සූර සරදියෙල්ට කෙටි ආයුෂත් ජේ. ආර්. ජයවර්ධනට දිගු ආයුෂත් දුන් පිනට පවට බලපාන ග්‍රහයෝ

සැප්තැම්බර් 29, 2023

ලග්න කේන්දරයක 9 වැන්න ජන්මියා විසින් පෙර ආත්මවලදී කරන ලද කුසල් කර්ම පිළිබඳව කරුණුූ හෙළිදරවු කරන භාවයක් වන අතර 8 වැන්න ජන්මියා විසින් පෙර ආත්මවලදී කරන ලද අකුසල් කර්ම පිළිබඳව කරුණු හෙළිදරවු කෙරෙන භාවයක් වන්නේය.

ඒ අනුව ඉහත සඳහන් කළ භාව දෙකෙන් 8 වැන්න සහ එහි අධිපති, ලග්නය සහ එහි අධිපතිට සහ 9 වැන්න සහ එහි අධිපතිට වඩා බලවත් වුවහොත් එය ජන්මියාගේ ආයුෂ අල්ප හෙවත් අවුරුදු 32ට ප්‍රථම අවසන් කෙරෙන ග්‍රහ බලයක් වන්නේය. ඒ අනුව ලග්න කේන්දරයක 8 වැන්නාධිපතියා ලග්නාධිපති සහ 9 වැන්නාධිපතිට වඩා අඩු බලයකින් එනම්, මිත්‍ර, සම, නීච නමුත් නීච භංග වී පාප පීඩිත නොවී සිටිය යුතුය. සතුරු නම් පාප පීඩිත නොවී ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටියට භාජනව සිටිය යුතුය. මෙහිදී 8 වැන්නාධිපති මෙන්ම 8 වැන්නට කාරක සෙනසුරු ග්‍රහයා ද 3,6,10,11 යන උපචය භාවයක පාප පීඩිත නොවී බලවත්ව සිටිය යුතුය. මෙහිදී පෙර පින් ගැන කියැවෙන 9 වැන්නාධිපති ගැන කරුණු විමසන කල, 9 වැන්නට කාරක ගුරු ගැන සලකා බැලිය යුතුය. ගුරු පාප පීඩිත නොවී 2,5,7,9,11 යන භාවයක බලවත් ඇත්නම් 9 වැන්නෙන් කියැවෙන ශුභ ඵල ඉතා හොඳින් ලැබෙන්නේය. ලග්නය ගැන කරුණු සලකා බැලීමේදී ඊට කාරක වන රවි ගේ, බල දුබලතා ගැනද සලකා බැලිය යුතුය. එහිදී රවි 3,6,10,11 යන උපචය භාවයක බලවත්ව ඇත්නම් ලග්නයෙන් අපේක්ෂිත ශුභ ඵල ඉතා හොඳින් ලැබෙන්නේය. එමෙන්ම ජන්මියාට මෙලොව ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය පෝෂණය ලබා දෙන සඳු ග්‍රහයාගේ බල දුබලතා ගැන ද විමසා බැලිය යුතු වන අතර, ඒ අනුව සඳු බලවත් නම් එය ජන්මියාගේ ආයුෂ වැඩි වීමට හේතු වන අතර, දුබල නම් ආයුෂ අඩු වීමට හේතු වන්නේය. ඉහත විග්‍රහ කළ කරුණු පිළිබඳව වඩාත් පැහැදිලි වූත් නිරවුල් වූත් අවබෝධයක් ලබා ගැනීමට අපි උදාහරණ කේන්දර කිහිපයක් අධ්‍යයනය කරමු.

පළමු උදාහරණ කේන්දරය අයත් වන්නේ යටත් විජිත සමයේ මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙකු, මිනීමරුවකු ලෙස ප්‍රසිද්ධියක් ලැබූ උතුවන්කන්දේ සූර සරදියෙල්ටය. එම මේෂ ලග්න කේන්දරයේ අප මාතෘකාවට සම්බන්ධ 8 වැන්නාධිපති අඟහරුවන අතර, එම අඟහරු 8 වැන්නේහිම පතිතව ඇත. ඒ අනුව ලග්නාධිපති අඟහරු වුවත් ඔහු 8 වැන්නාධිපති ලෙස 8 වැන්නෙහි පතිතව සිටීමෙන් ලග්නාධිපතිගේ ඵලවිපාකවලට වඩා ලැබෙන්නේ 8 වැන්නාධිපතිගේ පලවිපාකය මෙලෙස 8 වැන්නේ සිටින 8 වැන්නාධිපති අඟහරු හදිසි මාරක ගැන කියැවෙන 7 වැන්නාධිපති සිකුරුගෙන් සහ රාහු/කේතු යන ඡායා ග්‍රහයන් සමඟ යෝග වීමෙන් පීඩා වී ඇති අතර, එකී 8 අධිපති අඟහරු තවදුරටත් බාධක ස්ථානාධිපති සෙනසුරු සමඟ යෝග වූ 6 අධිපති බුධගෙන් පාප කර්තරීහ යෝගයකට මැදි වීමෙන් අතිශයින් පාප පීඩිත වී ඇත. ඒ අනුව 8 අධිපති මෙන්ම ලග්නාධිපති අඟහරු 8 වැන්නෙහි දැඩි ලෙස පාප පීඩිතව සිටීම ජන්මියාගේ ආයුෂ ඉතා අඩු බව පැහැදිලි කෙරෙන ග්‍රහ පිහිටීමක් වන නමුත් එය ස්ථිර ලෙස සහතික වීමට නම් 9 වැන්නාධිති සඳු, රවි යන ග්‍රහයන්ගේ බල දුබලතා ගැන ද විමසා බැලිය යුතුය. ඒ අනුව ඉහත කේන්දරයේ 9 වැන්නාධිපති ගුරු ගුරුගේ බලය ඉතා දුර්වල කෙරෙන භාවයක් වන 9 වැන්නෙන් 7 වැන්න වූ 3 වැන්නෙහි සතුරුව බුධ, ශනි, සිකුරු, රාහු, කේතු යන පාප ග්‍රහයන්ට මැදිව පාපකර්තරීහ යෝගයකට සම්බන්ධව ඉතා දුර්වල වී ඇත. සඳු ග්‍රහයා සඳු ග්‍රහයාගේ බලය ඉතා දුර්වල කෙරෙන භාවයක් වන 8 වැන්නාධිපති නීච භංග යෝගයක් උදා කරමින් සිටින නමුත් පාප කර්තරීහ යෝගයකට මැදිව රාහු, කේතු, සිකුරු යන ග්‍රහයන් සමඟ යෝගව පාප පීඩිතව දුර්වලව සිටින හෙයින් සඳු ග්‍රහයා ඉතා දුර්වල වී ඇත. රවි 8 වැන්නේ යට කී ග්‍රහයන් සමඟ යෝගව පාප කර්තරීහ යෝගයක මැදිව දුර්වල පාප පීඩිතව සිටින හෙයින් රවි ග්‍රහයාගේ බලයද පිරිහී ඇත. ඒ අනුව ඉහත විග්‍රහ කළ කරුණුවලින් සූර සරදියෙල්ගේ ආයුෂ ඉතා අඩු හෙවත් අල්ප ආයුෂ එනම්, අවුරුදු 32ට ප්‍රථම ජීවිතක්ෂයට පත්වන බවට නිගමනයකට එළඹිය හැකි වන අතර, ඒ අනුව 1864දී එනම් සූර සරදියෙල් ගේ වයස අවුරුදු 29 යේදී ඔහු සමඟ අනියම් සම්බන්ධකමක් පවත්වාගෙන ගිය ස්ත්‍රියක් විසින් පොලිසියට දෙන ලද ඔත්තුවක් අනුව බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන 1864 මැයි 7දින සෙංකඩගල පොරක හෙළ නම් ස්ථානයේදී විශාල පිරිසක් ඉදිරියේ සූර සරදියෙල්ව එල්ලා මරනු ලැබීමෙන් ඉහත විග්‍රහ කළ කරුණු සත්‍ය බව වඩාත් හොඳින් පැහැදිලි වන්නේය.

දැන් අපි 8 අධිපතිට වඩා 9 වැන්නාධිපති බලවත් වීම නිසා දීර්ඝායුෂ වින්ද අයෙක්ගේ කේන්දර සටහනක් අධ්‍යයනය කර ඉහත විග්‍රහ කළ කරුණුවල සත්‍යතාවය වඩා හොඳින් තහවුරු කර ගනිමු. ඒ අනුව පහත දැක්වෙන්නේ මෙරට හිටපු ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ කේන්දර සටහනයි.

එම කේන්දරයේ අප මාතෘකාවට සම්බන්ධ 8 වැන්නාධිපති අඟහරු 12 වැන්නේ පතිතව ශනිගේ සප්තම දෘෂ්ඨි පීඩාවී 12 වැන්නාධිපති රවි සහ රාහු කේතු යන ග්‍රහයන්ට මැදිව පාප කර්තරීහ යෝගයකට මැදිව දුර්වල වී ඇත. ලග්නාධිපති බුධ දුෂ්ට භාවයක් වන 12 වැන්න වූ සිංහ රාශියේ පතිත වීමෙන් දුර්වල වී ඇති සේ පෙනුණත් චන්ද්‍රයා සිටි රාශි ලෙස චන්ද්‍ර ලග්නයෙන් 2 වැන්න සහ පළමු වැන්න අතර, මහ පරිවර්තන යෝගයකට චන්ද්‍ර ලග්නාධිපති රවි සහ ඉන් දෙවැන්නාධිපති බුධ සම්බන්ධ වී ඇති නිසා, ලග්නාධිපති මෙන් සඳු ද බලවත් වී ඇත. අප මාතෘකාවට සම්බන්ධ අනෙක් ග්‍රහයා වන සිකුරු තම මූල ත්‍රිකෝණ රැස වන තුලාවෙහි පතිතව පියුමාකාර යෝගය මෙන්ම මහ ත්‍රිකෝණ යෝග උදා කරමින් බලවත්ව ඇත. ඒ අනුව ඉහත කේන්දරයේ 8 වැන්නාධිපතිට වඩා 9 වැන්නාධිපති සිකුරු මෙන්ම ලග්නාධිපති බුධ, රවි, සහ සඳු ග්‍රහයා බලවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ජේ.ආර්. ජයවර්ධනය මහතාට අවුරුදු 93ක් දීර්ඝායුෂ විඳීමට හැකි විය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.