විෂ්ණු විංශතියට අයත් 2024

අප්‍රේල් 5, 2024

සිංහල - හින්දු අයට වසරක් ගෙවිලා වසරක් ලබන කොට ඒ අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරන්නේ නැකතට. නැකතට වැඩ ආරම්භ කිරීම සිංහල බුද්ධාගමේ අපිට විතරක් උරුම එකක් නොවේ. අන්‍ය ආගම්වල උදවියත් ඡ්‍යොතිෂය භාවිත කරනවා. ඡ්‍යොතිෂය තිබෙන්නෙ බුද්ධාගම වගේම ඥාණවන්ත අයට. අන්‍ය ආගම්වලත් ඥානවන්ත අය ඕන තරම් ඉන්නවා. විශේෂයෙන් ඔය යන්ත්‍ර සුර පැලැඳීම සමහර ආගම්වල තහනම් කියල සමහර අය කියනවා. එහෙත් ඒ අය අන්‍ය ආගම්වල ඇති න්‍යාය ඇදැහැව්වත් ඡ්‍යොතිෂයේ ඇති නැකත්වල බලගතුකම ගැන හොඳ වැටහීමක් තිබෙනවා. ඡ්‍යොතිෂ කරුණු පිළිපදිනවා. අවශ්‍යතාවන්ට සුර, යන්ත්‍ර නොපැලඳගෙන ඉන්නෙ නැහැ. හැබැයි ප්‍රසිද්ධියෙම නම් නොවේ. ඒ ආගමට ටිකක් මුවාවෙලා. මොකද ඒ අය ඒ එක එක යාඥාවලටත් සහභාගි වන්න ඕනෑනේ. සමහර අය ලෝහයෙන් ආගමික ලාංඡන හදලා ඒක ඇතුළේ යන්ත්‍රය දමනවා. මොකද යන්ත්‍රයත් ඕනෑ. ආගමත් ඕනෑනේ. මේවා මට පුරුදු දේවල් කෙනෙකුගේ රහස් හෙළි නොකිරීමට ඡ්‍යොතිර්වේදියා, ගුප්තවේදියා බැඳී සිටිනවා. බොහෝ අය මේවයින් ගොඩක් යහපත් ප්‍රතිඵල ලබනවා. නැකැතට වැඩ කරනව කියන්නෙ එක් එක් ග්‍රහ කිරණ යහපත් වගේම අයහපත් ලෙස පෘථිවියට වදින කොට ඒ අයහපත් කිරණ අතහැර යහපත් කිරණ වටින හෝරාව ලබා ගැනීම. 2024 අවුරුද්දේ නැකත් පිළිබඳවත් අපි සම්මතයට ගරු කරන්ට එපායැ.

2024 අප්‍රේල් 14 රවි දින සිංහල අලුත් අවුරුද්ද උදාවෙනවා. මූලික කරුණු ගැන සලකා බැලීමේදී මෙදා ඉරු දිනයක්. ඉරු දින කියන්නෙ බලගතු දිනයක්. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියාගෙන් ආරම්භ වන්නේ. ඡ්‍යොතිෂය සඳහන් පරිදි ඡ්‍යොතිෂයේ තාත්තාගේ මූලිකත්වයෙන් ආරම්භ වන අතර ඡ්‍යොතිෂයේ අම්මා එනම් චන්ද්‍රයා ඉන්නෙ මිථුනයේ. මිථුනය අයිති බුධ ග්‍රහයාට. බුධ ග්‍රහයා කියන්නේ හෙට ගැන හිතන ග්‍රහයෙක්. අද දිනයේ ඇති දේ කාලා බීලා විනාශ කරල දමන ග්‍රහයෙක් නොවේ. ලංකාව වැනි පුංචි රටක් ගැන ඉදිරියට යමක් කිරීමේ හා සිතීමේ ක්‍රමවේදයකින් ආරම්භ වෙනවා. විශේෂ දෙයක් තමයි 2023 පසුගිය වසරේ වගේ අව තිථියෙන් නොවෙයි මේ අවුරුද්ද ආරම්භ වන්නෙ. අව තිථියෙන් වසර ආරම්භ වෙලා චන්ද්‍රයා මකරගේ අවුරුද්ද ආරම්භ කළ එකේ ප්‍රතිඵලය දැක්කනේ. අව තිථියයි සෙනසුරුයි එකතු වුණාම දන්නවනේ සිදු වූ දේ. හොඳ යහපත් වැඩට පුර තිථිය ප්‍රධානයි. හැම දෙයම සඵල වන බක් පුර ශටවක තිථියෙන් මේ වසර ආරම්භ කරනවා. ඡ්‍යොතිෂයේ හා ගුප්ත ශාස්ත්‍රයේ සියලුම යහපත් වැඩ ආරම්භ කරන්නෙ පුර තිථියට බව දන්නවනේ. තව විශේෂ දෙයක් තමයි යමක් ආරම්භ කරන කොට පංච පක්ෂි ක්‍රමවේදය. ඒ අනුව බලන කොට 2024 අවුරුද්ද පටන් ගන්නෙ රාජාලියා නැත්නම් භේරුණ්ඩ පක්ෂියා භෝජන ගන්න හෝරාවෙන්. සෑම කෙනෙක්ම ආහාරයෙන් ජිවත්වන නිසා මේ වසර ආහාර පානාදියෙන් 2023ට වඩා හොඳ වේවි.

මේ කරුණු එකිනෙකින් සසඳා බලනකොට මේ වසර යහපත් වන බව පේනවා. එහෙත් තව එකක් කියන්ට ඕනැ. මේ වසර ආරම්භ වන්නෙ රවි හෝරාවෙන් කිව්වනේ. එහෙනම් කම්මැළිකම ඉවත් කරල මහන්සිවෙලා වැඩ කරන්න වේවි. රවි, සඳු, බුධ කිව්වේ ඡ්‍යොතිෂයේ අම්මා, තාත්තා හා දරුවො.

මේ ආකාරයට ඡ්‍යොතිෂ කරුණු බලනකොට නැකැත ගැනත් ටිකක් හරි බලන්න ඕනෑ. නැකැත ආරම්භ වන්නෙ “අද” නැකතින්. ඒක අයිති කාට ද දන්නවනේ. එයාට 2024 ඉගිලුම් නැහැ. ඒ තමයි නයිපෙණ ඇත්තා. බොරුකාරයා. රාහු, රාහු අසුරේන්ද්‍රයා දිවයිනෙන් පිට යන අය අඩු නොකරාවි. ලංකාවෙන් පිටරට ගියාම විදේශ විනිමය ලැබෙනව තමයි. ඒත් ඒ අයගේ දැනුම ලැබෙන්නෙ ඒ රටවල්වලට බව අමතක කරන්න එපා. අපේ ලොකු අය මේක අමතක කරනවා. විදේශ විනිමය තමයි බලන්නේ. ඒ අයගේ දැනීමෙන් ලැබෙන ප්‍රයෝජන ඊට වැඩියි. නැකත හිමි වුණේත් රාහුට නිසා අල්ලස, දූෂණය නම් අඩුවන එකක් නැහැ. රට හැදෙන්න නම් උඩ සිට පහළට හැදෙන්න ඕනෑ. රාහුගේ, සෙනසුරුගෙ ක්‍රියා අත්හරින්න ඕනෑ. මේ බුධ ග්‍රහයා මේ වසරේ මුල් තැන ගන්න නිසා එයාට රවි, සඳු සහයෝගය දෙන නිසාත් මේ කතාව මතක් වුණා.

ඉස්සර කාලේ මහා සෘෂිවරු දෙදෙනෙක් හිටියා. රිෂි හා පුරුෂි කියලා. දවසක් මේ රිෂි කියන ඍෂිවරයා පොළොව මත වැතිරිලා සූර්ය වන්දනාව කරනවා. එතකොට එතැනින් ගියා අනිත් පුරුෂ කියන ඍෂිවරයා. එයා මේක දැකලා ඇහුවා ඇයි මේ වෙලාවට සූර්ය වන්දනාව කරන්නෙ කියලා. එතකොට ඍෂි කියන ඍෂිවරයා කිව්වා.... මම අද සූර්ය උදාවෙන් පැය 03.03ට මැරෙනවා නැත්නම් හුස්ම නැතිවනව කියලා. එතකොට පුරුෂි කියන ඍෂිවරයා රිෂි කියන ඍෂිවරයාගේ කාල හෝරාව බලලා චුල නක්ශස්ත්‍රය පරීක්ෂා කරල බලල කිව්වා නැහැ නැහැ මගේ මිත්‍රයා ඔබ මැරෙන්නෙ අද සූර්යය උදාවෙන් 03 පසුවී විනාඩි 3කින් නොවේ. හෙට සූර්ය උදාවී පැය 3 හා විනාඩි 3 කින් පසුව කියා. මොකද කෙනෙකුගේ මරණය සිදුවන දවස කියන්න පුළුවන් චූල නක්ෂත්‍රය හදාරපු අයට විතරයි. ඒක නිසා තව දවසක් නිදහසේ ඉන්න කියල කිව්වා. ඒත් රිෂි අහස දිහා බලාගෙනම මොනවද කල්පනා කරනවා. ඇඟිල්ලෙන් මොනවද ගණන් හදනවා අහස දිහා බලාගෙනම. එතකොට රිෂි නැවත ඇහැව්වා දැන් මොනවද කල්පනා කරන්නෙ කියලා. එතකොට පුරුෂි කිව්වා. මම හෙට මැරෙන එක හරි තමයි. ඔබ ඒක කොහොමද කිව්වේ කියලයි දැන් මම කල්පනා කරන්නෙ කියල. අපි පුරුෂි ඍෂිවරයා වගේවන්ට ඕනෑ. අලුත් දෙයක් කරන්ට උත්සාහ කරන්න ඕනෑ. මම කලින් කිව්වා වගේ රවි ග්‍රහයාගෙන් වසර ආරම්භය වන නිසාත්, භේරුණ්ඩ පක්ෂියාගෙන් පංච පක්ෂි කාල හෝරාව ආරම්භ වන නිසාත් ඒකත් භෝජන ගන්නා වේලාව නැත්නම් හෝරාව වන නිසාත් 2023ට වඩා 2024 යහපත් වෙනවා. හැබැයි කලබල ටිකකුත් ඇතිවනවා. ඒත් අඟහරුවා නිසා මේ විදියේ අනවශ්‍ය වාද විවාද වන හැම අවස්ථාවන්හිදීම සුබසෙත නිවැරැදි දේ ප්‍රකාශ කරන එක පුරුද්ද නිසා මේ සටහන ලියා එව්වා. ඔබට 2024 සුබ අලුත් අවුරුද්දක් වේවා!

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.