පෙබරවාරි 01 බුධ මකරයට ලග්න දොළහම රසකාමීත්වයෙන් පිබිදේ

ජනවාරි 26, 2024

 

එළැඹෙන පෙබරවාරි 01 ගුරුදින පස්වරු 02.23ට දැනුමට අධිපති බුධ ග්‍රහයා මකර රාශි ගත වී පෙබරවාරි 20 අලුයම දක්වා පවතී. මේ කාලය තුළ ස්ත්‍රී පුරුෂ දෙපිරිස අතර සබඳතා වැඩි වේගයකින් ඇති වන බව ඡ්‍යොතිෂයේ සඳහන් වෙයි. එසේම හඳුනා නොගත් රෝගාබාධ ව්‍යාප්ත වන කාල පරාසයකි.

උදා රාශියේ ධර්ම (01, 05, 09) මෝක්ෂ (04 - 09-12) කෝණ ආලෝක ග්‍රහයන්ගෙන් ආවරණය වෙයි. බ්‍රහස්පති දීප්ත යෝගබල මෙන්ම අර්ධ කාලසර්පයෝගබල කුජ, ශුක්‍ර රසකාමි යෝගබල රාශි දොළසටම බලපානු ඇත. රවි, ප්ලුටෝ ග්‍රහයන් අතරට බුධ ග්‍රහයා පාපකර්තරීබවට පත්ව ඇත.

ස්ත්‍රී, පුරුෂ දෙපිරිස අතර අයථා ඇලීම් ගැලීම්වලට පාත්‍රවීම වර්ධනය වෙයි. එසේම නොහඳුනන රෝගාබාධ සහ සොර සතුරු බලවේග පෙබරවාරි 01 - 20 අතර බහුලවෙයි. 01 - 07 අධිපති කුජ ශුක්‍ර රසලෝලි රසකාමි අයුරින් ක්‍රියාත්මක වෙයි. 04 - 09 අධිපති රවි හිමි සිංහ රාශිගත 05 වැන්නෙහි කුජ ශුක්‍ර සංයෝගයද රවි ප්ලුටෝ සතුරුව බුධ සමව සොර සතුරු ස්ථානය වූ 06 වැන්නේ ය. එසේම රාහු නැප්චූන් 08 වැන්නෙහි තැන්පත්වීම නිසා ජන ජීවිතය දැඩි පෙරළිකාර, විෂමාචාර බවක් පෙන්වයි.

රාජ්‍ය සුබ සාධන ක්ෂේත්‍රයට ප්‍රබල පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ උණුසුම් අනුග්‍රහයනටද තුඩුදෙනු ඇත. මෙය වසංගත දුර්භික්ෂ වැඩිවන කාල පරාසයකි. වාහන අනතුරු, දූෂණ, අපචාර මෙන්ම සුරා සූදුව මැඬලීමට කටයුතු යෙදිය යුතු සමයකි.

මේෂ ලග්නය

බුධ 10 වැන්න වූ කර්මස්ථානගත වීමෙන් තම දැන උගත්කම් දියුණුවෙයි. පෙර පින් මතුවන කාලයකි. සහජ කුසලතා නිපුණතා දියුණු වෙයි. සිතෙහි සැනසුම සතුට ගෙනදෙයි. ලැබීම් මාර්ග සතුටුදායකයි.

වෘෂභ ලග්නය

උදරය, කොන්ද, තුනටිය පාද ආශි‍්‍රත රෝග බලපෑ හැකිය. බුධ 09 වැන්න වූ පුණ්‍ය ස්ථානගත වීම සිතෙහි අහිංසා ධර්මතාවය තීව්‍ර කෙරෙනු ඇත. දූ දරුවන් විනීත වෙයි. පවුල් ජීවිතයෙහි සුහදශීලී සාමූහික බව වැඩිදියුණුවට කරුණු යෙදෙනු ඇත.

මිථුන ලග්නය

පපුව, කොන්ද තුනටිය, දණහිස් ආශි‍්‍රත රෝගාබාධ ඇතිවිය හැකිය. පවුල් ජීවිතය මෙන්ම පදිංචියෙහි ද රැකියා ආදායම් මාර්ගයන්හිද අසතුටුදායක බවක් උදාවිය හැකිය. ඥාති වර්ගයා අතර ගැටුම්කාරී බවකට හේතු සාධක මතුවිය හැකි අතර දැන උගත්කම අනුව රැකියා ආදායම් මාර්ග දියුණුවනු ඇත.

කටක ලග්නය

උරහිස, යටිබඩ, කොන්ද, තුනටිය ආශි‍්‍රතව රෝගාබාධ උත්සන්න විය හැකිය. උත්සාහය උනන්දුව ඇති කරන කාලයකි. රැකියා ආදායම් මාර්ග සාර්ථක කෙරෙනු ඇත. කල්පනා ශක්තිය වැඩි දියුණු වෙයි. ගමන් බිමන්, ලියුම් කටයුතු මඟින් සතුටුදායක බවක් මතු කරයි. අවහිර බාධක මැඬ ජය ගනියි.

සිංහ ලග්නය

පවුල් ජීවිතය, සබඳතා විවාහ මංගල කටයුතු සතුටුදායක වෙයි. සේවක සේවිකා පිරිස් පිටුපානු ඇත. ආදායම් මාර්ග ඇන හිටී. සමඟි සමාදානය කෙරෙහි දුෂ්ට බලවේග මතු කෙරෙයි. ආරම්භ කරන ලද කටයුතුවලට බාධා මතුවිය හැකිය.

කන්‍යා ලග්නය

උදරය, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය ආශි‍්‍රත ආබාධ මතු කෙරෙයි. පෞරුෂය වර්ධනය කෙරෙනු ඇත. පදිංචි ස්ථානය ආශි‍්‍රත උසස් දියුණුවක් උදා කෙරෙන කාලයකි. බාලයන් නොමඟ යන සුළුවෙයි. දැන උගත්කම් ඉස්මතුවෙයි.

තුලා ලග්නය

පපුව, යටිබඩ, පාද ආශි‍්‍රතව රෝග උත්සන්න විය හැකිය. ආගම ධර්මය කෙරෙහි මෙන්ම අධ්‍යාපනය කෙරෙහි ළැඳියාවේ දුර්වලතා මතුවෙයි. රැකියා ආදායම් මාර්ග මෙන්ම තනතුරු නම්බුනාම හිමි කෙරෙනු ඇත. චර්යා ධර්මයන් ආශි‍්‍රත ගැටලු සහගත බවක් මතුවිය හැකිය. දෙස් විදෙස් සංචාරක ගමන් යෙදෙනු ඇත.

වෘශ්චික ලග්නය

තැන්පත් දේපළ වස්තුව, ආදායම් මාර්ග, උත්සාහය උනන්දුව වර්ධනය වෙයි. උරහිස්, උදරය, යටිබඩ පාද ආශි‍්‍රත රෝග මතුවිය හැකිය. පදිංචි ස්ථානය ආශි‍්‍රත නවීකරණයන් සිදුවෙනු ඇත.

ධනු ලග්නය

රසකාමී හැඟීම් මතු කෙරෙනු ඇත. උත්සාහය උනන්දුව නිර්මාණ ශක්තිය වර්ධනය කෙරේ. පදිංචිය සහ රැකියා ආදායම් මාර්ගයන්හි ආකූල ව්‍යාකූල බවක් මතු විය හැකිය. සිතෙහි සතුට මෙන්ම නිර්මාණශීලීමය ක්‍රියාකාරකම්හි නිරතවීමට හැකි වීම බොහෝ දුරට සැනසුම සතුට ගෙන දෙනු ඇත.

මකර ලග්නය

රසකාමී හැඟීම් අනුව කරන ක්‍රියාකාරකම් නිසා මානසික ව්‍යාකූලතා මතු කෙරෙනු ඇත. ප්‍රභූ ජනයා ඇසුරට ළඟාවෙයි. සෙම් කෝප, කොන්ද, තුනටිය, උරහිස් ආශි‍්‍රත රෝගාබාධ මතුවිය හැකිය. ඇවිදිලි සහගතයි. ලැබීම් අතින් ශුභයි.

කුම්භ ලග්නය

ආදායම් මාර්ග සතුටුදායකයි. තැන්පත් ධනය, දේපළ වස්තු ආශි‍්‍රතව ඇති බලාපොරොත්තු බොහෝ දුරට සඵල වෙයි. කොන්ද, තුනටිය, මුහුණ, පාද ආශි‍්‍රතව රෝගාබාධ මතුවිය හැකිය. අමතකවීම් බහුල විය හැකිය.

මීන ලග්නය

පෙර පින් පලදෙන කාලයකි. ආදායම් මාර්ග සරුවන බවක් පෙන්නුම් කරයි. තැන්පත් දේපළ වස්තු ප්‍රවර්ධනය වෙයි. දිගුකාලීනව පැවැති සැලසුම් සාර්ථක වනු ඇත. සාමාන්‍ය රෝගාබාධ මතුවිය හැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.