බුධ කුම්භයට-පරාර්ථකාමීන් ඉහළට

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරිය
පෙබරවාරි 16, 2024

මේ මස 22 වැනිදා බ්‍රහස්පතින්දා බුධ කුම්භ රාශිගතව පරිත්‍යාගශීලින් බිහි කරයි.

ලග්න දොළහටම සුබදායක 2024 පෙබරවාරි 20 කුජ දින උදේ 06.02 ට බුධ කුම්භ රාශියට පිවිසී මාර්තු 7 දක්වා කුම්භ රාශියේ ගමන් කරන අතර, දෙනට, සියාවස, පුවපුටුප නැකැත් ඇසුරු කරයි. වක්‍රවීම්, අස්තවීම් නැත. ඍජුව ගමන් කරයි.

ඥානයට,කාව්‍ය ව්‍යාකරණ නෘත්‍ය ශාස්ත්‍රඥානයෙන් කරන සියලු දෙවල්වල අධිපති බුධය. ගුවන්විදුලිය, තැපැල්, දුම්රිය, ගමනාගමන, ජනමාධ්‍ය බුධට අයිතිය. යන්ත්‍ර මන්ත්‍ර ආදියටද බලපවත්වයි.

සෙනසුරුගේ ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ රාශිය වන කුම්භ රාශිය බුධට ඉතා යහපත් වේ. විනිවිද පෙනෙන තියුණුූ ගති රටට දායාද කරයි. ලංකා කුම්භ ලග්න කේන්ද්‍රය අනුව පරිත්‍යාගශීලින් රටට දායාද කරයි. තියුණු නුවණ මෙන්ම මානුෂික ගතිද ඇති කරයි. අනුන් කෙරෙහි අනුකම්පාව ඇති කරයි. විශ්වාසවන්ත ස්ථිර ගති සහ පෞද්ගලිකවම යථාවබෝධය ඇති කරයි. පොදුවේ ජනතාව අතර අනුකම්පා සහගත හැඟීම් පුබුදුවන රට දැය දියුණුූ කරන පරාර්ථකාමී හැඟීම් ඉස්මතු වන සමයකි.

එහෙත් වෛද්‍ය සහ වෙළෙඳ අංශවල ගැටලු මතු වේ. අශ්ව සහ ජලජ ප්‍රාණීන්ට අගුණ ඇතිවේ.

 

මේෂ ලග්නය –

ආදායම සහ සමාජගත කරුණු දියුණු කරයි. ලේඛන කටයුතු දියුණු වේ. ක්‍රමානුකූලව කටයුතු කළ හැකිය. සාහිත්‍ය කලා අංශද දියුණු වේ. ගින්නෙන් ආරක්ෂා විය යුතුය.

 

වෘෂභ ලග්නය –

විශ්වාසවන්ත ලෙස කටයුතු කර දියුණුව ඇති කර ගනී. රැකියා කටයුතු දියුණු වේ. අනවශ්‍ය කටයුතු කිරීමෙන් වැළකිය හැකිය. සුබ පලදීම, දියුණුව, ප්‍රසිද්ධිය ඇති වේ.

 

මිථුන ලග්නය –

දෙලොව දියුණුව සඳහා කටයුතු කරයි. ගේ දොර දියුණුව මෙන්ම ඒවායේ ලැබීම් ද ඇතිවේ. විදේශ ගමන් වන්දනා ගමන් යෙදිය හැකිය. ජීවිතය යහපත්ව අධ්‍යාපනය ද දියුණුූ වේ.

 

කටක ලග්නය –

දේපළ ඉඩකඩම් ලැබීමේ භාග්‍ය උදාවේ. නහරගත රෝග පීඩා ඇති විය හැකිය. ගුණ නුවණ දියුණු වේ. රහස්‍ය කටයුතුවලටද දක්ෂ වේ.

 

සිංහ ලග්නය –

ව්‍යාපාර කරන කියන කටයුතු දියුණු වේ. පරාර්ථකාමීව සතුටු සිතින් සමාජගත කටයුතුවලද යෙදෙයි. මිනිසුන් ගැන යහපත් අවබෝධයද ඇති වේ.

 

කන්‍යා ලග්නය –

දේපළ ඉඩකඩම් පිළිබඳ කටයුතු යහපත් වන අතර, සතුරු කරදර රෝග පීඩා ගැන හිතේ බිය ඇති වේ. නහරගත රෝග පීඩා සහ ශරීර අභ්‍යන්තර පීඩා ඇති විය හැකිය. කරුණාවන්තකමද ඇති වේ.

 

තුලා ලග්නය –

පවුලේ අයගෙන් ගරු සැලකිලි ලැබේ. සංගීත, කලා, සාහිත්‍ය සෞන්දර්ය අංශ දියුණු වේ. රාජ්‍ය අංශවලින් ආධාර උපකාර ලැබිය හැකිය. රැකියා දියුණු වේ.

 

වෘශ්චික ලග්නය –

ගුණධර්මවලට, සාධාරණත්වයට ගරු කරන අතර අවංකව කටයුතු කරන යහපත් වැඩවලට හිත යොමු කරන කාලයක් උදා වේ. දේපළ ඉඩකඩම් ලැබීම් ඇති වේ. මිත්‍රයන්ගෙන් උදවු උපකාර ලැබේ. ස්ථාන ගත භූත දෝෂ යෙදීමට ඉඩ තිබේ.

 

ධනු ලග්නය –

දැනුම බුද්ධි වර්ධනය වේ. සාහිත්‍ය කලා අංශ දියුණුූ වී ප්‍රසිද්ධිය ද ඇති වේ. සමානාත්මතාව අගය කරන අදහස් ඇතිවේ. සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරයි.

 

මකර ලග්නය –

ඥානය, දැනුම, බුද්ධිය, දියුණුූ වන අතර ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළ හැකිය. ආර්ථිකයද යහපත් වේ. දත්වල අමාරු සතුරු කරදර ඇති විය හැකිය.

 

කුම්භ ලග්නය –

දොස් නාසන පසුතැවිලි නොවන සේ කටයුතු කළ හැකිය. බලාපොරොත්තු අදහස් සාර්ථක වේ. අනුන්ට කරදර නොකර ආත්ම ගෞරවයෙන් කටයුතු කළ හැකිය.

 

මීන ලග්නය –

සාමානාත්මතාවෙන් කටයුතු කළ හැකිය. පිරිසුදු අදහස් ඇතිවේ. දැනුම බුද්ධිය වර්ධනය වේ. ගමන් බිමන්ද යෙදේ. උරුම හිමිකම්වල ගැටලු ඇති විය හැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.