ආයුර්වේද වෛද්‍ය සායනයක්

පෙබරවාරි 9, 2024

 

සෞඛ්‍ය අමාත්‍යාංශය, බොරැල්ල ජාතික ආයුර්වේද රෝහල සහ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් සංවිධානය කළ ආයුර්වේද වෛද්‍ය සායනය පසුගියදා පැපිලියාන සුනේත්‍රාදේවි රජ මහා විහාරස්ථානයේදී දවස පුරා පැවැත්විණි.

පැපිලියාන සුනේත්‍රාදේවී රජ මහ විහාරයේ පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන මෙය පැවැත්වූ අතර, බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝග සඳහා උපදේශනය සහ ආයුර්වේද ප්‍රතිකාර මෙන්ම සායන සඳහා රෝගීන් යොමුකිරීම මෙහිදී සිදු විය. මේ සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් මෙන්ම දේශීය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රාශියක් සහභාගි විය.

------------------------

ඔසු පැළ දස ලක්ෂයක් සිටුවීමේ ජාතික වැඩසටහනක්

76 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව රට පුරා ඔසු පැළ දස ලක්ෂයක් සිටුවීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පසුගිය 02 වැනිදා ආරම්භ විය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ මෙහෙයවීම මත දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්බද්ධව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ පුරා සතියක් දිවයිනේ සියලු ග්‍රාම නිලධාරි වසම් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරනු ලැබිණි.

දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනය සඳහා වාර්ෂිකව විශාල මුදලක් විදේශයන් වෙත ඇදී යන අතර, එම මුදල දේශීයව ඉතිරි කරලමින් දේශීය ආර්ථිකය සවිමත් කරලීමත් ගුණාත්මක අතින් උසස් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සුලභ කරලීමේ අරමුණින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මූලිකත්වය ගෙන මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබේ.

එහිදී දුර්ලභ මෙන්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ඖෂධීය ගුණයෙන් පිරිපුන් බහුවාර්ෂික ඔසු පැළ රෝපණය කිරීම සිදු කෙරුණු අතර, දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිටින ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරින්ගේ දායකත්වයෙන් ග්‍රාමීය මට්ටමින් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කටයුතු යොදා ඇත.

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.