ඔබේ ලග්නය මිථුන නම්

උපතේ සිට මරණය දක්වා මෙසේ සිදු විය හැකිය
පෙබරවාරි 16, 2024

 

රාශි චක්‍රයේ තුන්වෙනි රාශිය මිථුනයයි. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වනුයේ බුධය. තිර ගුණයෙන් යුක්ත අග්නි දිගින් උදාවන පුරුෂ රාශියක් වන මිථුන රාශියෙන් උපන් ඔබ පැහැපත් සිරුරකට හිමිකම් කියයි. උස් වූ වැඩුණු ශරීරයක් ඔබට හිමිය. දිගු අත්පා බොහෝ දෙනෙකුට පිහිටයි. කාන්තාවන්ද මනා රූ සපුවකින් යුක්ත වේ. කිසියම් ලතාවකට ගමන් කරයි. පැහැදිලි ලෙස වචන පාවිච්චි කරයි.

උභය රාශිවලින් වැඩියෙන්ම උභය ගතියක් පෙන්නුම් කරන්නේ මිථුන රාශියේය. මේ නිසා ගති ලක්ෂණ දෙකක් ඇති කරයි. තරුණ වයසේ දී වයසට වඩා වැඩිමහලු ගතියක් ඇති කරයි. තරුණ වයස ගෙවුණාට පසු තැන්පත් වයසට තරුණකමක් පෙන්වයි. නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෝය. මානුෂික ගතිය හා අන් අය කෙරෙහි අනුකම්පාවද ඔවුන්ගේ සිත්වල බොහෝ විට ඇතිවේ. මේ ලග්නයෙන් උපදින අය හැමවිටම ඥානය මෙහෙයවා කටයුතු කරන්නෝ වෙති. කරුණාවන්ත භාවය සහ සියලු සත්ත්වයන්ගේ දුකට පිහිට වන මොවුහු කිසිදු ලෝභකමක් නොමැති ත්‍යාගශීලි අය වෙති. මිථුන ලග්න හිමියෝ ඉක්මනට කලබලයට පත්වෙන අය නොවෙති. යමක් ගැන තීරණයට පළමු වඩාත් කල්පනාකාරී වෙති. සිත චංචල ගතියෙන් යුක්තය. පොතපත කියවීමට වැඩි ආශාවක් දක්වති. හැම දෙයක්ම දන්නා අයෙකු මෙන් කතා කරති. දක්ෂ ලෙස අන් අයට කරුණු පැහැදිලි කිරීමට සමත් වෙති. නැටුම්, ගැයුම්වලට විනෝද වීම වැනි දේට දැඩි පි‍්‍රයතාවයක් දක්වති. අධික කාමුක ආශා ඇති අයෙකු විය හැකිය. ඇතැම් විට ශරීර අංග හීනවීම හෝ අංග වැඩිකමක් ඇති අයෙකු වීමටද ඉඩ ඇත. ගුරුවරයන් හා තාපසයන් මේ ලග්නයෙන් උපන් අයට පි‍්‍රය මනාප වෙයි. ගුණවත් භාවය ඇති වේ. නොයෙක් ආකාරයෙන් මුදල් උපයමින් නොයෙක් ආකාරයෙන් වියදම් කරයි.

මිථුන ලග්නයෙන් ඔබ උපදින විට ඔබේ ලග්නාධිපති බුධ බලවත්ව සිටියේ නම් හොඳ කථිකයෙකු, ලේඛකයකු, සංගීතඥයකු වීමට බොහෝ විට ඉඩ ඇත. හැම විටම ඔවුහු වෘත්තීන් දෙකක නිරත වෙති. චිත්‍ර කර්මයට, කලාත්මක දේට, කැටයම් ශිල්පයට ළැදියාවක් දක්වති. කවදාවත් නොකළ කාර්යයක් වුවත් තමන්ට කිරීමට භාරදුන හොත් එය කෙසේ හෝ නිම කරයි. වැඩෙහි යෙදී සිටිනතුරු දක්ෂ ලෙස එම වැඩය කරගෙන යෑමටද හැකිය. එක දෙයක් ගැන දිගටම කල්පනා කරගෙන සිටින ගතියක් ඇත. හැම දෙයක් ගැනම සුළුවෙන් හෝ යමක් ඉගෙන ගනී. නියම අවස්ථාවට උවමනා දේ කීමටත්, කිරීමටත් හැකියාව ඇත. වරක් කළ කී දේට විරුද්ධව කටයුතු කිරීම මිථුන ලග්න හිමියාට නුපුරුදු දෙයක් නොවේ. නන්නාඳුනන අය සමඟ වුවත් පහසුවෙන් මිතුරුදම් ඇතිකරගත හැකිය. නමුත් වැඩි කලක් එම මිතුදම් පවත්වා නොගනී.

ළඟ සිටින අයට උවමනා විදියට මිථුන ලග්න හිමියා පහසුවෙන් හැඩගස්වා ගත හැකිය. අන්‍යයන්ගේ සිත් සතුටු කිරීමට ආශා කරන බැවින් ඔවුන් හා විරුද්ධ වීමේ ප්‍රවණතාවය බොහෝදුරට අඩුය. පටන් ගන්නා වැඩපිළිවෙළ වෙනස් කිරීම හෝ අතහැර දැමීම, වෙනස්වන සුළු ගතිය, විවේක නොගැනීම, නොඉවසිලිමත් බව ඔවුන් තුළින් දැකිය හැකි දුර්වලකම් වේ.

මිථුන ලග්නයෙන් උපන් කාන්තාවෝද බුද්ධිමත්ය. සිහින් මුහුණ, පළල් නළල, සිත් ඇද ගන්නා ඇස්, පැහැදිලි නාසය, උල් නිකට, සිහින් තොල්, සඟලෙන් යුත් කුඩා මුඛය සිහින් තරමටම උස ඍජු ශරීරයක් මිථුන ලග්නයෙන් උපන් කතුන්ගේ මතුකර පෙන්වන ලක්ෂණයක් වේ. බොහෝවිට ඇවිදින විට බිම බලාගෙන පියවර තබයි. යමක් දුටු පමණින් කී පමණින් අවබෝධ කර ගැනීමේ ශක්තියක් ඔවුන් තුළ ඇත. ඉක්මනින් තැති ගැනෙන අතර අනුකම්පාව අවියක් මෙන් පාවිච්චි කරයි. වෙනත් කෙනෙකුට ඉඩක් නොතබාම සාවද්‍ය බස් තෙපලන ගතිය ඇය කෙරෙහි කැපී පෙනෙයි. විහිළු තහළුවලට වඩා කැමති නොවේ.

මිථුන ලග්නකාරියන් තැන්පත්ය. පෙම් සබඳතාවන්ට ඔවුන් එතරම් උනන්දුවක් නොදක්වයි. දෙමාපියන්ගේ ආශීර්වාද මැද විවාහ වීමට වැඩි කැමැත්තක් දක්වයි. මේ නිසා බොහෝ තරුණියන්ගේ විවාහයන් ප්‍රමාද වෙයි. තම සහකරුට දේවත්වයෙන් සැලකීමට මිථුන ලග්න හිමි කාන්තාවෝ කැමති වෙති. ඒ අනුව ඔවුන්ගේ පවුල් ජීවිතය සතුටින් හා සාමයෙන් ගතවෙයි.

මිථුන ලග්නයෙන් උපන් ඔබට සිංහ, තුලා, ධනු, කුම්භ, මීන සහ මේෂ ලග්න හිමියන් විවාහයට වඩා යෝග්‍ය වේ. විවාහයේ දී එවන් ලග්න හිමියන් තෝරා ගැනීමෙන් වඩාත් වාසනාවන්ත විවාහ දිවියක් ගත කිරීමට හැකිය.

මිථුන රාශිය වායු රාශියක් බැවින් අවුරුදු 45 ඉක්මවූ පසු අත්පාවලට වායුව තදින්ම බලපානු ඇත. මේ නිසා දණහිස් ඉදිමෙයි. ඇවිදීමට අපහසු බවක් ඇතිවේ. අතපය වෙහෙසා වැඩ කිරීමට අලස බැවින් ශරීරය මහත් වෙයි. එය පසුව වෙනත් රෝගවලටද හේතුවෙයි. ඔවුන් හට වැලඳෙන වෙනත් රෝග අතර උණ රෝග, ලේ හීනතාවය, අත්වල හා උරහිස්වල කැඩුම්, බිඳුම්, මොළයේ ව්‍යාකූල ගතියෙන් සෑදෙන මානසික රෝග ආදිය ද වේ. පෙණහැල්ලේ රෝග හා හුස්ම ගැනීමේ අපහසුතාවයද වේ.

කථිකාචාර්යවරුන්, දක්ෂ කාර්මිකයන්, ඡායාරූප ශිල්පීන්, ග්‍රන්ථ කර්තෘවරුන්, සංගීත හා නාට්‍ය ශිල්පීන්, මැහුම් ශිල්පීන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් මිථුන ලග්නයෙන් ඉපදී ඇත. මිථුන ලග්නයෙන් උපන් ඔබට මාරක ග්‍රහයන් වන්නේ රවි, කුජ හා ශනිය. මේ ග්‍රහයන්ගේ මහදශා, අතුරු දශා කාලවලදී මාරක විපත් ඇති කරයි. විශේෂයෙන්ම සෙනසුරු ඉතා දරුණු මාරක ග්‍රහයා වෙයි. ගංගා, වැව්, මුහුදු වැනි ස්ථානවලදී වඩාත්ම ප්‍රවේශම් විය යුතුය. පිහිනුම් තටාකවල නෑමෙන් ද වැළකී සිටීම යහපත්. රවි, ගුරු, කුජද ඔබට අසුභ පල දෙයි. ශුභපල දෙන එකම ග්‍රහයා සිකුරුය. මිථුන ලග්නයෙන් උපන් ඔබට ජයග්‍රාහී දිනය අඟහරුවාදාය. ජය අංකය 3 වේ.

(මීළගට කටක ලග්නය ගැනයි)

ජෝතිෂ්‍යවේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.