අඟහරු ග්‍රහයාගෙන් යෙදෙන යෝග

ජූලි 28, 2023

කුජ නොහොත් අඟහරු ග්‍රහයා මිනිසාට ආත්ම විශ්වාසය, ඉවසීම, හදිසි ආවේගය, වීර ක්‍රියාවලට ඉදිරිපත් වීමට ඇති කැමැත්ත, ධෛර්ය, යමක් සංවිධානය කිරීමේ දක්ෂතාවය දැඩි අධිෂ්ඨාන ශක්තිය, නායකත්වයක් දීමට ඇති හැකියාව අයුක්තිය , අසාධාරණය වෙනුවෙන් සටන් කිරීම වැනි ගුණාංග දානය කරන ග්‍රහයකු වන හෙයින් අඟහරු මිනිසාට තම ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට මහෝපකාරි වන ග්‍රහයකු ද වන්නේය.

එහෙයින් ඡ්‍යොතිෂ්‍ය හදාරන ආධුනිකයන් සහ ඡ්‍යොතිෂ්‍ය ළැදි සුබසෙත පාඨකයින්ට අඟහරු ග්‍රහයා කේන්ද්‍ර කොට ගෙන යෙදෙන යෝග පිළිබඳව දැනුම්වත්වීම තම ඡ්‍යොතිෂ්‍ය ඥානය වැඩි දියුණුූ කර ගැනීමට මහෝපකාරි වන සාධකයක් වන්නේය. ඒ අනුව පහත දැක්වෙන්නේ අඟහරු ග්‍රහයාගෙන් යෙදෙන ග්‍රහ යෝග පිළිබඳ කෙටි විස්තරයකි.

රුචක යෝගය

මේෂ, කටක, තුලා, මකර යන වර ලග්නවලින් සහ වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන තිර රාශී ලග්නවලින් උපන් ජන්මීන්ට අඟහරු ග්‍රහයා 1,4,7,10 යන කේන්ද්‍ර ස්ථානය උච්ච, මූල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර යන බලයකින් යුතුව පිහිටා ඇති විට රුචක නම් පංච මහ පුරුෂ යෝගය පැන නඟින්නේය. ඒ අනුව පංචම මහා පුරුෂ යෝගවලට අයත් වන මෙකී රුචක යෝගය බලවත් එකකි. මෙකී යෝගයේ පලවිපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය පත පොතෙහි සඳහන්ව ඇත්තේ මෙකි යෝගධාරියා කෙරෙන් නිර්භීත බව, තේජාන්විත සහ බලපරාක්‍රම ආදි ගති ලක්ෂණයන් විද්‍යාමාන වන බවත්, එකී ගති ලක්ෂණ හේතු කොටගෙන මෙකී යෝග ධාරියා සේනාවකට ප්‍රධානියකු හෝ අණ නිකුත් කරන්නකු වන බවයි. මෙකී රුචක යෝගයට සම්බන්ධ අඟහරු ග්‍රහයාට අන්‍ය ග්‍රහයන්ගෙන් ලැබෙන දෘෂ්ටිය අනුව ලැබෙන පල විපාක විවිධ වේ. ඒ අනුව මෙකී අඟහරුට බලවත් රවිගේ දෘෂ්ටියක් වැටී ඇත්නම් ඔහු හමුදා නායකයකු වන්නේය. එමෙන්ම අඟහරුට බලවත් බුධගේ දෘෂ්ටියක් වැටී ඇත්නම් ඔහු ගණකාධිකාරි අංශය පිළිබඳ උසස් දැනුමක් ඇති ඒ පිළිබඳව නිලතල බලතල දරන කෙනෙකි. මෙකී බලවත් අඟහරුට බලවත් ගුරුගේ දෘෂ්ටියක් වෙතොත් ඔහු නීතිය පිළිබඳව උසස් දැනුමක් ඇති විනිශ්චකරුවෙක් , අග්‍රවිනිශ්චකරුවෙකු හෝ අධිනීතිඥයකු වන්නේය. බලවත් ශනි දෘෂ්ටියක් රුචක යෝග උදා කළ කුජ වෙත වේ නම් ඉංජිනේරු අංශය පිළිබඳව ඉහළ දැනුමක් ඇති ඒ පිළිබඳව නිල තල බල ඇත්තෙකි. ඒ අනුව මෙකී යෝගධාරියා නිර්භීතකම මෙන්ම වුවමනාව හොඳින් හෝ නරකින් ඉටු කර ගනියි. ක්‍රෑරය, නිදහස් මතධාරිය. එමෙන් කීර්තිමත් පුද්ගලයෙක් වන්නේය.

සතරදීප යෝගය

කුජ ග්‍රහයා මකර රාශිගතව උච්ච බලය ලැබීමෙන් සතරදීප යෝගය යෙදේ. ඒ අනුව මේ යෝගයෙන් උසස් ශුභ ඵලයක් බලාපොරොත්තු විය හැක්කේ මේ යෝගය පාපයන්ට ශුභඵල දෙතැයි සැලකෙන 3,6,11 යන භාවයක යෙදුණහොත් පමණි. ඒ අනුව මේ යෝගයෙන් ලැබෙන පලවිපාක වශයෙන් සඳහන් කළ හැක්කේ මේ යෝගයෙන් උපන් ජන්මියා භාග්‍යවන්ත ආගිය තැන කැපී පෙනෙන, බාධක අවහිර මැඬගෙන ඉදිරියට යන අවසානය දක්වාම සටන් කරන හමුදා අංශයට නැඹුරු වූවෙක් යන පල විපාකයන්ය. මේ යෝගයට බලවත් සෙනසුරු සහ බුධගේ දෘෂ්ටියක් වෙතොත් හෙතෙම ඉංජිනේරු, ගණකාධිකාරි වැනි අංශයන්ට නැඹුරු වන්නේය.

ගජකේශරී යෝගය

කුජ ග්‍රහයා මේෂ රාශි ගත වීමෙන් ගජකේශරී යෝගය යෙදේ. මේ යෝගධාරියා කෙරෙන් විද්‍යමාන වන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ක්‍රියාශීලි බව නිර්භීත හා ප්‍රතාපවත් යන ගති ලක්ෂණයන්ය. මේ බලවත් කුජ අන්‍ය භාවයන්ට වඩා 3,6,11 යන භාවවල යෙදීමෙන් කේන්දර හිමියාට උසස් ශුභ ඵලයක් භුක්ති විඳිය හැකි වන්නේය. ඒ අනුව මෙකී ගජසේශරී යෝගය උදා කළ අඟහරු ග්‍රහයාට අන්‍ය ග්‍රහයන්ගෙන් ලැබෙන දෘෂ්ටිය අනුව ප්‍රතිඵල විවිධාකාර වේ. ඒ අනුව බලවත් අඟහරුට බලවත් රවි ගේ දෘෂ්ටියක් වේ නම් හෙතෙම හමුදා නායකයකු වේ. ගුරුගේ දෘෂ්ටියක් වෙතොත් ඔහු හෝ ඇය දක්ෂ නීතිඥයෙක් වේ. ශනි ගේ දෘෂ්ටියක් වෙතොත් හෙතෙම කාර්මික ඉංජිනේරුවකු වේ. එමෙන්ම බලවත් අඟහරුට බුධගේ දෘෂ්ටියක් වෙතොත් ඔහු හෝ ඇය දක්ෂ ගණිතඥයෙක් වේ. එකී බලවත් කුජට සිකුරුගේ දෘෂ්ඨියක් වේ නම් ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් හෝ නළුවෙක් වේ. එමෙන්ම 3,6,11 යන භාවයක ගජකේශරී යෝග උදා කළ කුජ, රවි, ගුරු යන ග්‍රහයන් සමඟ යෝග වී ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මියාට මනා කාය ශක්තියක් සහ හොඳින් වැඩුණු සිරුරක් හිමි වන බැවින් ඔහු දක්ෂ මල්ලව පොර ශූරයකු හෝ මලල කී‍්‍රඩකයෙක් වන්නේය.

මහිපාල යෝගය

අඟහරු ග්‍රහයා වෘශ්චික රාශිගතව සිටීමෙන් මහිපාල යෝගය උදාවෙයි. මේ යෝගධාරියා ස්වකීය දැඩි උත්සාහය හේතු කොට ගෙන තම කටයුතු සාර්ථක කර ගනියි. වෘශ්චික ස්ථිර රැසක් වන නිසා මහිපාල යෝගධාරියාට භූමිය ආශි‍්‍රත කටයුතුවලින් දියුණුවක් භූමි ලාභයක් හිමි වන්නේය. මේ භූමිලාභ මහිපාල යෝගය උදා කළ කුජ ග්‍රහයා හා සම්බන්ධ වන ග්‍රහයන් අනුව විවිධ වේ. ඒ අනුව කුජ ග්‍රහයාට ශනි ග්‍රහයාගේ සම්බන්ධයක්වේ නම් ඔහු කෘෂිකාර්මික, ගල් අඟුරු ආකර, මිනිරන් පතල් වැනි අංශවලින් දියුණුවක් ලබයි. එමෙන්ම කුජට බලවත් රවි ග්‍රහයාගේ සම්බන්ධයක් ඇත්නම් රසායනික ද්‍රව්‍ය සම්බන්ධ කටයුතුවලින් ඖෂධ වර්ග නිෂ්පාදනයෙන් දියුණුවක් ලබයි. බලවත් සඳු ග්‍රහයාගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් වේ නම්, මසුන් ඇති කිරීම, මත් පැන් නිපදවීම, ශල්‍ය වෛද්‍ය වැනි අංශවලින් දියුණුවක් ලබයි. සිකුරුගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් මෙකී මහිපාල යෝගය උදා කළ අඟහරු වෙත වේ නම් ඔහු සංචාරක හොටල් , තානායම්, සම්බාහන මධ්‍යස්ථාන වැනි අංශවලින් ආදායම් ලබයි. ගුරුගේ බලවත් දෘෂ්ටියක් හෝ සංයෝගයක් මහිපාල යෝගය උදා කළ කුජ ග්‍රහයා වෙත වේ නම් රත්රන් නිෂ්පාදනය , ස්වර්ණාභරණ, නිෂ්පාදනය, පෞද්ගලික රොහල් සේවය යනාදි කටයුතුවලින් ආදායම් ලබයි.

 

ත්‍රිලෝචන රාජයෝගය

ත්‍රිලෝචන රාජයෝගය යෙදෙන්නේ රවි, චන්ද්‍ර , කුජ යන ග්‍රහයන් ඔවුනොවුන් කෙරෙන් එකිනෙකාට ත්‍රිකෝණ ගතව විසීමෙනි. මේි යෝගයෙන් නියමාකාර ශුභඵල ලැබීමට නම් මෙකී යෝගයට සම්බන්ධ රවි, කුජ, චන්ද්‍ර යන ග්‍රහයන් ඔවුනොවුන් කෙරෙන් අංශක 112 - 128 අතර අංශක වශයෙන් ත්‍රිකෝණගතව සිටිය යුතුය. මෙකී යෝගයේ පලවිපාක වශයෙන් සඳහන් කළ හැක්කේ මේ යෝගධාරියා මනා බුද්ධියෙන් සහ මහත් ධන සම්පතින් පූර්ණ සතුරන් ජය ගන්නා දීර්ඝායුෂ වලඳන කෙනෙක් වන පලවිපාකයන්ය.

කුජ දීප්ත යෝගය

රාහු කේතු යන ඡයා ග්‍රහයන්ගෙන් එක් පසක කුජ ග්‍රහයා පමණක් සිටීමෙන් කුජ දීප්ත යෝගය පැන නඟින්නේය. ඒ අනුව මේ කුජ දීප්ත යෝගයෙන් උපන් ජන්මියාට ජීවිතයේ මුල් කාලයේදී දැඩි දුක් ගැහැට කරදර අගහිඟකම්වලින් පීඩා විඳීමට සිදු වුවත් පසු කාලයක තම උත්සාහය, දැඩි අධිෂ්ඨානය, ධෛර්ය සටන්කාමීත්වය නොපසුබට වීර්යය යන ගුණාංගයන් හේතු කොට ගැන තම ජීවිතය දීප්තිමත් කර ගන්නේය. මේ කුජ දීප්ත යෝගයෙන් උසස් ශුභ ඵලයක් ලැබීමට නම් මෙකී යෝගයට සම්බන්ධ අඟහරු ලග්න කේන්දරයට අශුභ ඵල ගෙන දෙන 6,8,12 යන දුෂ්ට ස්ථානාධිපතියෙක් හෝ 22 වෙනි දෙර්කාණාධිපති, බාධක හෝ 64 නවාංශකාධිපතිත්වයකට හිමිකම් කියන ග්‍රහයකු නොවිය යුතුය. ඒ අනුව මෙකී කුජ දීප්ත යෝගයට සම්බන්ධ අඟහරු ග්‍රහයා ලග්න කේන්දරයටත් ශුභ ඵල දෙන යෝගකාරක, කේන්ද්‍ර ත්‍රිකෝණ භාවාධිපතියකු වේ නම් මෙකී කුජ ග්‍රහයාට අයත් මහ දශාවක් ලැබූ කල මේ යෝගය ක්‍රියාත්මක වී ජන්මියාගේ ජීවිතය සමෘද්ධිමත් වන්නේය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.