ගුරු ග්‍රහයාගෙන් යෙදෙන යෝග

අගෝස්තු 25, 2023

ගුරු වූ කල්හි ජන්මියාට මෙලොව මෙන් පරලොව දියුණුව සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව හෙවත් සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ඥාන ශක්තිය ලබා දෙන ග්‍රහයෙකි.

ඒ අනුව ගුරු මිනිසාට හොඳ නරක තෝරා බේරා ගැනීමට යම් දෙයක් පිළිබඳව නිවැරැදි විනිශ්චය කිරීමට මෙන්ම උසස් තර්කන ශක්තියක් ලබා දෙන ග්‍රහයෙක් වනවා සේම, අවංක භාවය, පරිත්‍යාගශීලි බව, පවිත්‍ර සිරිත් විරිත්, චිත්ත ඒකාග්‍රතාවය, භාවනා කිරීම, වැනි අධ්‍යාත්මික ශක්තින් ලබා දෙන ග්‍රහයෙක් ද වන්නේය. යට විග්‍රහ වන ගති ලක්ෂණ මිනිසාට නීරෝගිවත් ජිවිතයක් ගත කිරීමට හේතු වන හෙයින් ගුරු මිනිසාට නීරෝගි බව ලබා දෙන හෙවත් නීරෝගි බවට කාරක වන ග්‍රහයා ද වන්නේය.

ගුරු සතු එකී ඥාන ශක්තීන් හේතු කොට ගෙන ගුරු ජන්මියාට, වෛද්‍ය විද්‍යාව, නීතිය, ආගම ධර්මය, ගුරු වෘත්තිය, ඡ්‍යොතිෂ ශාස්ත්‍රය, බැංකු සහ මූල්‍ය කළමනාකරණය වැනි විෂයන් හැදෑරීමට අවශ්‍ය ඥාන ශක්තිය ලබා දෙන්නේය. ඒ අනුව මෙකී ගති ලක්ෂණයන් ගෙන් යුත් ගුරු ග්‍රහයා පලාපල කථනය සඳහා අතිශයින්ම වැදගත් වන ග්‍රහයෙක් වන හෙයින් ගුරු ග්‍රහයා මුල්කොට ගෙන යෙදෙන ග්‍රහ යෝගයන් පිළිබඳව ඡ්‍යොතිෂය හදාරණ ආධුනිකයන්ට මෙන්ම ඡ්‍යොතිෂයට ළැදි සුබසෙත පාඨකයන්ට ද වැදගත් වන හෙයින් ගුරු ග්‍රහයා මුල් කොට ගෙන යෙදෙන ග්‍රහයෝගයන් පිළිබඳව කෙටි විස්තරයක් මෙතැන් සිට ඉදිරිපත් කරමි.

 

ගුරු හංස යෝගය

 

මේෂ, කටක, තුලා, මකර යන චර රාශි ලග්නවලින් උපන් ජන්මීන්ට සහ මිථුන, කන්‍යා, ධනු, මීන යන උභය රාශි ලග්නවලින් උපන් ජන්මීන්ට පමණක් ගුරු ග්‍රහයා කේන්ද්‍ර ස්ථානයක උච්ච, මූල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර යනාදී බලයකින් යුතුව පිහිටා ඇති විට පැන නඟින බලගතු පංච මහා පුරුෂයෝග විශේෂය ගුරු හංස යෝගය නමින් හඳුන්වනු ලබයි. ඒ අනුව මෙකී ගුරු හංස යෝගධාරියා කෙරෙහි විද්‍යමාන වන ප්‍රධාන ගති ලක්ෂණ වන්නේ ආගම ධර්මය කෙරෙහි ඇලුණූ සත් ගුණවත් ධර්මිෂ්ඨ, පිරිසුදු මනසක් ඇති ගෞරවනීය ලෙස ජීවත්වන අන්‍යයන්ගේ ගෞරවයට බහුමානයට පාත්‍ර වන අන්‍යයන්ට උපදෙස් අවවාද අනුශාසනා දීමේ හැකියාවන් ඇති. ගුරුවරයෙකු, අනුශාසකයකු, උපදේශකයකු වැනි කෙනකු වන බව සහ ධන, ධාන්‍ය, භාව භෝග සම්පතින් පූර්ණ වීම යන ගති ලක්ෂණයන්ය.

 

ජය – සිඳු යෝගය

 

ගුරු ග්‍රහයා කටක රාශි ගතව සිටීමෙන් ජය සිඳු යෝගය පැන නඟියි. ඒ අනුව මෙකී යෝගධාරියා කෙරෙන් දක්නට ලැබෙන ගති ලක්ෂණයන් වන්නේ දිවි හිමියෙන් ප්‍රතිපත්ති සුරැකීම, තත්ත්වය හා ගරුත්වය සුරැකෙන අන්දමින් කටයුතු කිරීම තම වාසිය තකා කිසිදු පහත් ක්‍රියාවක නොයෙදීම, යුතුකම් වගකීම් මැනවින් ඉටු කිරීම සාධාරණ ලෙස ජීවත්වීම යන ගතිලක්ෂණයන්ය.

 

භූමිපාල යෝගය

 

ගුරු ග්‍රහයා මීන රාශී ගතව සිටීමෙන් භුමිපාල යෝගය යෙදෙන්නේය. මෙකී භුමිපාල යෝගයෙන් උපන් ජන්මියා කරුණාවන්තය. ගුණ නැණ බලයෙන් යුත් නිසා අනුන්ට අවවාද අනුශාසනා දීමට හැකියාවක් ඇත. එකී ගති ලක්ෂණයන් හේතු කොට ගෙන මෙකී යෝගධාරියා අන් අය අතරේ කැපී පෙනෙන ගරු බුහුමන් ලබන කෙනෙක් වන්නේය.

 

රණහංස යෝගය

 

ගුරු ග්‍රහයා ධනු රාශි රාශිගතව සිටීමෙන් රණහංස යෝගය පැන නඟියි. ධනුව තේජෝ රැසකි. ඒ හෙයින් ගුරු ධනු රාශි ගත ජන්මිහු දර්ශන වාදය, වෛද්‍ය විද්‍යාව, ආගම වැනි විෂයන් හොඳින් ප්‍රගුණ කිරීමේ හැකියාවක් ඇති අයවලුන් වෙති. ඒ අනුව යටකී දක්ෂතාවයන් හේතු කොට ගෙන රණහංස යෝගයෙන් උපන් ජන්මින්ට නිරායාසයෙන්ම සුවපහසු ජීවිතයකට කටයුතු සැලසෙන්නේය.

 

ගජ කේශරී යෝගය

 

ගුරු ග්‍රහයා කෙරෙන් චන්ද්‍රයා කේන්ද්‍ර ගතව සිටීමෙන් ගජ කේසරී යෝගය පැන නඟියි. මෙකී ගජකේශරී යෝගයේදී සඳුත් ගුරු එක්ව සිටීමෙන් පැන නගින යෝගයට වඩා සඳු ග්‍රහයා කෙරෙහි ගුරු සිව්වැන්නෙහි සිටින ගජකේශරී යෝගය බලවත්ය. එයටත් වඩා සඳු ග්‍රහයා කෙරෙන් ගුරු ග්‍රහයා 10 වැන්නෙහි සිටින ගජකේශරි යෝගය බලවත්ය. යට විග්‍රහ කළ සියලු ගජකේශරි යෝගවලට වඩා ගුරු ග්‍රහයා සඳුට සප්තමව සිටීමෙන් පැන නඟින ගජකේශරී යෝගය බලවත්වය. ඒ අනුව එලෙස සඳුගෙන් සප්තමව සිටීමෙන් පැන නඟින ගජකේශරී යෝගය අංශක වශයෙන් 172 -188 ත් අතර වේ නම් සහ සඳු, ගුරු යන ග්‍රහයන් දෙදෙනා ස්ථාන බලයෙන් යුතුව පාප පීඩිත කොට සිටිත් නම් එම ගජකේශරී යෝය රාජයෝගයක් හා සමාන ශුභ ඵල දෙන යෝගයක් වන්නේය.

ඒ අනුව මෙකී යෝගධාරියා කෙරෙන් විද්‍යමාන වන ප්‍රධාන ගති ලක්ෂණයක් වන්නේය. පැහැදිලි නිරවුල් බුද්ධියකින් යුත් අයෙක් වීම, ගැඹුරු ශාස්ත්‍රයන් පිළිබඳව හසල දැනුමක් ඇත්තකු වීම ධනවතෙක් වීම, ගම් නගර ගොඩනඟනනකු වීම සහ අවුරුදු 83ක් ආයු වැලඳීම, මරණයෙන් පසු බොහෝ කල් රැඳෙන නාමයක් ඇති කර ගැනීම යන ගති ලක්ෂණයන්ය.

 

ගුරු දීප්ත යෝගය

 

රාහු, කේතු කෙරෙන් එක පසක ගුරු ග්‍රහයා පමණක් සිටීමෙන් ගුරු දීප්ත නම් යෝගය පැන නඟියි. ඒ අනුව මෙකී ගුරු දීප්ත යෝගයේ ඵලවිපාක වශයෙන් සඳහන් කළ හැක්කේ, මෙකී යෝගධාරියාට ජීවිතයේ මුල් කාලයේදී කරදර පීඩා ඇති වුවත් පසු කලෙකදී ස්වකීය දුර දක්නා නුවණ, කරුණාවන්ත බව හොඳ නරක තෝරා බේරා කටයුතු කිරීමේ හැකියාව, උගත්කම, ආගම අනුකූල ජීවිතය අන්‍යයන්ගේ හොඳ හිත දිනා ගැනීම යන ගුණාංගයන් හේතු කොට ජීවිතය පසු කලෙකදී සාර්ථක කර ගන්නා බවයි. ඒ අනුව මෙකී යෝගයේ පල විපාක ඒ ආකාරයෙන් සක්‍රීය වීමට නම්, ගුරු ග්‍රහයා අයත් මහ දශාව ලැබිය යුතුය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.