ඔබේ ලග්නයට හිමි ඉෂ්ට දෙවියා කවරෙක්ද?

ජනවාරි 7, 2022

ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ සිටින බැතිමතුන් තෙරුවන් සරණ යෑමත් දේව වන්දනාවත් එකට ගොනුකර තිබෙන බැව් පෙනේ. සමහර විට බුදුන්වහන්සේට වැඳීමටත් වඩා දේව වන්දනාවට මුල් තැනක් දී ඇත්ද යන්න සමහර විට පෙනෙන කරුණකි. කායික මානසික පීඩාවක් ඇති වූ විට දෙවියන් සිහිවේ. එවිට පහනක් දල්වා සුවඳ දුම්දී නිල්පාට, රතුපාට හෝ කහපාට රෙදි කෑල්ලක පඬුරක් ගැට ගසන බව ඇත්තකි. 

 

සමහර විට විෂ්ණු, කතරගම පත්තිනි හෝ ගණදෙවියන්ට විය හැකි ය. කාලි දෙවඟනටත් ගම්භාර හූනියන් දෙවියන්ටත් ද පුද පූජා පවත්වන බැව් පැහැදිලිය. දේවපුරාණයේ සඳහන් අයුරින් ඒ ඒ පළාත් බඳ දෙවිවරුන් 221 පමණ සිටින බැව් පෙනේ. නුවර කලාවිය අනුරාධපුරය, පොළොන්නරුව සහ මහ වන්නිය මෙයට පාදක වේ. මෙලොව ජනිත වන අයකුට කිසියම් ලග්නයක් අයත් වේ. එය ලග්න 12න් එකකි. එකී ලග්න අනුව තමාගේ ලග්නයට අයත් ඉටුදෙවියන් හෙවත් ඉෂ්ඨ දේවතාවන් කවරේද යන්න බොහෝ විට අසන ප්‍රශ්නයකි. අද අපි එකී ලග්න හිමියන්ට බලපාන ඉෂ්ට දේවතාවුන් වහන්සේ කවරෙක්ද යන්න මේ ලිපියෙන් පැහැදිලි කර සිටිමු.

ඡ්‍යොතිෂයේ දැක්වෙන පරිදි නවග්‍රහයින් අතරින් එක් එක් පුද්ගලයාගේ ලග්නාධිපති ග්‍රහයාට අයත් වන දෙවිවරු සිටිති. එකී දෙවියන් අතරින් ප්‍රකටම දෙවියන් ලෙස ජනයා වැඩි බුහුමන් දක්වන්නේ කතරගම විෂ්ණු හා ගණදෙවියන්ටය. ශනි රාහු බුධ යන ග්‍රහයින් තිදෙනාගෙන් එක් ග්‍රහයකු ලග්නාධිපති ලෙස දැක්වෙන කේන්ද්‍ර හිමියන්ගේ ඉෂ්ට දේවතාවා ලෙස සලකන්නේ විෂ්ණු දෙවියන්ය. ගුරු ලග්නාධිපති ලෙස දැක්වෙන්නේ කතරගම දෙවියන්ය. රවි ලග්නාධිපති නම් ශිව දෙවියන් ය. ශුක්‍ර සිකුරු ලග්නාධිපති ලෙස නම් පත්තිනි දේවිය ද සඳු ලග්නාධිපතියා නම් සමන් දෙවියන් ලෙස ද නම් කොට තිබේ. මේෂ ලග්නයට කතරගම දෙවියන් ද වෘෂභ පත්තිනි මෑණියන් ද මිථුන, විෂ්ණු දෙවියන් ද කටක පත්තිනි මෑණියන් ද සිංහ ඊශ්වර (ශිව) දෙවියන් ද කන්‍යා ගණදෙවියන්ද තුලා ලක්ෂ්මී දෙවඟනද වෘශ්චික – ධනු කතරගම දෙවියන්ද මකර, කුම්භ , විෂ්ණු දෙවියන් ද මීන කතරගම දෙවියන් ද නම් කර ඇත්තේය.

ඔබට යම් යම් අවස්ථාවලදී පිහිට පැතීමේ සඳහා එකී දේවතාවුන් වහන්සේලාට පුද පූජා තැබීම පඬුරු ගැට ගැසීම ඉතාම සුබ දායක බැව් මෙහිලා සනිටුහන් කර සිටිමු. දේව සංකල්පය පිළිබඳව කරුණු ගැන සලකා බැලීමේදී අනුරාධ ඇමැති අනුර නැකැතින් අනුරාධපුරය ගොඩ නැඟුවේය.

මෙකී අනුරාධපුරයේ ස්ථූපයක් ගොඩනැඟීමට ස්ථානයක් සෙවීමේදී මහා වාස්තු විද්‍යාවට අනුකූලව තැනක් වාස්තු විද්‍යාඥයින් සොයා ගෙන තිබේ. ගැටලුවකට ඇත්තේ එතැන මහා තෙළඹු ගසක් තිබීමය. මේ වෘක්ෂය කැපීමට පෙර සාම්ප්‍රදායිකව එන සිරිතක් වූ වෘක්ෂ වන්දනාව කරන විට දී තෙළඹු ගස කැපීම වහා නවත්වනු යැයි දිව්‍යමය කට හඬක දෝංකාරයක් නැඟිණ. එතැනට වහා පැමිණි දුටුගැමුණු රජතුමා තෙළඹු ගසට අදිගෘහිතවූ ස්වර්ණමාලි දෙව්දුවට තෙළඹු ගස කැපීම සඳහා ආරාධනා කළේය. ඊට එකඟ නොවූ දෙව්දුව අවසන් වරට පැවැසුවේ ඉදිකරන මහා සෑයට මගේ නම යොදන ලෙසයි. එයට වහා එකඟ වූ දුටුගැමුණු රජ මේ මහා සෑයට ස්වර්ණමාලී දෙවඟනගේ නම යොදන ලදී. මෙය ථූපවංශයේ සඳහන් වී ඇත. සෑය ඇතුළු මුළු අනුරපුර පූජා භූමියම ස්වර්ණමාලී දෙවඟනගේ නමට තුන්කල්හිම කැපවී තිබේ.

මහා හාස්කම් ඇති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු මුළු පූජා නගරයේම පිහිටා ඇති වන්දනීය ස්ථූප මුළුමනින්ම ආරක්ෂා කරන්නේ ද විෂ්ණු දෙවියන්ය. මුළු ශාසනයම භාර විෂ්ණු දෙවිදුන් හටය. මේ අනුව විමසා බලන විටද ඒ ඒ ලග්න හිමියන්ට තම තමන්ගේ ඕනෑකම්වලට තමන්ගේ ඉටුදෙවියන්හට පුද පූජා තබා පඬුරු ගැට ගැසීමේ අපේක්ෂා ඉටුකර ගැනීමට හැකිවේ. අපේ සහෘදයින්ට ඉතාම ප්‍රබල කෙම්බාරයක් වන අන්දම පහතින් පළකර සිටිමු.

සෙනසුරාදා දිනක රාත්‍රී 10.57 ට විෂ්ණු දේව රූපයක් ඉදිරියේ නිල්මල් තබා ගිතෙල් පහනක් දල්වා පැරණි තඹ කාසියක් කහදියරින් පිරිසුදු කර ඉහත සඳහන් වේලාවට මෙම මන්ත්‍රය 9 වාරයක් කියා පඬුර ගැට ගසන්න.

ඕම් ශ්‍රී මහා විෂ්ණු දේවනමෝ නාරායන නමඞ

ගැට ගැසූ පඬුර පවිත්‍ර තැනක තබන්න. ඔබේ අදහස ඉෂ්ට වූවාට පසු පිත්තල කුඩා පහනක් විෂ්ණු දේවාලයකට ඔප්පු කරන්න.

මෙය ඉතාම ප්‍රබල කෙම් බාරයකි. ඔබත් මෙයින් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න.

 

ඡ්‍යොතිෂ සහ වාස්තු

විද්‍යාවේදී

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.