හදිසි අනතුරු ඇති කරන ග්‍රහයෝග

මැයි 3, 2024

මේ දිනවල හදිසි අනතුරු හා මරණ පිළිබඳ හද සංවේදී වන සිදුවීම් රැසක් අපට අසන්නට ලැබිණි.

හදිසි අනතුරු හා මාරක සිදුවීම් පිළිබඳව පූර්ව නිගමනයක් ලබා ගැනීමට ඡ්‍යොතිෂය පටිවහලක් වේ. බලාපොරොත්තු රහිත අවස්ථාවන්හි ඇතිවන හදිසි අනතුරු වැනි අවාසනාවන්ත සිදුවීම් කෙරෙහි බලපාන ග්‍රහ පිහිටීම් පිළිබඳ සොයා බැලීම මෙහි පරමාර්ථය වේ.

ජන්ම පත්‍රයක 6 සහ 8 වැනි භාවයන් ප්‍රධාන වශයෙන් හදිසි අනතුරු හා බැඳී පවතී. ලග්නයෙන් 8 වැන්නට රවි, කුජ, ශනි හෝ රාහු යන ග්‍රහයන් අතුරෙන් එක් ග්‍රහයෙකු හෝ වැඩි ගණනක් පතිත වීම හෝ දෘෂ්ටියට හසුවීම ජන්මියාගේ මරණය ගෙනදීමට සමත් පිහිටීමකි. යුරේනස් ග්‍රහයා අටවැන්නේ තැන්පත් වී සිටින විට කුජ ගේ දෘෂ්ටියට හසුවුවහොත් හදිසියේ සිදුවන අනපේක්ෂිත මරණයක් ගෙන දෙන බවත් එම මරණය බෝම්බ පිපිරීමකින් හෝ වෙඩි තැබීමකින් සිදුවන බව පෙන්වා දිය යුතුව ඇත.

යුරේනස් 8 වැන්නේ පිහිටි මියගිය ජන්මීන්ගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමේ දී විදුලි සැර වැදීමෙන් හා ජලයේ ගිලීමෙන් මරණය සිදු වී ඇති බව දක්නට ලැබේ. කුජ හා යුරේනස් ත්‍රිකෝණ ගතව හෝ සංයෝග වී සිටීමෙන් මෙවන් අනතුරු සහිත මරණවලට ගොදුරුවන බව පෙන්නුම් කරයි. අමෙරිකානු ජාතික හියු ගින්ස්ගේ පර්යේෂණයේදී පෙනී ගොස් ඇත්තේ මරණය සිදුවන මොහොතේ ගෝචර වශයෙන් රාහු, කේතු 1 - 7 හෝ 7 - 1, 4 -10 හෝ 10 - 4, 12 - 6 හෝ 6 - 12 යෙදී ඇති බවයි.

හදිසි අනතුරකින් සිදුවන මාරක විපත් සම්බන්ධයෙන් ක්‍රිෂ්ණමුර්ති සිද්ධාන්ත කේන්ද්‍ර සටහන් අංක 01

1. ලග්න ස්ඵුට උප අධිපති මාරක සහ බාධක ස්ථාන නිවේදකයකුගේ නැකතක තැන්පත් වී සිටීම අල්පායුෂ හිමිවන බවය. වයස (0 සිට අවුරුදු 33 දක්වා)

2. එම ලග්න ස්ඵුට උප අධිපති අටවැනි භාවයට සම්බන්ධ නම් ජන්මියා හදිසි අනතුරකින් මරණයට පත්වේ.

3. එම ලග්න ස්ඵුට උප අධිපති සතරවැනි භාවයට හෝ සිකුරුට සම්බන්ධ වුවහොත් අනිවාර්යයෙන්ම එය වාහනයකට සම්බන්ධ වන අතර ජන්මියා වාහන අනතතුරකින් මරණයට පත්වේ.

4. ඉහත සඳහන් පරිදි මාරක හා බාධක ස්ථාන නිවේදකත්වය ලබන ග්‍රහයන්ගේ ඒකාබද්ධ වින්ශෝත්තරී දසා භුක්ති අන්තර කාලය ජන්මියාට මරණය ගෙනදෙන වකවානුවක් වශයෙන් නිගමනය කළ යුතු වේ.

විග්‍රහය (අ) ලග්න ස්ඵුට උප අධිපති බුධ මාරක ස්ථානයක් වන 7 වැනි භාවයේ නැකත් අධිපති සහ බාධක ස්ථානය වන 9 වැනි භාවයේ රාශ්‍යාධිපති සිකුරුගේ නැකතක තැන්පත්වීම ඉහත සඳහන් කිෂ්ණමුර්ති සිද්ධාන්ත යටතේ (1) මන්දායුෂ ගෙන දෙන පිහිටීමකි.

(ආ) එම ලග්න ස්ඵුට උප අධිපති බුධ 8 වැනි භාවයේ රාශ්‍යාධිපතිධුරය ලබා 8 වැනි භාවයට නිවේදකත්වයක් ලබා සිටියි. කිෂ්ණමුර්ති සිද්ධාන්ත අංක (2) යටතේ ජන්මියා හදිසි අනතුරකින් මරණයට පත්වේ.

(ඇ) ලග්න ස්ඵුට උප අධිපති බුධ 4 වැනි භාවයේ රාශ්‍යාධිපති සිකුරුගේ නැකතක පිහිටා 4වැනි භාවයට නිවේදකත්වයක් ලබා තිබීම හදිසි අනතුරු වාහනයකට සම්බන්ධ එකක් වන අතර ජන්මියා වාහන අනතුරකින් මරණයට පත්වේ. ක්‍රි. මූර්ති සිද්ධාන්ත අංක (2)

(ඈ) මෙම ජන්මියා 1987 ජුලි මස 16 වැනි දින රිය අනතුරකිනන් මරණයට පත්වන අවස්ථාවේදී ඔහු රාහු මහ දශාවේ සිකුරු භුක්තියේ ගුරු අන්තරයේ ගුරු ශුක්ෂමය ගතකරමින් සිටි හෙයින් මරණය ගෙනදීමට රාහු සෙනසුරු ලබා ඇති සුදුසුකම් විමසා බලමු.

රාහු මාරක ස්ථානයේ තැන්පත් වීමෙන්ද, සිකුරු මාරක හා බාධා ස්ථානයන්හි නිවේදකයන් වීමෙන් හා ගුරු බාධක ස්ථානයන්හි නිවේදකත්වය ලබා සිටි බැවින් ක්‍රිෂ්ණමුර්ති සිද්ධාන්ත අංක 4 යටතේ රාහු මහ දශාවේ, සිකුරු භුක්තියේ ගුරු අන්තරයේ ගුරු ශුක්ෂමයේ දි හදිසි අනතුරකින් මරණයට පත්වන අන්දමේ ඉරණමක් අතැතිව එම ජන්මියාගේ උපත සිදුවී ඇති බැව් ඉහත සඳහන් ක්‍රිෂ්ණමුර්ති සිද්ධාන්තවල ඇති නිවැරදිතාවයට සත්‍ය සිදුවීමක් වූ මෙය නිදසුනකි.

ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ජන්ම පත් සලකා බලමු.

කුජ, ශනි, යුරේනස් හදිසි අනතුරු සහ මාරක විපත් හා සම්බන්ධ ග්‍රහයෝ වෙති. මෙහිදී වෙසෙසින්ම සඳහන් කළ යුතු කරුණක් නම් කුජගේ පිහිටීම අනුව ගින්නෙන් පිළිස්සීම, පිහි, කඩු වැනි ආයුධවලින් කැපීම, වෙඩි වැදීම් ගෙනදීමේ ප්‍රවණතාවත් පවතියි. යුරේනස් ග්‍රහයා ජන්ම පත්‍රයේ මොනයම් හෝ රාශියක තැන්පත් වීමෙන් අසමාන තත්ත්වයක් ගෙන දෙන අතර යුරේනස් ග්‍රහයා 8 වැන්නේ පිහිටි ජන්මියාගේ මරණය අනපේක්ෂිත හදිසි අනතුරකින්, වෙඩි තැබීමකින් හෝ බෝම්බ පිපිරීමකින් මරණය ගෙන දෙන්නේ ය.

කේන්ද්‍ර අංක 02 ග්‍රහ සටහනට අදාළව ක්‍රිෂ්ණ මුර්ති පද්ධතියට අනුව මේ සාහසික මරණය ගෙනදීමට ලග්න ස්ඵුට උප අධිපති බුධ, බාධක ස්ථානාධිපති කුජ, ගුරු සහ කේතු යන ග්‍රහයන්ට සම්බන්ධ වී ඇත. ඒ අනුව, රන්ජන් විජේරත්න මහතාගේ යුරේනස් ග්‍රහයා තුන්වැන්නේ තැන්පත් වී ඇති අතර, කුජ ග්‍රහයා යුරේනස් ග්‍රහයාට ත්‍රිකෝණගතව 7 වැනි භාවයේ තැන්පත් වීම සාහසික බෝම්බ පිපිරීමකින් මරණය ගෙනදීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

කේන්ද්‍ර අංක 03 ග්‍රහ සටහනට අනුව ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ යුරේනස් ග්‍රහයා අට වැන්නේ තැන්පත්ය. මරණය සිදු වූ දින එනම් 1992.08.08 පස්වරු 2.27ට කුජ 8 වැන්නට පැමිණ අතර ශනිගේ දාෂ්ටිය ලග්නභාවයට පතිත වී තිබේ. මරණය ගෙනදීම සඳහා රවි, යුරේනස්, කුජ සම්බන්ධ වී ඇත. මරණය සිදු වූ දින 1992.07.08 පස්වරු 02.27 කුජ ලග්නයෙන් 8 වැන්නට පැමිණ ඇත.

(මේ ලිපිය සැකසීමේ දී ඡ්‍යොතිෂවේදී අතුල මංචනායක මහතාගේ ඡ්‍යොතිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත ග්‍රන්ථය උපකාර විය.)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.