ඔබ වට්ටන නංවන ඡ්‍යොතිෂයේ කුරුල්ලා

ජනවාරි 26, 2024

මේ මෑත දිනෙක එක්තරා අලුත විවාහ වූ යුවළක් ඇවිත් ඒ අය අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයකට හොඳ නැකතක් ඉල්ලා සිටියා. ඒ සමඟම කියා සිටියා ගිය වර වෙනත් කෙනෙකුගෙන් ගත් නැකතක් නිසා ලොකු පාඩුවක් වුණා කියලා. ඒක නිසා මහත්තයෝ අපේ කේන්දරයේ කුරුල්ලා රජවෙන වේලාවම දෙන්න කියලා. මට අවබෝධ වුණා මේ අය කියන දේත්. ඉල්ලා සිටින දේත්. මම කිව්වා. මෙවර මම දෙන නැකතින් වැඩ පටන්ගන්න මම කියන විදියට අනිවාර්යයෙන්ම ඕගොල්ලො ඔළුව උස්සනවා කියලා. ඒක පාරම්පරික ඡ්‍යොතිෂවේදියකුගෙ වගකීමක්.

ඡ්‍යොතිෂයේ පළමු අදියරයෙදි පංචාංගය ගැන අවබෝධයක් ලබා ගන්නවා තමයි. ඊට පසු දින තිථි, නැකැත්, භාව, ත්‍රිකෝණ ගැනත් ඉගෙනගෙන ද්විතීය තෘතීය දැනුම පාවිච්චි කරල තමයි ඡ්‍යොතිෂයේ වැඩ කරන්න ඕනෑ. විශේෂයෙන් නැකතක් දෙන කොට බැලිය යුතු ගොඩක් දේවල් ඒ කිව්වේ තිථිය, හෝරාව, පංචමය පුර ‘චන්ද්‍රයාගේ දිශාව, පක්ෂියා රජ, ගමන හෝ භෝජන ගන්නා වේලාව අත්හරින රාහු කාලය, වගේ දේවල් හරියටම බලා දීපු නැකැත්වලින් එකකවත් වරදින්නෙ නැහැ. ඒක වගකීමෙන් කියනවා.

විශේෂයෙන් කෙනකු නැකැතක් ගන්නෙ නව නිවසක් හදන්න හෝ නව ව්‍යාපාරයක් පටන් අරගෙන සතුටින් ජීවත් වන්න. ඒක නොවුණොත් ඒ ජීවිතය කඩා වැටෙනවා. ඒ වගේ දේවල් මුළුමනින්ම රඳා පවතින්නේ ඔහු හෝ ඇය ආරම්භ කරන නැකැත මතයි. සාමාන්‍ය ජනතාවට මේ පංච පක්ෂි ක්‍රමය නොදන්නව වුවත් ඒ අය ඡ්‍යොතිෂයේ කුරුල්ලා කියල හඳුන්වන්නේ මේ පක්ෂියාම තමයි.

අපි කුමන ආගමකට අයත් වුවත් හෝ වැලඳගත්තත් ඉදිරියේදී දියුණුව අපේක්ෂිත බොහෝ අය වැඩ ආරම්භ කරන්නේ නැකැතටයි. නැකැත වැරදුණොත් ඉවරට ඉවර බව ඔවුන් දන්නවා. ඒ නිසාම “නැකැත” ගැන අපි කවුරුත් නිවැරැදිව දැන ගත යුතු වනවා.

නැකැතක් ලබා දීමට පෙර උගත් ඡ්‍යොතිෂ ගුරුතුමා. සුබ දිනය, සුබ කාලය, සීහුම් නැකත, තිථිය, වරුව, කාලහෝරාව, පංචම හා සූක්ෂ්ම කාල හෝරාව, සුබ දිශාව, විස කලාව, යෝගිනිය, නඟින කලාව, බහින කලාව යෝගිනිය, සඳු සිටින දිශාව, මරු සිටින දිශාව වැනි අත්‍යවශ්‍ය කාරණා ගැන මනා අවබෝධයකින් සිටිය යුතු බව අනිවාර්යයෙන්ම කියනවා.

සමහර විට ඔබ කියාවි නැකතක් ගන්න කොට මේ ඔක්කොම බලන්ට ඕනෑ නැහැ කියලත්. මොකද ඒක ටිකක් අමාරු නිසා. ඔබ එහෙම හිතුවට මම කිසිම විටෙක ඒ අදහස සමඟ උරණ නැහැ. මෙච්චර කරුණු තිබුණට දක්ෂ ඡ්‍යොතිර්වේදයාගේ තුන්වැනි ඇසට මේ ඔක්කොම කරුණු පෙනෙනවා. අපි නැකතටම නැකැත් දෙන්නෙ නැකත විශ්ව ශක්තිය සමඟ බද්ධ වෙලා තිබෙන නිසා.

බොහෝ දෙනා නැකැත ඉතා සුළුවෙන් හිතනවා. වැරදුණාම බොහොම දුක්වනවා. දුක්වෙනවා විතරක් නොවේ. ණය බේරන්ට කන කර ආභරණ පවා විකුනන්ට වන බව අත්දැකීමෙන් කියනවා. අපි හිතමු වැරදිලා හෝ අනවශ්‍ය නැකතක් ලැබිලා. ඒ වෙලාවට කාරණය ඇරඹුවා කියලා වැඩය ආරම්භ කරල මුදල් යට කරලා දින කීපයකින් නිවැසි මූලිකයා අසනීප වනවා. වැඩය කරන අය රෝගී වනවා. අවසානයි නේද? මේවා පවතින ග්‍රහ ශක්තිය නිසා ඇතිවන දේවල්. ග්‍රහයන්ට බැණ බැණ ඉන්න බොහෝ අය මානසිකව වැටුණාම ග්‍රහ ශාන්ති කරනවා. සමහර විට එතකොට ප්‍රමාද වැඩි වන්නත් බැරි නැහැ.

ඡ්‍යොතිෂ කරුණු විස්තර කිරීමේදි ග්‍රහචාරය, ලග්නචාරය, ගැනම කිය කිය ඉඳලා වැඩක් නැහැ. එකම ලග්නයේ ඉන්න සැමටම එකම ප්‍රතිඵල දෙන්නෙ නැහැ. අපි ඡ්‍යොතිෂ පාඨකයන්ට මීට වඩා ප්‍රයෝජනවත් දෙයක් ඉදිරිපත් කරන්ට ඕනෑ.

නැකැත ගැන දැනගත යුතු බොහෝ කරුණු තිබුණත් වැදගත් වූ කරුණු ටිකක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. අපි සම්පත් නැකැතක සීහුම් කරල අව තිථියට වැඩ කළොත් මුදල් ලැබේවි. එහෙත් ඊට වඩා මුදල් වැයවන රෝග හැදෙනවා. (ආරෝග්‍යා පරමා ලාභා) එහෙම වුවහොත් ඔබ ලබන හැම මුදලම රෝග පීඩාවලට වැය කරන්ට වේවි.

නැකැතක් ගැන කියන කොටම “පංච පක්ෂී” මනසට එන්න ඕනෑ. එක දවසකට පක්ෂීන් පස්දෙනෙක් පස් විදියේ ගමන් විලාසයක් යනවා. ඒ යන්නේ සුබ දිශාව බලලා. මේ ඔක්කොටම එක සමාන බලයක් තිබෙනවා. එහෙත් එකිනෙකාට ආවේණික වු දිනයට වේලාවට බලය වැඩියි. ඡ්‍යොතිෂයෙහි සඳහන් පරිදි පංච පක්ෂියා විස්තර කරන්නෙ මෙහෙමයි. එනම් භේරුන්ඩ, මයුර, කාක, කුක්කුට හා පිංගල කියලා. සාමාන්‍ය අපේ භාෂාවෙන් කිව්වොත් රාජාලියා, මොනරා, කපුටා, කුකුළා හා බකමූණා වනවා. මේ හතර දෙනා පංචෝපකාර ගමනක් යනවා එනම් රජ වන භෝජන ගන්න ගමනේ යන මරු වන හා නිදි වන වේලාව මේ ගමනකට පැය 2 විනාඩි 24ක කාලයක් ගන්නවා. ඔබට අයිති පක්ෂියා ඔබේ කේන්දරයේ ලියා තිබෙනවා. ඒක ඔබටම දැනගත හැකියි. අනික නොදන්නවා නම් අදම දැනගන්න මේවා දැනගන්න ඕනෑ පෑන හසුරවන්ට කලින්. මේ ගමන් විලාසයත් හරියට නැකැත් චක්‍රය වගේ. අපි පුංචි උදාහරණයක් ගනිමු. ඔබ ගන්නවා, අලුතින් නිවෙසක් හදන්න නැකතක්. ඔක්කොම නිවැරදිව ගත්තා කියමු. හැබැයි ඒ වෙලාවට ඔබේ පක්ෂියා ‘නිදි’වේලාව වුවහොත් නිවෙස හදන්ට ආරම්භ කරල හරියට දින 7ක් යනකොට මොන කරදරයකින් හෝ වැඩ නවතිනවා. ඔබේ මුදලුත් ශ්‍රමයත් ඔබේ පක්ෂියා වගේ නිදි තමයි. ඔබට එකක් කියන්නම් පක්ෂියා වැරදිලා නැකත වැරදුණොත් නැවත මුලටම එනවා. හදාගන්න. ඒත් ඒක අමාරු වනවා.

මේ ගමන් විලාසය ඔබට බලාගන්න කැමැතිනම් පංචාංග ලිතේ 12 පිටුවේ වගුවක් ලෙසින් ඇති. බලාගෙන දියුණු වන්ට. ඔබ මොන විදියේ නැකතක් ගත්තත් මොන කරුණු සුබ වුවත් ඒ වෙලාවට ඔබේ පක්ෂියා නිදි හෝ මරණ වුවහොත් “සොරි” ම තමයි.

අනික තමයි පංච පක්ෂි බලන කොට එක එක ප්‍රදේශයට කාල ප්‍රමාණය වෙනස් වනවා. ඒ වෙනස් වන වේලාව සූර්ය උදාව සමඟ කාලය ගළපා අඩු කර ගන්න. ඕනෑම වටිනා වැඩක් නියම පංච පක්ෂියාට අනුව ගත්තම ආයේ දෙකක් නැහැ ඔබ “ගොඩ” මයි. ඡ්‍යොතිෂය කිව්වේ අපට අත්‍යවශ්‍ය ශාස්ත්‍රයක්.

නපුරු වේලාවකට ඔබ ගමනක් යන්ට නැකතක් ගත්තොත් ඒ වෙලාවට ඔබේ පක්ෂියා මර වෙලාවක් නම් ඔබ ආපසු ගෙදර නම් එන්නෙ නැහැ. ඒ බවත් දැනගන්න.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.