් අරපිරිමැස්මෙන් කටයුතු කළ හැක. ස්ථිරව කටයුතු කළ හැක. කුජ දශා ගත කරන අයට සුබයි. ජයග්‍රහණ අත්වේ. සිකුරු දශා ගත කරන අයගේ ගෙදර දොර දේපළ දියුණුව ඇති කරයි. බුධ දශා ගත කරන අයටද යහපත් වෙයි. රවි දශා තිබෙන අයට ද සුබයි. කරන කියන කටයුතු සාර්ථක කරගත හැකිය. රාහු දශා තිබෙන අයට සමපලදායක වේ. උපතේදී රාහු තුනේ හයේ එකොළහේ සිටින අයට වඩා සුබයි. කේතුගේ ඵල ද එසේම ය.

 

රැකියාව සහ ආර්ථීකය

රැකියා කටයුතුවල දුර්වලතා ඇති විය හැකිය. වගකීමෙන් යුක්ත තනතුරු හිමිවීමට ද ඉඩ තිබේ. සමාජයේ පිළිගැනීමට ලක් වේ. ව්‍යාපාර කටයුතු සාර්ථක වන අතර, දේපළද ලැබිය හැකිය. සිකුරු දශා ගත කරන අයට ධනය ලැබේ. බුධ දශා ගත කරන අයට වැදගත් රැකියා හිමිවන අතර උසස්වීම් ද ඇතිවේ. රවි දශා තිබෙන අයට ද සුබයි.

කරන කියන කටයුතු සාර්ථක කරගත හැකිය . සඳු දශා ඇති අයට රැකියාවල ව්‍යාපාරවල තත්ත්වය උසස් කර ගත හැකිය. කාර්මික අංශද දියුණු වේ.

සෞඛ්‍යය

විශේෂයෙන් සඳු දශා තිබෙන අයට සෙම් දෝෂ පීඩා ජලයෙන් අගුණ ඇති වේ. උදර රෝග යෙදේ. වාත රෝග ඇති විය හැකිය. මුඛය අශ්‍රිතව මෙන්ම ගෙල ආශ්‍රිත රෝග ඇතිවිය හැකිය. යම් අසනීප තත්ත්වයක් ඇති වුවහොත් එයින් තවත් රෝග වැලඳීමට ඉඩකඩ ඇති බැවින් පරෙස්සම් විය යුතුය.

 

අධ්‍යාපනය

ධනු හිමියන්ගේ ද අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. ගුප්ත ශාස්ත්‍රීය අංශවලට යොමු වේ. ආගමික පොත් පත් සමඟ කාලය ගත කරයි. ඉගෙනීමෙන් ඉදිරියට යා හැකිය. විභාග ආදිය කෙරෙහි මහත් උනන්දුවකින් උත්සාහයකින් යුතුව කටයුතු කළ යුතුය. අලුත් දේවල් ඉගෙනුමට හිත යොමු වේ. ඉගෙනීම් කරන අයගේ මෙන්ම ගුරුවෘත්තියේ යෙදෙන අයගේද සියලු කටයුතු දියුණු වේ. දරුවන්ගේ දියුණුව පතන අයගේ බලාපොරොත්තු ඉටු වේ.

අය - 08 වැය - 05

සුබ වර්ණය – කහ

සුබ මැණික් – ළා නිල්

ජය දින – බදාදා,

සුබ දිශාව – නැඟෙනහිර

ජය අංක 3,5,6

ජය මාස – සැප්තැම්බර් , ඔක්තෝබර්

------------------------

මකර ලග්නය

ජය යෝගයෙන් - රැකියා ව්‍යාපාර දියුණුව

අවුරුදු උදාවෙද්දි මකර ලග්නයේ ලග්නාධිපති ශනි කුජ සමඟ ස්වක්ෂේත්‍ර බලයෙන් ධනස්ථානයේ ගමන් කරන අතර, බුධ, සිකුරු, රාහු තුන්වැන්නේද රවි, ගුරු සතරවැන්නේ සඳු හයේ, කේතු නවයේද ගමන් කරයි. ශනිගෙන් ජය යෝගය, සිකුරුගෙන් මහෝෂධ යෝගය රවිගෙන් මයුරපාල යෝගයද උදාව පවතී.

ගෘහ ජීවිතය

මකර ලග්නයට බුධ, සිකුරු සුබ ග්‍රහයෝ වෙති. ධනස්ථානය හිමි සෙනසුරු ධනස්ථානයේම ගමන් කරයි. සෙනසුරු දශා ගත කරන අය ධනය ගැන අවධානය යොමු කරයි. අසාධාරණ කටයුතුවල නොයෙදෙන අතර, රැකියා ව්‍යාපාර ආදී කටයුතුවලින් දියුණුව යෙදේ. හිතමිතුරු ඇසුර නොඅඩුව ලැබෙන කාලයකි.

සමාජ සේවා වැඩ කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව ලැබේ. මකර ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකයේ අවසාන කොටස පවතී. ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කළ හැකිය. ගුරු දශා ගත කරන අයගේද කරන කියන කටයුතු දියුණු වේ.

වගා කටයුතුද සාර්ථක වේ. ගේ දොර වාසභූමි යහපත් ලෙස දියුණු වේ. කුජ දශා ගත කරන අයට පදිංචිය වෙනස්වීම් ස්ථාන මාරු ඇති වුවත් එය යහපතට හේතු වේ. බුධ සහ සිකුරු දශා ලබා තිබෙන අයට ද යහපත්ය. විනෝදකාමී අංශවලට යොමු වේ.

නාට්‍යකලා, සංගීත අංශවල නියුතු කරන අයගේ එම අංශ දියුණුව, කීර්තිය, ප්‍රසිද්ධිය ඇති වේ. දියුණුව යෙදේ. සඳු දශා ගත කරන අවිවාහක අයට මංගල යෝග උදාවේ. පේ‍්‍රම සම්බන්ධතා ඇති වේ. රවි දශා ගත කරන අයට සුබපල අඩුය. රාහු දශා තිබෙන අයට විශේෂ ගමන්, දුර ගමන් යෙදිය හැකිය. දුරබැහැර පදිංචියට ද ඉඩ තිබේ. කේතු දශා තිබෙන අයගේ දියුණුව ප්‍රමාද වේ. උදාසීන ගති ඇති වේ. වියදම් වැඩි වේ.

අධ්‍යාපනය

මකර ලග්න හිමියන්ට අධ්‍යාපනයෙන් යහපත උදාවන අතර දැනුම, බුද්ධිය, ඥානය වඩවන කටයුතුවලට හිත යොමුවේ. දැනුම දියුණු වේ. ගුප්ත ශාස්ත්‍ර, අලුත් අලුත් දේවල් ඉගෙනීමට ද හිත ඇතිවේ. විභාග තරග ජය හිමි වේ. අධ්‍යාපන කටයුතුවලට යහපත් කාලයකි. විභාග ආදියෙන් ජය ලැබේ. දරුවන්ට ශිෂ්‍යත්ව ජයග්‍රහණ ඇතිවේ. අනාගත දියුණුව සැලසේ. ආගම දහමට විශ්වාසය යෙදේ. ඒ පිළිබඳ ඉගෙනුමට යොමුවේ.

සෞඛ්‍යය

දත්වල රෝගපීඩා ඇති විය හැකිය. උෂ්ණ රෝග පීඩා ඇති වේ. පපුවේ උෂ්ණ රෝග පීඩා ඇති විය හැකිය. ලේ දෝෂ රෝග යෙදිය හැකිය. උදරාබාධ යෙදේ.

රැකියාව හා ආර්ථිකය

ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. ගමන්බිමන් යෙදේ. හවුල් ව්‍යාපාර වලින්ද පල ප්‍රයෝජන ලැබේ.

අය - 02 වැය - 08

වර්ණය – නිල්

සුබ මැණික් – චන්ද්‍රකාන්ති ගල්

ජය දින – බදාදා, සිකුරාදා

සුබ දිශාව – උතුර

ජය අංකය 4 ,6

-----------------------------

කුම්භ ලග්නය

සස යෝගයෙන් - මංගල යෝග

අලුත් අවුරුද්ද උදාවෙද්දී ලග්නාධිපති සෙනසුරු කුජ සමඟ ස්වක්ෂේත්‍ර බලයෙන් සස යෝගය උදාකරමින් ලග්නයේම ගමන් කරන අතර, බුධ සිකුරු රාහු දෙවැන්නේද රවි ගුරු තුන්වැන්නේ ද සඳු පහේ, කේතු අටේද ගමන් කරයි. මහෞෂධ යෝගය මෙන්ම මයුරපාල යෝගයද යෙදී ඇත. කුම්භ ලග්නයට කුජ, සිකුරු සුබයෝ වෙති.

ගෘහ ජීවිතය

පවුලේ දියුණුව ඇති කරයි. සිවිල් බලය පිරිස් බලය ඇති කරයි. මේ කාලසීමාව වඩාත් සුබ වේ. ස්ථිර වශයෙන් කටයුතු කරගෙන යා හැකිය. ලැබීමේ වාසනාව මතු වේ. ක්‍රමයෙන් දියුණුව ඇති වේ. ගෙදර දොර දියුණුව යහපත සැලසේ. නව නිවෙසක් සැකසීම සහ පදිංචියේ වෙනසකට කරුණුූ කාරණා යෙදිය හැකිය. කුජ දශා තිබෙන අයට ද සුබය. කරන කියන කටයුතු සාර්ථක වේ.

සහෝදරයන්ටද යහපත්ය. දුර බැහැර ගමන් බිමන් යෙදේ. බුධ දශා ගත කරන අයට ද නීචභංග යෝගය නිසා සුබ වෙයි. සියලු කටයුතු දියුණු වේ. සඳුගෙන්ද සුබපල ලැබේ. ක්‍රමානුකූලව කටයුතු කර ගෙන යෑම හැම අංශයකම දියුණුව ඇති කරගත හැකිය. රවි දශා ගත කරන අවිවාහක අයට මංගල යෝග උදා වේ. රාහු දශා තිබෙන අයට කරදර බාධා ඇති කරයි. පිළිවෙළකට කටයුතු කිරීමට නොහැකි වේ. වියදම් වැඩි වේ. අලාභ හානි ද ඇති වේ. යුගදිවියට බාධා වේ. කේතු දශාවද සුබ නැත. සතුරු කරදර හිතේ බිය ඇති වේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය යහපත් වන අතර, දුක සැප දෙකටම ඔරොත්තු දේ. ලේ දෝෂ රෝග යෙදේ.

රැකියාව හා ආර්ථිකය

රැකියා හිමිකම් ලැබේ. රැකියා ද දියුණුූ වේ. සිකුරු දශා තිබේ නම් එයද වාසනාව මතු කිරීමට ප්‍රධාන හේතුවක් වේ. වෙහෙස මහන්සියක් නැතිව ආදායම් ලැබිය හැකිය. අලංකාරය විලාසිතාවන්ට සම්බන්ධ රැකියා ව්‍යාපාර ද දියුණු වේ. එම අංශවලින් උසස් තත්ත්වයට පත් විය හැකිය. ධනය දියුණු වේ.

අධ්‍යාපනය

විවේකය අඩුවේ. ඉගෙන ගන්නා අයගේ එම කටයුතු සාර්ථක වේ. උසස් අයගෙන් රජයෙන් උදව් උපකාර ලැබිය හැකිය. කීර්තිය ප්‍රසිද්ධිය ඇති වේ. කුම්භ ලග්න හිමියන්ට විද්‍යා, තාක්ෂණ අංශවල ඉගෙනීමට අවකාශ ලැබේ. ඔවුනට වඩා යහපත් ප්‍රතිඵල ඇති කරයි. අධ්‍යාපනයට වරදක් නැත. දරුවන් අධ්‍යාපනයෙන් දියුණුව වේ.

අය - 02 වැය - 08

සුබ වර්ණය – නිල්

සුබ මැණික් – නිල් මැණික්

ජය දින – අඟහරුවාදා ,සිකුරාදා

සුබ දිශාව – බටහිර,

ජය අංක – 4,6

------------------------

මීන ලග්නය

 

මාලවී යෝගයෙන් - උසස් ප්‍රතිපල

 

අලුත් අවුරුද්ද උදාවෙද්දී ලග්නාධිපති ගුරු, රවි සමඟ ධනස්ථානයේ ගමන් කරන අතර, බුධ, සිකුරු, රාහු ලග්නයේ ඇත. සිකුරු ස්වක්ෂේත්‍රව මාලවී යෝගය උදාකර ඇත. සඳු හතරේ කේතු හතේ කුජ, ශනි දොළොස්වැන්නේද ගමන් කරයි. ශනිගෙන් ජය යෝගයද රවිගෙන් මයුරපාල යෝගයද යෙදී ඇත. මීන ලග්නයට කුජ, ගුරු, සඳු සුබයෝ වෙති.

ගෘහ ජීවිතය

මේ කාල සිමාව ඉතා සුබයි. ධනය දේපළ දියුණු වේ. කරන කියන කටයුතුවලට යහපත් වේ. කුජ දශා ඇති අයටද එතරම් වරදක් නැත. සිකුරු දශා ගත කරන අයට සමපලදායක වේ. හිතවතුන් සමඟ කාලය ගත කිරීමට අවස්ථාව උදාවේ. ප්‍රිය සම්භාෂණ, මංගල අවස්ථාවන් ආදියට සහභාගිවීමට අවස්ථාව සැලැසේ. වෙළෙහෙළදාම් රැකිරක්ෂා ආදියෙන් දියුණුවක් ලැබිය හැකිය. ඒ සඳහා උත්සාහය කැපවීම අත්‍යවශ්‍ය වෙයි. දරුපල බලාපොරොත්තු අයට දරුපල ලැබේ. විවාහ ජීවිතය සුබවාදී වෙයි. අඹු සැමි සමඟිය මධ්‍යයේ පවුලේ සියලු කටයුතු සාර්ථකව ඉටුකරගනීමට මඟ පෑදෙයි. බුධ දශා ගත කරන අයට එතරම් වරදක් නැත. මංගල යෝග ද උදා වේ. උරුම හිමිකම් ලැබේ. සෙනසුරු දශා ගත කරන අයට ලග්න ඒරාෂ්ටකය පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. රාහු දශා තිබෙන අයට ස්ථිර ලෙස කටයුතු කිරීමට බාධා ඇති කරයි. වියදම් වැඩි වේ. සතුරු කරදර මර්දනය කර ගැනීමට හැකියාව ඇති වේ.

රැකියාව හා ආර්ථිකය

රැකියා, අධ්‍යාපන, ව්‍යාපාර ආදී සෑම අංශයකින්ම දියුණුව ඇති කර ගත හැකිය. රැකියා වරින්වර වෙනස් වුවත් එය දියුණුවට හේතු වේ. මැයි සිට සුළු වශයෙන් වෙනස්වීම් ඇති වේ. තදබල නොවේ. ඔරොත්තු දෙන ශක්තිය ඇති වේ. බාධක මැඬගෙන කටයුතු කළ හැකිය. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලටද සුබයි. මහන්සියට වඩා ලාබ ප්‍රයෝජන ලැබිය හැකිය. අංශ කීපයකින්ම ආදායම් ලැබිය හැයිය. උරුම හිමිකම් ලැබේ. වියදම් වැඩිවේ. ගමන්බිමන්වලින් පාඩු ඇති විය හැකිය.

අධ්‍යාපනය

අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතු ද දියුණු වේ. සාහිත්‍ය, කලා සෞන්දර්ය අංශ පිළිබඳ කටයුතු කරන අයගේ එම අංශ දියුණූු වේ. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනුමට සුබවාදී කාලපරාසයකි. ගෞරව සැලකිලි ලැබිය හැකිය. මැයිවලින් පසු අධ්‍යාපනයේ යෙදෙන අයට බාධා ඇති කළ ද උත්සාහය කැපවීම නිසාම ජයග්‍රහණ අත්පත් වෙයි. විභාග තරග ආදිය සඳහා උනන්දුවෙන් කටයුතු කළ යුතුය. එවිට බාධක මැඬ ජය ගත හැකිය. දරුවන්ට වරදක් නැත.

සෞඛ්‍යය

හිසේ සෙම් දෝෂ පීඩා ඇති වේ. ලේ දෝෂ රෝග යෙදිය හැකිය සඳු දශා ගත කරන අයටද සුබයි. සාධාරණ හැඟීම් ඇතිවන අතර, රවි දශා ගත කරන අයට සමපලදායක වේ. යහපත් පැවැත්ම නිසා ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගනී. වැටීම් තැළීම්වලින් ආරක්ෂා විය යුතුය. පාදවල වාත වේදනා ඇති විය හැක. ලේ විෂවීම ඇති විය හැක. වස විෂවලින් ආරක්ෂා විය යුතුය. කේතු දශා තිබෙන අයටද බාධා කරදර ඇති වේ.

අය - 08 වැය - 05

සුබ වර්ණ – රතු, කහ,

සුබ මැණික්, පළිඟුගල්

සුබ දිශාව – උතුර, ජය අංක – 3,5

ජය දිනය – අඟහරුවාදා , බ්‍රහස්පතින්දා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.