වැස්සට ශීතට වැඩිවන ඇදුම

මැයි 10, 2024

මේ වන විට මෙරට වසරකට ඇදුම රෝගීන් ලක්ෂ පහක් පමණ වාර්තා වන බව කියැවේ. බෝ වන රෝගයක් නූවුවත් දුක්ඛදායක රෝගයන් අතරට ගැනෙන රෝගයක් වන ඇදුම, හතිය, ඊලේ, පපුවේ මහන්සිය, ඉලප්පුව, ඕශ්වාසය, හැට්ටුව, මූහ යන නම්වලින් හඳුන්වනු ලැබේ. නිසි ප්‍රතිකාර නොලැබීම නිසා මරණය පවා සිදුවන රෝගයක් වන අතර ඉපදුණු දා සිට මිය යනතෙක් පවතින ඕනෑම වයස් කාණ්ඩයක් තුළදී හටගත හැකි රෝගයකි. විශේෂයෙන් ශීත කාලයේ දී වරින්වර උත්සන්න වන තමකෂ්වාසය රෝගියාට විඳ දරා ගත නොහැකි තරමේ වේදනාවක් ගෙන දෙන අතර පපුවේ දැඩි මහන්සියත් සමග රූම්ගාන ශබ්දයක් ද ඇතිවේ. හුස්ම උඩට හා පහළට අදිමින් රෝගියා ගන්නා වූ වෙහෙස දකින අන් අයටද ඇතිවන්නේ මහත් වේදනාවක් හා අනුකම්පාවකි.

රෝගය වැලඳීම

ඇදුම රෝගය වැලඳීම සඳහා කරුණු දෙකක් හේතුවේ. ඉන් එක් කරුණක් වන්නේ පාරම්පරික හේතූන්ය. ඒ මේ රෝගය පරම්පරාවෙන් පරම්පරාවට උරුමව පවතින බැවිනි. තාත්තාගෙන් පුතාටත් පුතාගෙන් මුණුබුරාටත් ආදී වශයෙන් පරම්පරාගතව රෝගය පැවතිය හැකිය. එහෙත් සමහරවිට පරම්පරාගතව රෝගය නොපැවතෙන්නත් හැකිය. දෛනික ජීවිතයේ දී ඇදුම රෝගය වැලඳීමට බොහෝ කරුණු ඇත. ඉන් රැකියා ස්ථානය හා රැකියාව ප්‍රධාන වේ. දුම්, දූවිලි සහිත පරිසරයක සේවය කිරීම මහාමාර්ගය ආශි‍්‍රතව රැකියාවේ යෙදීම ගරාජ්වල සහ ඒ හා සමාන රැකියාවල යෙදීම සිමෙන්ති ආශි‍්‍රතව හා ගොඩනැඟිලි කර්මාන්තයේ යෙදී සිටීම ගල්කුඩු, ලී කුඩු ඇඟලුම්, රටහුණු, ගොවිපළ සේවය කිරීම ද වේ. ඊට අමතරව නිවෙස්වල ඇති කරනු ලබන පූසන්, බල්ලන්, කුරුල්ලන් වැනි සතුන්ගේ ලොම් ආග්‍රහණය වීමද රෝගයට හේතුවකි.

ඇදුම රෝගයේ ප්‍රභේද

ප්‍රධාන වශයෙන් ගත් කල ප්‍රභේද පහකි. ශුද්ධාස්වාසය, මහාශ්වාසය, වින්නජවාසය, උර්වත්වාසය හාතමකස්වාසය යනු එම ප්‍රභේද පහයි. මේ අතරින් වර්තමාන සමාජයේ වැඩි දෙනකුට වැලඳී ඇත්තේ තමකස්වාසය වන අතර එය වඩාත්ම රෝගය දරුණු ලෙස ඇතිවෙන්නේ රාත්‍රී කාලයේ දී ය. සමහරවිට ඇදුම රෝගයේ ලක්ෂණ එකක් හෝ දෙකක් පෙන්නුම් කෙරේ. රෝගය වැලඳීමෙන් නිසි ප්‍රතිකාරයකට යොමු නුවුණහොත් ඉක්මණින්ම ශරීරය වැහැරීමට පටන් ගනී. එහිදී සිදුවන්නේ කාෂං සංජනයතේ ක්ෂය කැස්ස හට ගැනීමයි. එය ක්ෂය රෝගය හටගැනීමේ ආරම්භයක් වනු ඇත. එබැවින් ඇදුම හටගත් වහාම නිසි ප්‍රතිකාරයන්ට යොමුවීම වැදගත් වේ. ශරීරය පිහිටීමේ දී හෘදය වස්තුවේ ඇතිවන සහජ වෙනස්වීම් හා පපුව අස්වාභාවික ලෙසින් පිළියෙලවීම ද ඇදුම වැලඳීමට හේතු වේ.

මේ හේතූන් නිසා කුඩා අවස්ථාවේ සිටම ඇදුම රෝගී තත්ත්වය ඇතිවිය හැකිය. නාඩි නහර දුර්වලතාවය හා කායික දුර්වලතාවන්ද රෝගයට හේතුවේ. මෙවැනි දුර්වලතාවන් ඇතිවීමෙන් වා සෙම් දෙකම එකසේ වැඩිවේ.

පපුවේ ශබ්දය

රෝගය වැඩිවන සෑම අවස්ථාවකදීම පපුවෙන් රූම් රූම් වැනි ශබ්දයක් ඇතිවන අතර හුස්ම ගන්නා විටත් පපුව තදින්ම ගැස්සීමට පටන් ගනී. එමෙන්ම සමහර අවස්ථාවලදී නළාවක් පිබින්නාක් වැනි ශබ්දයක් ද පූසෙකුගේ හඬට සමාන ශබ්දයක් ද ඇසේ. ශ්වාසනාලය සෙමෙන් අවරෝධ වූ විටකදී ශබ්දය තරමක් වැඩිවන අතර රාත්‍රී කාලයේ දී හා අලුයම් කාලයේදී එය වඩාත්ම වැඩි බවක් පෙන්නුම් කෙරේ. ඇදුම රෝගියෙකුට නිරන්තරයෙන්ම කැස්සද හටගනී. බොහෝවිට දහවල් කාලයට වඩා රාත්‍රී කාලයට වැඩියෙන්ම කැස්ස ඇතිවේ. නින්දෙන් අවදි වූ විටද මේ තත්ත්වය ඇතිවේ. එහිදී වියළී ගිය කැස්සමෙන්ම සෙම් සහිත කැස්ස ද ඇති විය හැකිය. මෙලෙස කැස්ස ඇතිවීමෙන් ඝන වූ සෙම් ගුළි පිටවේ. එවැනි අවස්ථාවලදී රෝගියාට මහත් සුවයක් ඇති වේ.

දේශගුණය හා අනිසි ක්‍රියා

ශීත පරිසරයක ජීවත්වීම වැස්සට පින්නට අසුවීම ඉතාම අහිතකරය. ඇදුම රෝගියා ශ්වාසාව රෝධයෙන් පෙළෙන විට ගෙය තුළින් පවා පවතින ශීතලය ඉවත් කළ යුතු ය. අධික ලෙස වා සෙම් දෙක කිපී ඇතිවන වාත කථ ප්‍රකෘතිකශ්වාස රෝගීන් විෂයෙහි ශීතගුණ විශිෂ්ට පරිසරය විස හා සමානයැයි සඳහන් වේ. සුරතලයට ඇති කරන බළලුන්, බල්ලන්, කුරුල්ලන්ගේ පවතින යම් යම් දූවිලි ඇසට පවා නෙපෙනෙන කුඩා ලොම් කොටස් ආග්‍රහණය වීමෙන් ඇදුම රෝගය වැලඳීමට හැකියාව ඇත. එමෙන්ම මල් පරාගද ඇදුම රෝග කාරකයකි. බොහෝ දරුවන් මෙන්ම වැඩිහිටියන් ද සුරතල් සතුන් තුරුලු කර ගෙන හා මුහුණට ළං කරගෙන සිඹීමට පුරුදුව සිටිති. සමහර අය වාහනවල ගමන් කරන අවස්ථාවලදී සමහර සතුන් උරහිසේ තබාගෙන ආ අත්වලට අරගෙන මුහුණට ළංකර ගනිමින් යති. මෙවැනි ක්‍රියා නිසාද ඇදුම රෝගය වැලඳීමට හේතුවේ.

බිම පවතින ඇතැම් දූවිලි සහ ගස්මල්වල පවත්නා පරාග පිදුරුවල ඇති සිනිඳු බව බූව මෙන්ම වඳුරු කුකුළු අශ්වයනාදී සතුන්ගේ ඇඟේ පවතින දූවිලි හා ඒවායෙහි ඇති ප්‍රෝටීන් වර්ගත් ආශ්වාස කිරීමේ දී ශරීරගතවීමෙන් ද රෝගය වර්ධනය වීමට හේතුවේ.

ආහාරපාන

රළු ආහාර උඳු, තලතෙල්, පිටි, කැවිලි වර්ග, ජලජ, අල ජාති විෂම ආහාර කෘත්‍රිම ආහාර වර්ග ශීතකළ ආහාර වර්ග තම ප්‍රකෘතියට නොගැළපෙන ආහාර නිතර නිතර ගැනීමෙන් ඇදුම රෝගය ඇතිවිය හැකිය. තවද තමන්ගේ එදිනෙදා රැකියාව අනුවද රෝගය වැලඳේ. බොහෝ දෙනකු පුරුද්දක් වශයෙන් ස්නානය කරනු ලබන්නේ නැතහොත් ඇඟපත සේදීමට ක්‍රියා කරනු ලබන්නේ රාත්‍රී කාලයේදී ය. එය දිගු කාලයක් සිදුකිරීම නිසාත් ඇදුම රෝගය වැලඳීමට හේතුවක් විය හැකිය.

දුම් පානය

දුම්පානය කිරීමෙන් දුම්වැටියේ පවතින නිකොටින් තාර වැනි අංශු පෙණහලු ගර්භයෙහි තැන්පත්වීමෙන් ද ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවය රෝගය හටගැනීමට උපකාරී වේ. වර්තමාන සමාජයේ පවතින කාර්ය බහුලත්වය නිසා යම් යම් අසනීපකම් ඇති වූ විට ඖෂධ සල්වලින් වෛද්‍ය උපදෙස් නොමැතිව බෙහෙත් වර්ගගෙන පාවිච්චි කිරීමටද පුරුදුව සිටිති. රෝගය නොදැන මෙසේ හිතුමනාපයට බෙහෙත් ගැනීම නිසා වෙනත් රෝගවලට ලක්වීමෙන් ගනු ලබන ප්‍රතිකාරවල බලපෑමෙන්ද රෝගය ඇතිවීමට හේතු වේ.

මානසික හේතූන්

ඇදුම රෝගයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන් නිතර නිතර ඒ ගැන කල්පනා කිරීම යම් යම් ප්‍රශ්න හා ගැටලු ගැන කල්පනා කිරීම නූවුමනා අයුරින් අධික ලෙස සිනා සීම නොයෙකුත් කාර්යයන් ගැන සිතමින් මානසික අසහනයට පත්ව සිටීම නොනිදා කල්පනාකාරීවීම රෝගයට හේතුවේ.

ගර්භිණී සමය

ඇතැම් කාන්තාවන්ට ගර්භිණී සමයේ දී සුළු වශයෙන් ඇදුම තත්ත්වයක් මතුවේ. පසුව ගර්භිණී සමය අවසන් වීමෙන් එයද අවසන් වේ. එහෙත් සමහර කාන්තාවන්ට පෙර මෙන්ම ඇදුම තත්ත්වය නොනෙස්ව පවතී. භාෂගත කලලයේ මාතෘ පීතෘ ශුක්‍ර අර්ථවත්ව සංයෝගයේදී සෙම කිපී තිබේ නම් උපදින දරුවාටද ඇදුම රෝගය වැලඳීමේ අවස්ථාවක් ඇත. කුලුඳුල් දරුවන් බොහෝ දුරට ඇදුම රෝගයෙන් සහ අනෙකුත් අසාත්මිකතාවන්ගෙන් පෙළෙන බව නොයෙක් පර්යේෂණ මඟින් සොයාගෙන ඇත.

දරුවන්ට

ළදරුවන්ට ඇදුම රෝගය හටගනු ලබන්නේ ළය පීනසත් සමගය. සමහර ළමයින්ට රෝගය ඇතිවන්නේ කඩුවේගම් (ඇක්සීමා) සමගය.

නිදහස් කාලය

ඇදුම රෝගියා නිතර නිදහස්ව සිටීමට කැමැත්තක් දක්වයි. රෝගියා මානසික වශයෙන් මෙන්ම කායික වශයෙන් ද පීඩාවට පත්ව සිටිති. කේන්තියෙන් හා නොරිස්සුම්ගතියෙන් අධික කෝපයෙන් සිටිති. අන් අය කියන කරන දේ ගැනත් තද කේන්තියෙන් සිටිති. ඒ ගැන සැලකිලිමත්ව රෝගියා ගැන අනුකම්පා සහතව කටයුතු කළ යුතුය. වෛද්‍ය උපදෙස් අනුව නිසි වේලාවට රෝගියාට දියයුතු බෙහෙත් ලබා දෙමින් රෝගියා සුවපත්කර ගැනීමට නිවැසියන් කටයුතු කළ යුත්තේ සානුකම්පිතව සොයා බලමිනි.

 

බත්තරමුල්ල, පැලවත්ත,

රාජපුර වෙද මැදුරේ,

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.