හදිසි අනතුරු පිටුපස සිටින කුජ සහ ශනි

දෙසැම්බර් 22, 2023

 

නව ග්‍රහයන් අතරින් මිනිසාට අපල විපත් ගෙන දෙනු දරුණුම පාප ග්‍රහයන් දෙදෙනා වන්නේ අඟහරු සහ සෙනසුරුය. එයට හෙතුව වන්නේ විශ්ව කේන්දරය වන මේෂ ලග්නයේ ආයුෂ නිවේදනය කෙරෙන භාවයක් වන ලග්නය වන මේෂයටත් මරණය නිවේදනය කෙරෙන භාවයක් වන 8 වැන්න වූ වෘශ්චික අධිපති අඟහරුවීම සහ කර්ම මෙන්ම ආයුෂ නිවේදනය කෙරෙනා භාවයක් වූ 10 වැන්නටත් රෝග ස්ථානය වන 6 වැන්න වූ කන්‍යාවෙන් 6 වැන්න (භාවාත් භාවම් සංකල්පයට අනුව) හෙවත් 11 වැන්න වූ කුම්භයට අධිපති සෙනසුරු වීමයි. ඒ අනුව මෙකී ග්‍රහ යුවල ලග්න කේන්දරයක ලග්නය 2, 7, 8, 10 යන භාවයක් දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩා කළවිට එවැනි ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට අවි ආයුධවලින් හදිසි අනතුරුවලින් තුවාල සිදුවන අතර, එහිදී ලග්නාධිපති රවි, සඳු යන ග්‍රහන්ගෙන් වැඩි දෙනෙක් දදුදුර්වලව පාප පීඩිතවී ඇත්නම් ඔහු හෝ ඇය එකී අවි ආයුධවලින් හෝ හදිසි අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වන්නේ ය.

ඒ පිළිබඳ කරුණු අවබෝධ කර ගැනීමට උදාහරණ කේන්දර කිහිපයක් අධ්‍යයනය කරමු.

පළමු උදාහරණ කේන්දරය අයත් වන්නේ පළමු ලෝක යුද්ධයේ නිර්මාතෘ ඒකාධිපති බෙනීටෝ මුසෝලිනීය. එම වෘශ්චික ලග්න කේන්දරයේ 7 වැන්න වූ වෘෂභයේ කුජ, ශනි සංයෝගයකි. එම යෝගය තවදුරටත් රාහු, කේතු සතුරු බලය ලැබූ ගුරු යන ග්‍රහයන්ගෙන් පීඩා වී ඇත. එලෙස පීඩා වූ කුජ, ශනි පාප කර්තරිත යෝගයකට මැදි වූ ලග්නය සම දෘෂ්ටියෙන් දකියි. මෙහිදී මෙකී යෝගයෙන් ලග්නය මෙන් සඳු ද පීඩා වී ඇත. එහි ප්‍රතිඵලය වූයේ බෙනීටෝ මුසෝලිනීගේ ප්‍රතිවාදීන් විසින් ඔහු සහ ඔහුගේ බිරිඳව කෲර ලෙස ඝාතනයට ලක් කිරීමයි. දෙවෙනි උදාහරණ කේන්දරය අයත් වන්නේ ඇමෙරිකාවේ හිටපු ප්‍රබල ජනාධිපතිවරයෙක් වන ඒබ්‍රහම් ලින්කන්ටය.

උපත 1809.02.12 උදේ 07.10 ට ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ට් ප්‍රාන්තයේ දී

ඉහත දැක්වෙන ඇමෙරිකාවේ පළමු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ කුම්භ ලග්න කේන්දරයේ අප මාතෘකාව හා සබැඳි අඟහරු සහ සෙනසුරු ග්‍රහයන්ගෙන් සෙනසුරු ලග්නාධිපති වෙමින් 10 වැන්න වූ වෘශ්චික රාශියේ පතිතව ඇති අතර අඟහරු රාහු සමඟ 09 වැන්න වූ තුලා රාශියේ පතිතව ඇත. මෙහිදී ග්‍රහයන් දෙදෙනා රාශි දෙකක තැන්පත්ව ඇතත්, අංශක 8 ක් ඇතුළත ප්‍රබල ලෙස සංයෝග වී ඇති බව නවාංශක කේන්දරයේ කිට්ටු නවාංශක රාශිවල පතිතව සිටීමෙන් පැහැදිලි වන්නේය. ඒ අනුව මෙකී කුජ, ශනි යෝගයට සම්බන්ධ සෙනසුරු පූර්ණ දෘෂ්ටියෙන් 12 වැන්නෙහි දුර්වල සඳුව දැකීමත් කේන්ද්‍රීය දෘෂ්ටියෙන් ලග්නය සහ එහි සිටින දුර්වල රවි දැකීමෙන් ලග්නය සඳු සහ රවි කුජ ශනි ගෙන් පීඩා වී ඇති හෙයිනුත් කුජ, ශනි ලග්නයේ සිටින 8 අධිපති බුධව පීඩා කිරීමෙන් සෙනසුරු පූර්ණ දෘෂ්ටියෙන් මාරක භාවයක් වන 7 වැන්න පීඩා කිරීමෙන් යන ග්‍රහ බල මඟින් බලවත් මාරක ග්‍රහ බලයක් නිර්මාණය වී ඇති බව පෙන්නුම් කෙරෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සාහසිකයකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත්විය.

තෙවෙනි උදාහරණ කේන්දරය අයත් වන්නේ පකිස්ථානයේ හිටපු අගමැතිවරියක් වන බෙනාසීර් බූතෝටය. අප මාතෘකාවට සම්බන්ධ අඟහරු ග්‍රහයා 12 වැන්නාධිපති වෙමින් මාරක ස්ථානයක් වන 7 වැන්න වූ මිථුන රාශියේ තැන්පත්ව ඇත. අප මාතෘකාව හා සබැඳි සෙනසුරු මාරක භාවයක් වන දෙවැන්න මෙන්ම ආයු භාවයක් වන 3 වැන්නෙහි අධිපති වෙමින් කර්මය මෙන්ම ආයුෂ නිවේදන කෙරෙන භාවයක් වන 10 වැන්නෙහි පතිතව පූර්ණ දෘෂ්ටියෙන් 7 වැන්න වූ මාරක භාවයේ පතිත අඟහරුට පූර්ණ දෘෂ්ටියෙන් දකිමින් සිටීම අවි ආයුධවලින් අනතුරු සිදුවන බව පෙන්වා දෙන ග්‍රහ පිහිටීමක් වන අතර, ඒ අනුව බෙනාසීර් බූතෝ මැතිණිය දේශපාලන කටයුතුවල යෙදෙමින් සිටියදී සාහසිකයකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූවා ය.

ඒ අනුව ඉහත උදාහරණ කේන්දර තුනෙන් ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සහ පකිස්ථානු අගමැතිනිය බෙනාසීර් භූතෝගේ හඳන්වල කුජ, ශනි යන ග්‍රහයන් ආයු මෙන්ම කර්ම ගැන කියැවෙන භාවයක් වන 10 වැන්නට බලපෑම් කිරීම නිසා ඔවුන් දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටියදී ඝාතනය ලක්වීමට හේතුවිය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.