විවාහ වෙලා ගුටි ගහගන්නවාට වඩා කේන්දරයේ ග්‍රහ ගැළපීම් කරගන්න

සැප්තැම්බර් 9, 2022

 

ඉපැරණි පොරොන්දම් ගැළපීම් ක්‍රමය හරිද භාරතීය සමාජයට ගැළපෙන සේ සැකසුණු ඒ පදනමට ඔරොත්තු දෙන විවාහ ක්‍රමය අද වනවිට සාර්ථක වේද යන්න විමසීම ජ්‍යෙතිෂවේදීන් සතු කාර්ය භාරයකි.

විවාහ වීමේදී අවස්ථා දෙකක් සමාජ ගතවී තිබේ. ප්‍රේම සම්බන්ධ හා යෝජනාවකින් යන කරුණු දෙක මතය. බොහෝවිට එදත් අදත් පෙම් සබඳතා ගොඩනගාගෙන කලක් පෙම් කර විවාහ වන්නේය.

 

යෝජනා හරහා විවාහ වීමද සමාජයේ සුලබව දක්නට ලැබේ. මේ අතර ප්‍රේමයේදී දෙදෙනා අතර සුහදශීලීව ආදරයෙන් එකට වෙළි වෙළී සිට හැඟීම්වලට පමණක්ම වහල් වීම නිසා දෙදෙනාම ඔවුන් මවා ගත් ලෝක රස විඳීමට යෑමෙන් පෙම්වතියගේ උත්තම ගණයේ චරිතය කෙලෙසෙන තැනට ද පත්වීම ප්‍රසිද්ධ රහසක් වී ඇත. පෙර වාසනාවකට හෝ දෙදෙනා එක් වහලක් යට මුද්දරයක අත්සන් තබා ගෙවන යුගදිවිය මැදක් හරියේදී අඩදබරවලින් පිරී යන තැනට පත් වීම නිසා දික්කසාදයට යන බවද පැහැදිලිය. විවාහය එකිනෙකාට නොගැළපෙන තැනට පත් නොවීමට නම් කළ යුතුවන්නේ පූර්ව සොයා බැලීම් ජ්‍යෙතිෂ විද්‍යානුකූලව සොයා බැලීමයි. නැතහොත් පොතේ දැක්වෙන ආකාරයට මෙරටට ආනයනය කරන ලද එක්තරා ලියවිල්ලක් මත පොරොන්දම් පමණක් බැලීම නොකළ යුතුයි.

විශේෂයෙන්ම විවාහය ගැන කරුණු දත්ත එක්රැස් වී ඇත්තේ කේන්ද්‍රයේ 7 වැනි කොටුව තුළය. විවාහයේ අති සාර්ථකත්වය මැනවින් ඒකරාශි වී ඇති 7 වැන්න ඇසුරු කරන ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව ගැඹුරින් නිරීක්ෂණය කළ යුතුයි. දෙදෙනාගේම ග්‍රහ හැසිරීම එක් අයකුට වඩා අනෙකාගේ බලශක්තිය හීන නම් දුබලත්වයේ පවතින්නේ නම් එකී විවාහය අසාර්ථකත්වයට පත්වීම නොවැළැක්විය හැකිය. 7 සිටින ග්‍රහ බලයෙන් සමාන වන දෙදෙනකු ගැළපීමක් කිරීම අනිවාර්ය වේ. සිකුරු බලයෙන් හීන වූ කෙනෙකුට අනෙකාගේ සිකුරු අධික වූ විට ගැටලු පැන නඟී.

අසමාන ලිංගික පැවැත්මක් ඇති දෙදෙනකු එක් වීම මෙයට හේතු පාදක වේ. විවාහයේදී බලවත් ග්‍රහයින් තිදෙනා වූ රවි, කුජ රාහුය. රාහු ගැන වෙනම පරීක්ෂා කළ යුතුවන්නේ රාහුගේ හැසිරීම් රටාව වහා වෙනස් ස්වරූපයක් ගන්නා නිසාය.

රවි කුජ දෙදෙනාගෙන් එක් ග්‍රහයෙකු 7 සිටි විටදී ඔහුගෙන් ඇය විවාහ විය යුත්තේද එයින් එක් ග්‍රහයෙකු 7 සිටින අයෙකු සමඟයි.

හතේ කිසිම ග්‍රහයෙකු නැතිනම් රවි හා කුජගේ බලශක්තිය හතේ පැවැතීම සෑහෙනු ඇත්තේ සිංහ, මේෂ හෝ වෘශ්චික වීම හරහායි.

විශේෂයෙන්ම 7 බුධ සිටින කෙනෙකු විවාහ විය යුත්තේ බුධ, ශුක්‍ර හෝ සඳු සිටින කෙනකු සමඟයි. හතේ කිසිම ග්‍රහයකු නැත්නම් 7 වැන්න එම ග්‍රහයින්ගේ බලය පවතින කෙනකු සමඟය. එනම් කන්‍යා, වෘෂභ, තුලා , කටක යන ලග්නවලින් එක් අයෙකු සමඟයි. ගුරු අසාත්මික ගුණයෙන් යුක්තය. කුජ සිටින කෙනෙකු නොගැළපේ. පරස්පර විරෝධි ක්‍රමයක් වනු ඇත.

එක් අයෙකුගේ කුජ, ශනි යෝග වී අනෙක් කේන්ද්‍රයේ කුජ ශනි යෝගයක් රහිත නම් දෙදෙනාම කායික හා මානසිකව ගැලපීම් නොමැත. විසෙන් විස නසින තැනට පත් වන්නේ නම් එයද මැනවි. භෞතිකමය මූල්‍ය බැලීමේදී රවි උච්ච වීම පහත් ප්‍රවණතාවකි. එහෙත් දෙදෙනාගේම රවි විශේෂයෙන්ම උච්ච වීම හරහා යම් යම් මානසිකමය ගැටලු උද්ගත වේ.

තවද කුජ, ශුක්‍ර කාම යෝගයකි. එක් අයකු කාමභෝගී ජීවිතයේ උදාසීන බවක් ඇත්නම් දෙදෙනා අතර කායික ගැළපීම්වල යම් යම් සුවිශේෂී තත්ත්වයන් උද්ගත වේවි. තවද දෙදෙනා අතර සහයෝගිතාවයෙන් මානසිකව ක්‍රියා කිරීමේ උපායශීලිත්වයකින් යුක්ත වේ නම් තරමක් දුරට හෝ යුගදිවිය ගෙවිය හැක. දෙහි ඇට හැපෙන තත්ත්වයට පත් නොවිය යුතුමය.

තවද කුජ කේතු යෝගයද යුගදිවිය එතරම් ගැළපීමක් නැත. විශේෂයෙන්ම හතර කේන්ද්‍රයේ ස්ථානගත වීම එතරම් ශුභවාදී නොවේ. යුගදිවිය රසවත් කරන කායික මානසික වින්දනය උපරිම තත්ත්වයට පත් කරන සිකුරු නීච වීම සුබ නොවන බැව් දක්වමු. සත් වැන්නේ කුජ ශනි රාහු සිටීම අයහපත්ය.

ලග්නයේ දුබල දුටු පාපීන් කේන්ද්‍ර‍්‍රයේ පස්වැන්නේ නම් අසුබයි. දරුවන් හට ද විපත් වේ. ලග්නයේ රවි සිටියදී ශනි 7 වැන්නට ගියේ නම් සහකරු හෝ සහකාරියට තද බල මාරක අපල ගෙන දේවි. පොරොන්දම් ගැළපීමට පෙර එයට මුල් තැන දීම වෙනුවට කළ යුත්තේ මෙහි පහත සඳහන් කරුණු කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම් රටාව මත ක්‍රියාත්මක වේද යන්න ගැන නිරීක්ෂණය කිරීමයි.

 

බහු විවාහ යෝග තිබේද?

 

වැන්දඹු යෝග ඇද්ද දෙදෙනාගේ කායික, මානසික ගැළපීම් යහපත්ද ආයුෂ කෙසේද? දාරක සම්පත් වාසනාව ඇද්ද බලවත් ඒරාෂ්ඨක කාල තිබේද ඉදිරියට සිපිරිගෙයි අයිතිද අධික කාමුකද හීන කාමුකද උගත්කමට වඩා බුද්ධිමත්ද? ජාන රෝග තිබේද? මෙවැනි කරුණු රාශියක්ම ඡන්ම පත්‍රයේ ග්‍රහ හැසිරීම් රටාව අනුව ගැඹුරින් විමසා බැලිය යුතු වේ. පොරොන්දම් ලකුණු නොගැළපුණත් අනෙක් වැදගත් ග්‍රහ කරුණු ගැළපේද යන්න විමසා බැලීම අනාවර්ය වේ.

මෙකලට ඉපැරණි පොරොන්දම් ගැළපීම් ක්‍රමය හරිද භාරතීය සමාජයට ගැළපෙන සේ සැකසුණු ඒ පදනමට ඔරොත්තු දෙන විවාහ ක්‍රමය අද වනවිට ගැලපීම් සාර්ථක වේද යන්න ජ්‍යෙතිෂවේදීන් සතු කාර්ය භාරයකි. කරුණු කාරණා මෙලෙස දිග හරිමින් ඔබ විවාහ අපේක්ෂකයෙක් නම් පොරොන්දම් බැලීමට පෙර ඔබ දෙදෙනාගේම ග්‍රහ පිහිටීම හැසිරීම් සඳුගේ හා සිකුරුගේ බලය මෙන්ම නවාංශක ශක්තියද මුලින් සොයා බලා බුද්ධිමත් තීරණයක බැසීම දෙලොවම ජයගත හැකිය. විවාහය, විශ්වාසය, වාසනාව, හරිමග යහපත යන වැකියේ ඇතුළත සාරය ඉන්ද්‍රකීලයක් සේ කර ගැනීමට නම්, ග්‍රහයින්ට මුල් තැනදී දෙවනුව පොරොන්දම් බැලීම වරදක් නොවේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.