කෙළි පැටවුන්ට දුන් අපූරු දඬුවම

පෙබරවාරි 16, 2024

 

ඡ්‍යොතිෂ විද්‍යාවේ ගුප්ත ශාස්ත්‍රයෙහිලා යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ප්‍රධාන තැනක් ගන්නා බව අවිවාදයෙන් පිළිගැනෙයි. 1940 අග භාගයේ සිට 1970 මුල කාලය දක්වා ගුප්ත ශාස්ත්‍රයෙහි අග්‍රගණ්‍ය නමක් දිනූ ජව සම්පන්න යතිවර චරිතයක් වූයේ කොණ්ඩදෙණියේ නායක හිමිපාණන්මය.

උන්වහන්සේට තමන් වහන්සේගේ කාලය ඉතා අගනා සම්පතක්ම විය. අද මෙන් එදා නවීන ප්‍රවාහන පහසුකම්, මං මාවත් හෙළි පෙහෙළිව නොතිබිණි. ගම්, නියම් ගම් සිසරා කටුක කැළෑ පාරවල් ඔස්සේ තම යන්ත්‍ර මන්ත්‍ර බලයද උපයෝගී කර වන සිවිපාවුන්ගෙන්ද බේරී බොහෝ අවස්ථාවල අසරණ භාවයකට පත්වූ අයට පිහිටවීමට නිස්සරනාධ්‍යාසයෙන් කඩිනම් පා ගමනින් වැඩම කිරීමට උන්වහන්සේට සිදු විය. සැතපුම් ගණනාවක්ම පා ගමණින් කඩිසරව නොගියේ නම් කලට වේලාවට තමන්ගේ සේවය අපේක්ෂා කළ අසරණයන්ට පිහිටවීමට අවකාශ නොලැබෙනු ඇත.

කොණ්ඩදෙණිය ගමට තරමක් දුරින් පිහිටි බමුණූගමට දුෂ්කර කැළෑ පාරවල් ඔස්සේ වැඩම කළ උන්වහන්සේ ඒ අවිහිංසක සේවා ලාභියාට පිහිට වී ඔහු සුවපත් කොට පෙරළා කඩිනමින් පා ගමනින්ම වැඩම කළහ. සන්සුන් ගමණින් වැඩම කළ හොත් පසුවදා කොණ්ඩදෙණිය පන්සලේ යෙදී ඇති ශ්‍රමදානමය කටයුතු සංවිධානය කර ගැනීමට කාලය මදි වනු ඇත.

මේ සිද්ධිය සිදුවුණේ කොණ්ඩදෙණියට ආසන්නව පිහිටි හැලෝගම නෙලුම්වලින් සපිරි දර්ශනීය වැවක ඉස්මත්තේය. ගමේ කොල්ලෝ කුරුට්ටෝ හා ගැටිස්සියෝ දිනපතාම මේ සුන්දර වැවෙන් දිය නෑමට ඒම පුරුද්දක් කරගෙන තිබුණි. ඇතැම් පිරිස් දිය නාමින් සිටියදී නෙලුම් මල් නෙළාගත් අතර, තවත් පිරිසක් නෙලුම් අල එකතු කරන්නට විය. දිය ක්‍රීඩාවල නිරත වන්නන්ද විය.

මේ අතරතුර අපේ කොණ්ඩදෙණිය හාමුදුරුවන්ද වැව් ඉස්මත්තේ පාරේ සුපුරුදු ඉක්මන් ගමනින් වැඩම කරන්නට සිදු විය. හාමුදුරුවන්ගේ ඉක්මන් ගමන් විලාසය දුටු දිය නාමින් සිටි කෙළි පොඩිත්තියන් උන්වහන්සේගේ දෙසට අත්පා ඔසවමින් අන් අයට සරදමට පෙන්වමින් ඔලොක්කුවට මහ හඬ නඟා සිනහසෙන්නට විය. එය ටිකකින් වඩාත් උපහාසාත්මක සිනහවක් බවට පත් විය.

හාමුදුරුවන්ට මේ ගැටිස්සියන්ගේ සිනහව එතරම් ඇල්ලුවේ නැත.

“මම දුර ගමනක් ගොසින් ශාන්ති කර්මයක්ද කරල යම්තම් මනුෂ්‍යයකු ගොඩදාලයි එන්නේ... මුං මාව විහිළුවකට අරන් දෝ කොහෙද? හොඳ වැඩක් කරන්නම් කෝ” තමන්ටම කියාගත් උන්වහන්සේ ඉක්මන් ගමන නතර කොට වැව් තාවුල්ලෙන් වැලි අහුරක් ගෙන මන්ත්‍රයක් ජපකොට එය වැව ඉස්මත්තට විසිකර නැවත සුපුරුදු ගමනින් කොණ්ඩදෙණිය පන්සලට වැඩම කළහ.

ගතවූයේ නිමේෂයකි. වැවේ නාමින් සිටි කෙළි පැටවුන් නෑම පසෙකින් තබා දියබුන් ගසමින් වියරුවෙන් මෙන් මහ හඬින් සිනහවෙන්නට විය. කිසිවකු සමඟ කතා නොකරන එම පිරිස එකම ලෙසට දියබුන් ගසමින් වියරු සිනහවක් පානවා විනා හවස් වනතුරුම ගොඩට ඒමක් සිදු නොවිණි. හැලෝගම වැඩිමහල් ස්ත්‍රීන් තම දියණියන් උදේ දිය නෑමට ගියත් සවස් වනතුරුම නැවත නිවෙසට නොපැමිණි නිසා කලබලයට පත්ව වැව දෙසට ඇදී ආහ. මේ සිද්ධිය දුටු අවට පිරිස්ද වැව් ඉස්මත්තට රොක් වන්නට විය. මවුපියන් තම දරුවන්ට ගොඩට පැමිණෙන ලෙස කෑගසා කිව්වත් ඒ අයට එය නිච්චියක් නොවිණි. සුපුරුදු ලෙස දියබුන් ගසමින් වියරු සිනහව පෑහ.

ඉදින් මේ විප්‍රාකාර දර්ශනය දුටු වැඩිහිටි කාන්තා සහ පිරිමි දෙගොල්ලෝම වහාම කොණ්ඩදෙණිය හාමුදුරුවන් මුණගැසීමට ගියෝය.

“අපේ හාමුදුරුවනේ සමාවන්න මේ හිච්චි කෙල්ලො ටික උදේ වැවේ නාන්න ගියා. දැන් හැන්දෑ වේගෙන එනවා උන් දියබුන් ගහනව. කතාබහක් නැහැ විකාර ලෙස හිනාවෙනවා පමණයි. සමාවෙන්න හාමුදුරුවනේ අපේ නායක හාමුදුරුවෝ එතැනින් වඩිනකොට නොදන්නා කමට උන් විහිළුවට හිනා වෙන්න ඇති”

“මම හදිසියේ ගියේ මනුස්සයකු බේරා ගන්නයි. ඉතින් උන්දැ ගොඩදාලා මම එනකොට මේ පුංචි ගැටිස්සියො කණ්ඩායම සරදමට මට හිනාවුණා. ඒකත් ඉවරයක් නැතුව.”

“අවසර හාමුදුරුවනේ සමාවෙලා අපේ පොඩි එවුන් ටික වැවෙන් ගොඩදාලා දෙන්න”.

අපහසුතාවකින් යුතු වුවද හාමුදුරුවන් වැව ඉස්මත්තට වැඩම කළහ. බිම ඇති වැලි අහුරක් අතට ගත් හිමියන් ඒවා වැව් ඉස්මත්තට විසි කළහ.

ඒ සමඟම ගැටිස්සියන්ගේ දිය බුං ගැසීම නතර විය. හෙමින් සැරේ වැව් තාවුල්ලේ සිට පැමිණි දැරියන් හිමි දෙපාමුල වැඳ වැටී සමාව ලබා ගන්නට විය.

“වැඩිහිටියන්ට ගරු කරන්න ඉගෙන ගනිල්ලා එතකොට මින් පස්සෙ කරදරයක් වෙන එකක් නැහැ.” පැවසූ නායක හිමියෝ හනික පන්සලට වැඩියහ.

***

කොණ්ඩදෙණියේ හිිමියන් තමන් වහන්සේ සතු ශක්ති විශේෂයන්හි බල මහිමය ලොවට ඇස්පනාපිටම පෙන්නුම් කරනු ලැබූ අති ප්‍රබල යතිවරයාණන් කෙනකු විය.

මේ බව දන්නා වැඩිහිටි දෙපළක් මුළු රැයක් මුළුල්ලේ නිදිවරාගෙන කොණ්ඩදෙණිය හාමුදුරුවන් හමුවට පැමිණියේ දකුණු ලක තොටගමුවේ පළාතේ සිටය. ඒ තමන් අරන් හදාගත් දරුවාගේ පාදයක් හිටි හැටියේම පණ නැතිව ගොස් ආබාධයකට ලක්වීම නිසාවෙනි.

“නායක හාමුදුරුවනේ අපි සත්‍යම දේ පවසන්නම්” අප දෙදෙනාට දරුඵල නොමැති නිසා ගෙදර පුංචිකාලේ ඉඳලම මෙහෙවර කම් කරපු ගෑනු ළමයකුගේ දරුවකු හදා වඩා ගත්තා.’

ඒ දරුවට මොකද්ද හදි හූනියමක් කරලද කොහෙද? හිටි හැටියේම කකුලක් පණ නැතිව වැටුණා... අනේ හාමුදුරුවනේ කොලු පැංචව කොහොම හරි ඇවිද්දවා ගන්න ඕනෑයස අගේට ඇවිද ගිය ළමයටයි මෙහෙම වුණේ.”

“ඇයි ඉතින් දරුව එක්ක ගෙන නොආවේ”

“දරුවා ඇල්පිටිය රෝහලේ නවත්තල තියෙන්නෙ. ඉස්පිරිතාලෙනුත් අවසර ගන්නත් ඕනනේ හාමුදුරුවනේ.”

“දරුවා ඉන්න තැනක හිටපුවාවේ නමයි, ලිපිනයයි ලියලා දෙන්න... අපි දේව මන්දිරයට යමු”

දේව මන්දිරය තුළ දැල්වෙන පිත්තල පහන්හි ආලෝක ධාරා දීප්තිමත්ව නිකුත් විය. හිමියන්ගේ මහ හඬින් දේව මන්දිරය නිම්නාද විය. ඒ තුළ ඇති රන්වන් පැහැති තෙල් බදුනද උතුරන්නට විය. කිසිදු තැකීමකින් තොරව කුඩා සුරයක් ගත් හිමියන් ඒ සුරය තුළට තෙල් බිදු කිහිපයක් ඇතුළු කළේ පරිස්සෙමිනි.

ප්‍රධාන බුදු පහන ළඟ එය තබා යළිත් මන්ත්‍ර ජීවම් කරන්නට පටන් ගනී.

“මහත්තයා කිසිදු බියක් සංකාවක් නැතිව මේ කුඩා සුරය පොඩ්ඩාගේ බෙල්ලේ හැට ගහන්න... මේ පිරිත් නූලත් දරුවාගේ කොට්ටෙ යට තියන්න... හෙට වෙන කොට සියලු වස්දොස් නිවාරණයි. මේ වන විටත් පොඩි දරුවා දණගගා ඉස්පිරිතාලේ දුවනවා ඇති.”

“ඒ වුණාට හාමුදුරුවනේ ඇල්පිටිය රෝහලේ දොස්තර මහත්තයා කිව්වේ. ළමයාගේ උකුල්ඇටේ තියෙන ආබාධයක් කියලා. බොහෝවිට දකුණු කකුල කපන්න ඉඩ ඇති බවකුත් කීවා.”

“දැන් ඔක්කොම අහවරයි. ගුණදොස් ආවට පස්සෙ සැල කරන්නකෝ” හිමියෝ කීහ.

දෙමහල්ලන් පී‍්‍රති ප්‍රමෝදයට පත්විය. ඔවුන් කොණ්ඩදෙණිය පන්සලෙන් කොළඹ බලා පිටත් වූයේ සතුටු කඳුළු වගුරුවමින් මහත් අපේක්ෂාවෙන්ය.

දෙදිනක් ගත වන්නට මත්තෙන් යළි ඔවුහු දරුවාද කැටුව පැමිණියහ.

ඒ වන විටත් කොණ්ඩදෙණිය ස්වාමීන් වහන්සේ දේව මන්දිරය තුළ අසරණ රෝගියකුට උවැටන් කරමින් සිටියහ.

දෙමහල්ලෝද එය අවසන් වන තෙක් පසෙකින් වාඩි වී සිටියහ.

ඒත් කෙසේ හෝ දඟකාර කම් පෑ මේ පුංචි කොලුපැටියා දේවමන්දිරය තුළට ඉක්මන් ගමනින් ගොස් හිමිපාණන් තුරුළට ඇදී යන්නට විය. මෙය බලා සිටි සියලු දෙනා විස්මයට පත් විය. නායක හිමිපාණන්ට කාරණය අවබෝධ විය. ඉන් ලද සතුට දෙමහල්ලෝ වෙතින් දෝර ගලන්නට විය. එදින සතුටින් පිටත් වූ ඔවුහු කලකට පසුව දරුවා ඉතා හොඳින් ඇවිදින කාලයේද, නැවත වරක් දරුවා කොණ්ඩදෙණියට රැගෙන විත් හාමුදුරුවන් වහන්සේගේත් දේව මන්දිරයේ වැඩසිටි සියලු ජීවමාන දෙවිවරන්ගේ දේවාශිර්වාදයද ලබා ගන්නට කටයුතු කළහ.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර් / ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.