වමනයට අජීර්ණයට සෙම් කෝපයට බඩපුරවා දැමීමට බිලිඳාට මෙන්ම වැඩිහිටියන්ට එකසේ ගුණදෙන නවරත්න කල්කය

මාර්තු 31, 2023

 

බිලිඳු දරුවන් කිරිවමනය කරන විටදී නවරත්න කල්කය වී ඇටයක් පමණ ගෙන දෙහි ඇඹුලින් සාදික්කා ගලගා දියකර පෙවීමෙන් සුවවේ. තනකිරිවලට සීනි දමා කල්කය දියකර වී ඇටයක් පමණ පෙවීමත් ගුණදායකයි. සෙම් කෝපවී දරුවා හඬන විට ඉඟුරු,කොත්තමල්ලි වතුරෙන් (තැම්බූ) කල්කය දියකර පෙවීමත් බාල වයසේ පසුවන දරුවන් අජීර්ණ, වමනය, ඔක්කාරය බඩපුරවා දැමීම හා අතීසාරය පවතින්නේ නම් එයට හොඳම ඖෂධය වන්නේද නවරත්න කල්කයයි.

 

ඖෂධයේ අඩංගු ඉඟුරු, අසමෝදගම්, දෙදරු අගිල්, කුළුබඩු වර්ග නිසා අජීර්ණයෙන් සිදුවන ආබාධ වළකාලයි. දෙහි, අමුඉඟුරු, මී පැණි , සුදුළූනු යුෂින් කල්කය මදටිය ඇටයක් පමණ දියකරදීම සුබ වේ.

 

විලඳ පොඩිද මී පැණි සහ සීනි ද

කළඳ කළඳ ගෙන මේ හැම අව්ස ද

ගුණ ද වේය දුන්නොත් තද වමන ද

එසද දුනොත් උක්පැණියෙන් ඊට ද

 

කල්කයේ ඇති අරළු, බුළු, කටුකරෝසන ආදී ඖෂධවල රසය දරුවන්ට පි‍්‍රයනුවූවත් අනුපානවලින් එය රුචිකත්වයක් ඇති කළ හැකිය. කාන්තාවන්ගේ මාස් ශුද්ධිය නිසා ඇතිවන වේදනාවටද බැවිල මුල්, සුදුලූනු සමඟ තම්බා ගත් බීමත් ගුණදායකය. වැඩිහිටියන්ට තෙල් අධික ආහාර ගැනීමෙන් ඇතිවන කෑම අරුචිය කෑ හැටියේ බඩයාම, බඩ පුරවා දැමීම, බඩ කොරවීම, උගුරට ඒම, මලබද්ධය, ටික ටික බඩයාම ආදී රෝගබාධ බොහෝවිට ඇතිවේ. එවැනි අවස්ථාවන්වලදී නවරත්න කල්කය දවස් දෙක තුනක්වත් බීමෙන් නිසි සුවයක් ලැබේ.

 

කරාබු වසාවාසිද කුළු රැණි න

කිරා සියලු ඔසු සමකර අරගෙ න

නුරා අරළු රැගෙන දෙබාගි න

කිරා බුළුද ගන්නේ එක බාගි න

 

අමයුරු මී පැණි සහ අඹරා ලා

පෙමකර කරඬුවක තබා ලා

නාගර යුෂ ගෙන දුන්නොත් යොද ලා

පහකරයයි සන්නිය මුල් සිදා ලා

 

අධික ලෙස රක්තවහනය වන රක්තප්‍රදර හෙවත් අධික ලෙස දින කීපයක් මාස් ශුද්ධිය පැවතුණහොත් ශරීර දුර්වලතාවය වළක්වා ගැනීම සඳහාත් රක්තහීනතාවය වළක්වා ගැනීම සඳහාත් නවරත්න කල්කය අත්තික්කා පොතු, තැඹිලි මල් යුෂ සමඟ හෝ රත්මල්ගසේ පස් පංගුව තැම්බූ වතුරෙන් හෝ අත්තික්කා පොතු රත්හඳුන් තැම්බූ වතුරෙන් දීමෙන් ගුණ ඇතිවේ. නවරත්න කල්කයට අසමොදගම්, දෙදුරු, වසා වාසි , වැල්මී, කරාබු, පෙරුම්කායම්, සන්නිනායම් ඇට, දෙදුරු, ඉඟුරු, තිප්පිලි, සාදික්කා, කටුකරෝසන, කළන් (ග්‍රෑම් පහ බැගින්) අරළු කලං 26ද (ග්‍රෑම් 130) බුළු කළං 13 (ග්‍රෑම් 65) ගෙන සිනිඳුව අඹරා චූර්ණ කර හලා මී පැණියෙන් අඹරා ගත යුතුය. අමු ඉඟුරු යුෂ දෙහි ඇඹුල් මී පැණි සමඟ කල්කය දීමත් සුදුසු වේ. සුදුලූනු, ගම්මිරිස් තැම්බූ කෂාය සමඟත් දෙනු ලබන අතර, ළදරුවන්ට තනකිරි, සීනි මිශ්‍රව ලබාදෙනු ඇත.

වැඩිහිටියන් බොහෝ දෙනෙකුට සාමාන්‍ය හේතු නිසා සුළු සුළු අසනීපකම් ඇතිවේ. ඒ අසනීපවලටද නවරත්න කල්කය මහඟු ඖෂධයක් වෙයි. කිසිදු විසක් හෝ අපත්‍යවීමක් මෙම කල්කයෙන් සිදු නොවේ.

තුඩින් නැර වමනේ යන සහතු ට

දොඩම් ඇඹුල් ගෙන දෙන්නේ එම වි ට

සාදික්කා ගලගා දෙසි ඇඹුල ට

දුන්නොත් වමනේ නවතී අත් පි ට

 

මුලා නොවී රුසි කළ වෙදරත් නේ

වලා අඳුර බිඳ පැස දරන් නේ

බලා මෙලෙස කළ හොත් ගුණ රත් නේ

දුලා සපිරි කල්කය නවරත් නේ

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.