ඔබට හිමි තනතුර නියතවම ලැබෙන කාලය සොයාගන්න

මාර්තු 8, 2024

ලොවට ජනිත වන සියලුම දෙනා බහ තෝරන වියේ සිටම සතියකින් කුණුගොඩට විසි කරන සෙල්ලම් බඩුවේ සිටම මිය යන තෙක්ම භෞතික සම්පත් එකතු කර ගැනීමට මහත් උත්සාහයක් දරති. යාන, වාහන, කෝටි ගණන් මිල මුදල්, ලබා දෙන්නැයි විශ්ව ශක්තියෙන් විශ්ව මෑණියන්ගෙන් ඉල්ලා සිටිමින් විවිධ යැදීම් සිදු කරති. එවැනි විශාල පිරිසක් බලාපොරොත්තු සුන් වී පසුතැවිල්ලට පත් වෙති.

උසස් විභාගවලට ලියන ලක්ෂ ගණනක් වූ අපේක්ෂකයන් අතුරින් දහස් ගණනක ප්‍රමාණයක් පමණක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබයි. එයිනුත් සිය ගණනක් වැනි සුළු පිරිසක් වහාම වැදගත් රැකියා තනතුරු තානාන්තරවලට පත්වෙති. සමහරු මැති ඇමැතිකම්, අගමැති, ජනපතිකම් ලබන්නට නොකරන කැපවීමක් නොමැත. එයිනුත් බොහෝ පිරිසක් බලාපොරොත්තු සුන් වී අතරමං වෙති. ඒ මේ හැම දෙනාටම කල්තියාම තමාගේ රැකියා ආදී බලාපොරොත්තුව ඉටු වන්නේ දැයි යන්න වැඩි වෙහෙසක් මහන්සියක් නැතුවම ඉන්දීය භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත ඔස්සේ පර්යේෂණ කර සොයා බලා ගත හැකිය. ඒ නිසා තමන්ට නොලැබෙන දෙයක් නොලැබෙන කාලයකදී ලබා ගැනීමට වැර වීරිය දරා අප්‍රසාදයට ලක් නොවී ඒවා ලැබෙන කාලය ඉලක්ක කර ගන්නවා නම් දුක් මහන්සියෙන් උපයන සපයන දේවල් ගඟට කැපූ ඉණි සේ නොවන්නට පසුබිම සකසා ගත හැකිය.

ඉභිනනාසු ඔස්සේ එවැනි ලැබීම් ලැබෙන කාලයන් දැන උත්සාහ කිරීම මත මිරිඟුවක් පස්සේ නොදුවා බලාපොරොත්තු ඉටුකරගත හැකිය. එවැනි න්‍යායාත්මක දත්ත කීපයක්ම පවතින අතර ඔබේ අවබෝධයේ පහසුව තකා ඉතා සරල උදාහරණයකින් ප්‍රබල දත්ත හඳුන්වා දීමට අදහස් කරනු ලැබේ. රැකී රක්ෂා තනතුරු ලබාදීමට ප්‍රබල දායකත්වය ලබා දෙනුයේ රැකියා කාරක සෙනසුරු ග්‍රහයායි. එමෙන්ම ඊට ජීව බල ගුරු ග්‍රහයාද යටිතල ශක්තීන් ලබා දෙනු ලබන්නේ ය. මෙහිදී,

1. උත්පත්ති ශනි විමසිය යුතුයි.

2. ගෝචර ශනි විමසිය යුතුයි.

3. ගෝචර ගුරු විමසිය යුතුයි.

සටහන - ජන්මියාගේ ජන්ම දින ග්‍රහ සටහනෙහි උත්පත්ති ගුරුට යම්කිසි කාල වකවානුවක් තුළදී ගෝචර ශනිගෙන් සහ ගෝචර ගුරුගෙන් එකවර දෘෂ්ටියක් එල්ල වන්නේ නම් එකී කාල සීමාවේදී නව රැකියාවක්, තනතුරක්, තානාන්තරයක් ඒකාන්ත වශයෙන්ම ලැබෙන බව භිර්ගු නන්දන නාඩිය පවසයි.

අවවාදය - අදාළ ග්‍රහ ගෝචර රාශියට අදාළ දෙවි දේවතාවුන් වහන්සේලාට පුද පූජා තබා පින්පෙත් අනුමෝදන් කොට විනිවිද භාවයෙන් යුතුව රැකියා තනතුරේ කටයුතු කිරීම මත යම් අනාගත දිනයකදී සතුරු පීඩා නීති කරදර ආදියෙන් මිදී සුරක්ෂිත විය හැකිය.

රැකියා තනතුරු ලැබීමේ එකී ඉභිනනාසු සිද්ධාන්ත ග්‍රහණය කර ගැනීම සඳහා අංක 38 දරන උත්පත්ති සහ ගෝචර ද්විත්ව ග්‍රහ සටහන් කුජ මණ්ඩලය කෙරෙහි අවධානය යොමු කරන්න. 1978.05.14 වැනි දින උපත ලැබූ ජන්මියාගේ ජන්ම දින ග්‍රහ සටහන අංක 38 දරන රූප සටහනින් දක්වා ඇත.

එහි සිංහ රාශියේ සෙනසුරු ග්‍රහයා තැන්පත්ව සිටීම ද්විත්ව රේඛාවන්ගෙන් අභ්‍යන්තර ගර්භයේ සටහන් කොට ඇත.

2023.01.17 දින කුම්භ රාශියට ප්‍රවිෂ්ට වූ සෙනසුරු ග්‍රහයා එකී ද්විත්ව රේඛා කුණ්ඩලියේ බාහිර ගර්භයේ සටහන් කොට ඇත. එකී සෙනසුරා 2025.03.29 දක්වා එහි ගත කරනු ලබන්නේ ය. මේ නිසා මේ ජන්මියාගේ උත්පත්ති සෙනසුරාට රැකියා කාරක ගෝචර ශනි තම දෘෂ්ටිය එල්ල කරන්නේ ය. මේ නිසා මෙහි කාල පරාසය තුළදී මොහුට නව රැකියාවක් තනතුරක් ලබාදීමේ ප්‍රථම පියවර ආරම්භ කොට ඇත. ඒ වාගේම 2023.04.22 වෙනිදා විශ්ව ග්‍රහ මණ්ඩලයේ ගුරු ග්‍රහයා මේෂ රාශියට සම්ප්‍රාප්ත විය. එකී ගුරු ග්‍රහයා 2024.05.01 වැනිදා දක්වා මේෂයේ සැරිසරන්නේ ය. එය ඉහත සඳහන් ජන්මියාගේ ජන්ම දින ග්‍රහ සටහනේ පිටස්තර වළල්ලේ මේෂයේ තැන්පත් කොට ඇත. ඒ නිසා මෙකී ජන්මියාගේ උත්පත්ති දින ග්‍රහ සටහනෙහි උත්පත්ති සෙනසුරාට මෙකී ගෝචර ශනිගේ සහ ගෝචර ගුරුගේ දෘෂ්ටීන් දෙකම එකවර එල්ල වන්නේ 2023.04.22 සිට 2024.05.01 දක්වා කාල පරාසය තුළදීය. මේ කාලයේදී ඒකාන්ත වශයෙන් නව තනතුරක් රැකියාවක් ලැබිය යුතු බව ඉන්දීය භිර්ගු නන්දන නාඩිය පෙන්වා දෙයි. එය එලෙස ඉටුවෙමින් 2024.01.01 වෙනිදා වන විට ඔහුට රාජ්‍යතන්ත්‍රයේම රැකියාවක් ලැබී ඇත. රාජ්‍ය කාරක රවිගේ පිහිටීමද එයට හේතු වී ඇත.

ඉභිනනාසු සිද්ධාන්තයන්ට ආවේණික තවත් සූක්ෂ්ම සිද්ධාන්තයක් ද මේ සමඟම ඉස්මතු කොට පෙන්වා දෙනු ලැබේ. එනම් උත්පත්ති ශනි සහ ගුරු තැන්පත් දිශාවේම හෝ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේ ගෝචර ශනි සහ ගුරු ගමන් ගැනීමය. එවැනි කාල සීමාවන්ද නව රැකියා තනතුරු තානාන්තර ආදිය ලබා දෙනු ඇත. එකී අවබෝධය ළඟා වීම සඳහා 2024.01.19 වෙනි දින පළකළ ඉභිනනාසු දෙවැනි කොටසේ සඳහන් අංක 3 දරන රූප සටහන කෙරෙහි අවධානය යොමු කරවනු ලැබේ. එකී දැනුම සමඟින් මේ ජන්මි ග්‍රහ සටහනට අදාළ උත්පත්ති ග්‍රහ ගෝචරය දිසා ග්‍රහ සටහන අංක 39 දරන රූප සටහනෙන් අධ්‍යයනය කරන්න. නිල්පාට අභ්‍යන්තර වළල්ලෙහි සතර දිශාව අඩංගු චක්‍රය අංක 39 දරන රූප සටහනින් දක්වා ඇත. එකී නිල් පාට බාහිර වළල්ලෙහි දක්වා ඇත්තේ ජන්මියාගේ උත්පත්ති දින ග්‍රහයින් එසේ දිශාවන්වල තැන්පත් වී සිටි ආකාරයයි.

ඒ අනුව උත්පත්ති සෙනසුරා පිහිටා තිබුණේ නැඟෙනහිර දිශාවේ ය. එමෙන්ම උත්පත්ති ගුරු පිහිටා තිබුණේ බටහිර දිශාවේ ය. මෙකී දිසා වළල්ලෙහි රතුපාටින් දක්වා ඇති පිටස්තර වළල්ලෙහි ගෝචර ග්‍රහ පිහිටීම දක්වා ඇත. ඒ අනුව විශ්ව ග්‍රහ මණ්ඩලයේ සෙනසුරු ග්‍රහයා 2023.01.17 දින කුම්භයට පිවිස 2025.03.29 දක්වා බටහිර දිශාවේ ගෝචරය වීම ස්ථාපිත කර තිබිණ. මේ නිසා උත්පත්ති රැකියා කාරක ශනිට විරුද්ධ දිශාවේ ගෝචර ශනි ගමන් කරමින් සිටී. තවද එකී ගෝචර ශනි උත්පත්ති ජීව බල ගුරු සිටින දිශාවේ ගමන් කර තිබිණ. අනික් කාරණය වන්නේ උත්පත්ති ශනි සිටින දිශාවේ ගෝචර ජීව බල ගුරු ග්‍රහයා 2023.04.22 සිට 2024.05.01 දක්වා සක්‍රීය වීම ක්‍රියාත්මක වී තිබීමය. ඒ වගේම එකී ගෝචර ගුරු උත්පත්ති ගුරුට විරුද්ධ දිශාවට ක්‍රියාත්මක විය. මෙකී සරල ඉභිනනාසු නීතිය තුළ ගැබ් වුණු ප්‍රතිපලය කුමක්ද? ශනි සහ ගුරු යන දෙදෙනා මෙකී ක්‍රියාන්විතය අරඹා තිබූ කාල පරාසය තුළදී ජන්මියාට නව රැකියා තනතුරු ලබා දීම තව කොච්චර නම් දෙනෙකුට මේ වාසනාව පෑදෙන්නට ඇතිද? ඔබත් පෞද්ගලිකව එවැනි ජන්මීන් සොයාගෙන පර්යේෂණ චාරිකාවක නියැළී ප්‍රබල ඉභිනනාසු විචාරකයකු වීමට උත්සාහ කර බලන්න.

ලෝකය පුරා ලැව් ගින්නක් සේ 2017.11.24 දිනයේ දී විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්ගෙන් පැතිරී ගිය ආරංචියක් විය. එනම් සිම්බාබ්වේ රාජ්‍යයේ විද්‍යමාන වූ ජනපති පෙරළියයි. අවුරුදු 37 ක් බලයේ සිටි ජනාධිපති රොබට් මුගාබේට තවත් වසර එකහමාරක් පමණ ඉදිරියට බලයේ සිටීමට වරම් ලැබී තිබිණ. නමුත් විවිධ දේශපාලනික හේතූන් ඉස්මතු වී ජනතා විරෝධය හමුවේ බලයෙන් පහ විය. වහාම උප ජනාධිපති එමර්සන් මනන්ගාවා 2017.11.24 ජනාධිපති තනතුරට පත්විය. මේ අපූරු චිත්‍රපටයක් බඳු සිදුවීම් මාලාව ඔහුගේ ජන්ම දින ග්‍රහ සටහනෙහි සැඟවී තිබුණත් ඉභිනනාසු සම්ප්‍රදායට එය රහසක් නොවන බව වටහා ගෙන ඔබත් ඉභිනනාසු ඡ්‍යොතිෂ විචාරකයෙකු වීම පිණිස දැනුම මුවහත් කර ගන්නට උත්සාහයක් ගෙන බලන්න.

1942.09.15 උපත ලැබූ එමර්සන් මනන්ගාවා වාගේ උත්පත්ති ජන්ම දින ග්‍රහ සටහන අංක 40 දරන සටහනේ ද්විත්ව රේඛාවන්ගේ ඇතුළු ගර්භයේ දක්වා ඇත. එහි ගුරු ග්‍රහයා මිථුනයේ දක්නට ඇත. 2017.11.17 වෙනිදා වන විට ගෝචර ශනිගේ සහ ගෝචර ගුරුගේ දෘෂ්ටිය උත්පත්ති ගුරුට එල්ල වන ආකාරය ඊතල මඟින් පෙන්වා දී ඇත. එකී සංසිද්ධිය ඉභිනනාසු විසින් පෙන්වා දෙනු ලබන්නේ නව තනතුරක් රැකියාවක් ජන්මියාට ලබා දෙන බවයි. තවදුරටත් දිශාගත සම්බන්ධයද විමසා බැලීමෙන් අනිත් න්‍යාය පිළිබඳව තහවුරු කර ගත හැකිය.

එමර්සන් මනන්ගාවා ජනාධිපතිවරයාගේ ජන්ම දින ග්‍රහ සටහනෙහි මිථුනයේ් ගුරු ග්‍රහයා තැන්පත්ව සිටි අතර, දිසා චක්‍රයේදී බටහිර දිශාවේ එකී ගුරු සිටින බව දැක්වෙයි. ඔහු ජනපති ලෙස හදිසියේම දිවුරුම් දෙන දිනයේදී ගෝචර ගුරු ග්‍රහයා බටහිර දිශාවේ තැන්පත්ය. තවද එකී උත්පත්ති ගුරුට විරුද්ධ දිශාවේ රැකියා කාරක සෙනසුරු ග්‍රහයා ගෝචරය විය. ඉභිනනාසු න්‍යාය මල් ඵල ගැන්වී ඇති බව නිරීක්ෂණය වෙයි.

අංක 42 දරන රූප සටහන

1936.11.26 වැනි දින උපන් ලලිත් ඇතුළත්මුදලි අමාත්‍යවරයාගේ උත්පත්ති ග්‍රහ සටහන අංක 42 දරන සටහනින් පෙන්වා ඇත. 1977.06.21 වැනි දා මැතිවරණ ජය ලැබුවේ ය. නමුත් මෙතෙක් සාකච්ඡා කළ කිසිදු ඉභිනනාසු දත්තයක් නොමැති බැව් නිරීක්ෂණය කරන්න.

1977.06.21 දින මැතිවරණය දා ඔහුගේ උත්පත්ති දින දිසා ග්‍රහ සටහනටද පෙරදී සාකච්ඡා කර කිසිදු න්‍යාය දත්තයක් ගැළපී නැත. එසේම රැකියා තනතුරු විජය ලැබුණේ කෙසේද ඉභිනනාසු සම්ප්‍රදායේ සැඟවී ඇති ගුප්ත බලයයි. ඒ උත්පත්ති රවි සමඟ ගෝචර ශනි සහ කේතුගෙන් එය මතු වී ඇත. ඉදිරි ලිපිවලදී ඒ පිළිබඳ විස්තර කරදෙනු ඇත.

 

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම

පුරාණ විහාරයේ

තලගහ සද්ධානන්ද හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.