පාට පිරුණු ලෝකයේ ඔබට හිමි සුබ වර්ණය ජ්‍යෝතිෂයෙන් දැනගනිමු

ඔක්තෝබර් 14, 2022

ඈත අතීතයේ පටන් වර්ණවලට, පාටවලට විශේෂ තැනක් හිමි විය. ජ්‍යෝතිෂයේ විශේෂයෙන් දවස්වලට සුබ වර්ණ යොදා ගැනීමට ද පුරාණයේ සිටි ඍෂිවරුන් දේශනා කර ග්‍රන්ථාරූඪ කර ඇත. අපි ජ්‍යෝතිෂයේ එක් එක් දිනයේ නැකැත් ගන්නා විට ඒ ඒ දිනට අවශ්‍ය පාට වර්ණ භාවිතා කෙරේ. ඉරිදා දිනට රන්වන් පාට ද සඳුදා දිනට සුදු පාට ද අඟහරුවාදා දිනට රතු පාට ද බදාදා දිනට කොළ පාට ද බ්‍රහස්පතින්දා දිනට කහ පාට ද සිකුරාදා දිනට විවිධ වර්ණ ද (වෛවර්ණ), සෙනසුරාදා දිනට නිල් පැහැය ද භාවිතා කෙරේ. එම දිනට අධිපති ග්‍රහයාගේ වර්ණය පාවිච්චි කිරීමෙන් සුබ ඵල ඇති කෙරේ.

ඒ වගේම ඔබ නිතර පාවිච්චි කරන මෝටර් රථයට ද ඔබගේ කාමරයේ ගල්වා ඇති වර්ණ තුළින් ද ඔබගේ උනන්දුව උත්සාහය වැඩි කරන අතරම කරන්නා වූ වැඩ පහසුවෙන් කරගෙන යෑමට ඉඩ සැලසේ. ඔබගේ ලග්නයට අනුව පාට වර්ණ තෝරා ගැනීමෙන් ඔබගේ අරමුණ ඉලක්කය කරා යෑමට පහසුවක් වනු නොඅනුමානය.

 

මේෂ ලග්නය

රතු පාට, රෝස පාට, සුදු පාට සුදුසු වේ. ඒ වගේම ඔබට සුබ දවස් වන්නේ අඟහරුවාදා, සෙනසුරාදා හා සිකුරාදාය. සඳුදා හා සිකුරාදා තරමක් සුබ වේ. අනෙක් දවස් ශුභ නොවේ. වියදම වැඩි වේ.

 

වෘෂභ ලග්නය

රෝස පාට හා සුදු පාට සුබ වර්ණ වන අතර, සාමාන්‍යයෙන් සුබ දවස සිකුරාදාය. ජයග්‍රාහී දිනය බදාදාය. සෙනසුරාදා ප්‍රතිඵල පමා කෙරේ. නමුත් කෙසේ හෝ සෙනසුරාදා දිනය ජයග්‍රහණය ගෙනෙනු ලබයි. අඟහරුවාදා අනවශ්‍ය වියදම් පෙන්නුම් කරයි. බ්‍රහස්පතින්දා හවුල් කරුවන්ගෙන් ලාභ ලබා දෙයි. සඳුදා දිනවල කෙටි ගමන්, පී‍්‍රතිමත් ලිපි ගනුදෙනු හා ඉරිදා නිවසේ විවේකය ගත කිරීමට යොදාගැනීම සුබයි.

 

මිථුන ලග්නය

සුබ වර්ණය වනුයේ කොළ හා කහ පාට වේ. රතු වර්ණවලින් වළකින තරමට සුබ වේ. සඳුදා ආදායම වැඩ වන අතර, අඟහරුවාදා අසුබ වේ. බදාදා සුබ වන අතර, බ්‍රහස්පතින්දා දින ජයග්‍රාහී දිනය වශයෙන් සලකන්න. සිකුරාදා දිනය පී‍්‍රතිමත් දිනයක් වුවත් ඔබගේ මුදල් වැය වේ. සෙනසුරාදා දින කරදර ඇති වේ.

 

කටක ලග්නය

ඔබේ සුබ වර්ණය වනුයේ සුදු හා කහ වේ. කොළ වර්ණය සුබ වන අතර, අඟහරුවාදා හා සිකුරාදා සුබ දින වෙයි. අප්‍රේල් හා මැයි ජය මාස වේ. රැකී රක්ෂා හා අධ්‍යාපනය සඳහා සඳුදා දින ඉතා සුබ වෙයි.

 

සිංහ ලග්නය

රතු කොළ මිශ්‍ර කහ වර්ණය සුබ වේ. නිල් හා සුදු වර්ණ සුබ වේ. ඉරිදා ඕනෑම වැඩකට, උසස් නිලධාරීන් හමුවීමට, විදුලි උපකරණ මිලදී ගැනීමට සුබ වේ. සඳුදා සුබ නොවේ. අඟහරුවාදා ඉතාම සුබ දිනයකි. දීර්ඝ ගමනක් යාමට හා තරග විභාගවලින් ජය ගැනීමට හැකිවනු ඇත. ඔබ දුර්වල අයෙක් වුවත් අඟහරුවාදා දින ජය ගැනීමට හැකියාව යෙදේ. බදාදා වාසනාව උරගා බැලීමට සුදුසුය. සිකුරාදා කෙටි ගමන් යෙදේ. උසස් වීම්වලට සුබ වේ. රැවටිලිවලට වංචාවලට හසුවන්නේ සෙනසුරාදාය.

 

කන්‍යා ලග්නය

කොළ හා කහ වර්ණ සුබ වේ. රතු සහ නිල් අත්හරින්න. ලෙඩ රෝගවලට හා හදිසි අනතුරුවලට මඟ පාදයි. බදාදා වාසනාවන්ත දිනයකි. සිකුරාදා ධනය ලැබේ. අඟහරුවාදා / සෙනසුරාදා හා ඉරිදා සුබ වෙයි. සඳුදා මිතුරන් හමුවීම හා මිතුරන් හා ගනුදෙනුවලට සුබ වෙයි. මෝටර් රථ මිලදී ගැනීමට හා ව්‍යාපාරවලට මුදල් යෙදවීමට හා පේ‍්‍රම සම්බන්ධතාවලට ඉතා සුබ වේ.

 

තුලා ලග්නය

තැඹිලි පාට ඉතා සුබ වෙයි. සුදු හා රතු සුබ වන අතර, විවාහයට තරගවලට රතු පැහැය සුබ වෙයි. ඉරිදා හා සඳුදා දිනය වාසනාවන්ත වන අතර, සෙනසුරාදා දින විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙයි. අඟහරුවාදා තරගවලට හා නඩුවලට මෙන්ම ඡන්ද විමසීම්වලට සුබ වෙයි. බලාපොරොත්තු නොවූ ලාභ ලැබෙයි. සිකුරාදා මිශ්‍ර ඵල ඇති කරන අතර, බ්‍රහස්පතින්දා සුබ වේ.

 

වෘශ්චික ලග්නය

කහ හා රතු පරිහරණයට ගන්න. ඉරිදා දින උසස් අය හමුවීමට හා රැකීරක්ෂා සඳහා පිටවීමට සුබ වෙයි. බැංකු ගිණුමක් ඇරැඹීමට හා විවාහයට බ්‍රහස්පතින්දා සුබ වෙයි. සෙනසුරාදා ණය ගෙවීමට සුබ වන අතර, බදාදා වැදගත් ලේඛනවලට අත්සන් නොකරන්න. සිකුරාදා දින මුදල්, බැඳීම් හා පොරොන්දුවලින් වළකින්න.

 

ධනු ලග්නය

සුබ වර්ණ වනුයේ සුදු, ක්‍රීම්, කොළ, ඔරේන්ජ් හා නිල් පාට වේ. රතු හා මුතු වර්ණ සුබ වේ. සුදු මිශ්‍ර කහ වර්ණය ආණ්ඩුවෙන් ආධාර ලබා ගැනීමට සුදුසු වේ. බදාදා හා සිකුරාදා ඉතාමත් වාසනාවන්ත වෙයි. බ්‍රහස්පතින්දා ජයග්‍රහණ ලබන අතර, සඳුදා කරදර සිත්තැවුල් ඇති වෙයි. බදාදා ප්‍රසන්න භාවය හා සමෘද්ධිය ලැබෙන අතර, සෙනසුරාදා අන් අයගෙන් උදව් ලැබේ. සිකුරාදා දින අධික ලාභ ලැබීමට මුදල් යෙදීමට සුබ වෙයි.

 

මකර ලග්නය

සුදු, රතු හා නිල් වාසනාවන්ත වර්ණ වන අතර, කහ හා ක්‍රීම් වර්ණවලින් වළකින්න. සුදු වාසනාවන්ත දරුවන් ලැබෙන අතර, මුදල් ලාභ සහිත වේ. ව්‍යාපාරවලින් නොසිතූ ලාභ ලැබෙන අතර, සිකුරාදා, අඟහරුවාදා හා සෙනසුරාදා සුබ දවස් වේ. බදාදා ජයගන්නා දිනයකි. බ්‍රහස්පතින්දා හා ඉරිදා වියදම් අධික වේ.

 

කුම්භ ලග්නය

කහ, රතු, සුදු හා ක්‍රීම් පාට වාසනාවන්ත වේ. කහ පාට ආදායම වැඩි වීමට හා පී‍්‍රතිමත් පවුල් ජීවිතයකට සුබ වේ. රතු පාට සතුරන්ගෙන් ජය ගැනීමට හා කීර්තියට සුබ වෙයි. බ්‍රහස්පතින්දා, සිකුරාදා, අඟහරුවාදා යන දින කුම්භ ලග්නයට ඉතාමත් සුබ වේ. බදාදා හා ඉරිදා එතරම් සුබ නොවන අතර, මුදල් යෙදවීම් අසුබ වෙයි.

 

මීන ලග්නය

රෝස, රතු හා ඔරේන්ජ් වර්ණවලින් වළකින්න. සුදු, කොළ හා ක්‍රීම් වර්ණයන් සහකරුවාට සුබ වන අතර, මීන ලග්නයේ අයට මෙම වර්ණයන් සුබ නොවේ. බ්‍රහස්පතින්දා රක්ෂාවට හා කීර්තියට සුබ වන අතර, අඟහරුවාදා දීර්ඝ ගමන් හා මිල මුදල් කටයුතු සඳහා සුබ වේ.

 

ජ්‍යෝතිෂවේදී බණ්ඩාරගම

සම්පත් එස් කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.