මාරක දුරලන්න හරියට නම තියන්න

මැයි 10, 2024

 

මේ දිනවල සමාජයේ අනතුරු විපත් බහුලව සිදුවන බව පෙනෙන්නට තිබේ. වර්තමානයේ මෙලෙස සිදුවන අතුරු අන්තරා මාරක විපත් ගැන විමසා බැලීමේදී එම අනතුරු විපත්වලට ලක්වන්නන්ගේ නාමයන්ගේ අනිෂ්ට විපාක ද එම අනතුරු මාරක තීව්‍ර කිරීමට බලපා ඇති අන්දම පෙනී යන කරුණක් වී තිබෙයි.

ඡ්‍යොතිෂානුකූලව විග්‍රහ කර බැලීමේ දී තබන ලද නාමය නිසා ජන්මියාට මාරක ගෙන දෙන අවස්ථා බහුල ලෙස හඳුනා ගත හැකිය. එලෙස මාරක විපත් ගෙන දීමට ඔවුන්ගේ නම බලපෑ ආකාරයත් එලෙසම තවත් ජන්මීන්ට තම නමම දීර්ඝායු ලබා දී සමාජයේ ජනප්‍රියත්වයටපත් වීමටත් හේතු වූ කරුණු කාරණා කේන්දර අධ්‍යයනයේ දී පැහැදිළි වෙයි.

 

නැකත හා ග්‍රහබලය

උපතේ දී ජන්මියාගේ උපන් නැකතට සීහෙන සේම ජන්මියාගේ ග්‍රහ බලය ද මනාව විමසා බලා ගැළපෙන අකුරක් ගෙන එයට සුබපලදායී ගණයක් යොදා නම් තැබීමෙන් එකී ජන්මියාට එය අභිවෘද්ධිදායක වනවා සේම දීර්ඝායුෂ ද හිමි කර දෙනු ඇති බව ඡ්‍යොතිෂ මතයයි. ඒ අනුව ඉතිහාසයේ ද රජ පරම්පරාවල නම් තැබීමේ දී උපතේ දී ජන්මියාගේ උපන් නැකතට සීහෙන සේම ජන්මියාගේ ග්‍රහ බලය ද මනාව විමසා බලා ගැළපෙන අකුරක් ගෙන එයට සුබපලදායී ගණයක් යොදා නම් තැබීම සිදු විය. එවිට එකී ජන්මියාට එය මහත් පලදායක වනවා සේම දීර්ඝායුෂ ද හිමි කර දෙනු නොඅනුමානය. අතීතයට ගොස් විමසා බැලීමේ දී ඡ්‍යොතිෂානුකූලව අප පුරාණ රජ පරම්පරාවන් හි රජවරු ඡ්‍යොතිෂ විද්‍යාව අනුව නම් භාවිත කර ඇති බව පෙනී යයි. උදාහරණයක් ලෙස සුද්ධෝදන රජතුමා සිය පුතණුවන්ට නම් තැබීම සඳහා වේදයෙහි පරතෙරට ගිය ඡ්‍යොතිෂ ශාස්ත්‍රය දන්නා බමුණන් ගෙන්වා කුමරාට සුදුසු නමක් යොදන ලෙස ඉල්ලා සිටි බවත් ඒ අනුව බමුණන් කුමරුට සිද්ධාර්ථ යන නම තැබූ බවත් පැරණි අටුවාවන්හි දැක්වේ. එලෙස සුබ නම් යෙදීමෙන් ජන්මියාට සුබ පල ද අසුබ නාමයන් යෙදීමෙන් විපත් ද ඇති වන බව ඡ්‍යොතිෂයට අනුව පැහැදිලි වේ.

මෑත භාගයේ අනතුරු විපත්වලට ලක් වූවන්ගේ මෙන්ම දීර්ඝායු සැප සම්පත් විඳි අයගේ කේන්දර අධ්‍යයනය කිරීමෙන් ඔබට තවත් පැහැදිලිව කරුණූ කාරණා අවබෝධ වනු ඇත. දුටු පමණින් ගණය අසුබ ලෙස පෙනුණ ද ගාමිණීලා, මාලනීලා මෙන්ම සනත් ලාගේ නම් අධ්‍යයනය කිරීමේ දී ඔවුන් ජනප්‍රිය තරු බවට පත් වන්නේ නැකත හා ග්‍රහ බලපෑම සීහුම් වී ඇති නිසා විය හැකිය.රුක්මණී දේවියගේ නම සැලකූ විට ගණය මෙන්ම නැකත, ග්‍රහ බලය සීහුණේ ද යන්න වටහා ගත හැකිය.

මේ බව වඩාත් හොඳින් පැහැදිලි කර ගැනීම සඳහා කාලීන උදාහරණයක් විමසා බලමු. පසුගිය දා හිටපු අමාත්‍යවරයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් අකාලයේ මිය ගියේය. ඔහුට මාරකය ගෙන ඒමට හේතු වූ කේන්දරයේ පිහිටි මාරක ග්‍රහචාරයන් පිළිබඳ පසුගිය සතියේ අපි පැහැදිළි කළෙමු. ඡ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව විග්‍රහ කර බැලීමේ දී ඔහුට උපතේ දී යොදා ඇති පාලිත යන නාමය ද ඔහුට බලපෑ ඔහුගේ මාරකය තීව්‍ර කරන්නට සමත් වී ඇති බව පැහැදිළි වෙයි.

 

නමට අසුබ ග්‍රහබලපෑම

ඒ අනුව තව දුරටත් අධ්‍යයනය කිරීමේ දී ඔහු මිය යාමට එදා තිබුණු ග්‍රහචාරයන් ගේ බලපෑම මෙන්ම එහි දිගුවක් ලෙස ඔහුගේ කේන්ද්‍ර සටහනේ පිහිටි මාරක ග්‍රහයන්ට අනුවම යමින් ඔහුට යොදා ඇති ඔහුගේ නම ද එකී අසුබ බවට ම ගැළපෙන ලෙස යෙදී ඇති නමෙහි ගණය ද බලපා ඇති බව පෙනී යයි. මේ පිළිබඳව තවදුරටත් විමසා බලමු.

පාලිත මහතා ගේ කේන්දරයේ ලග්නය ධනුය. ලග්නාධිපති ලග්නයේම සිටියි. එය සුබ පිහිටීමකි. කේන්දරයේ දෙවැන්නාධිපතියා ද ලග්නයේම සිටියි. දෙවැන්නාධිපති යනු දෙවැනි මාරක ස්ථානාධිපති වෙයි. පාලිත මහතාගේ කේන්දරයට අනුව දෙවැනි මාරක ස්ථානාධිපති වන්නේ සෙනසුරුය. නමක් යොදන විට අදාළ කේන්දරයේ මාරක ග්‍රහයන්ට අයත් අකුරුවලින් නම් යොදනු නොලැබේ. එහෙත් පාලිත යන නම ආරම්භ වන්නේම සෙනසුරුටම හිමි ‘ප’ අක්ෂරය මුල් කරගෙනය. විමර්ශනාත්මක බවින් තොරව සෙනසුරුට අයත් අක්ෂරයකින් නම යොදා ඇති බැවින් කෙසේ හෝ ඒ මහතාගේ කේන්දරයේ තිබූ මාරකය තව දුරටත් තීව්‍ර කරන්නට එය බලපා ඇති බව පැවැසිය හැකිය.

 

නැකතේ බලපෑම

එලෙසම තවදුරටත් විමසා බැලීමේ දී පාලිත මහතා ඉපදී ඇත්තේ පුෂ නැකතිනි. නමක් තබන විට ජන්ම නැකත හෝ එම ජන්ම නැකතට සීහෙන නැකතකින් නමක් යෙදිය යුතුය. ප යන්න අයත් වනුයේ උත්‍රපල් නැකතටය. ප යන්න ඔහු උපන් පුෂ නැකතට ප්‍රත්‍යාරී එනම් සතුරු නැකතක් වේ. ඒ අනුව ප යන්න ප්‍රත්‍යාරි වේ. එබැවින් එකී නැකතට අනුව යෙදී ඇති අක්ෂරය ද ඔහුට සතුරුව ක්‍රියා කරයි. එයද ඔහුගේ මාරකයට හේතු වී ඇති බව පැහැදිළි වෙයි.

ගණයේ බලපෑම

තව දුරටත් විග්‍රහ කළහොත් ඔහුගේ පාලිත යන නාමයේ ගණය ද ඔහුගේ නමට නොගැළපේ. ‘බ‘ගණයෙන් යෙදී ඇති එය ඔහුට පීඩා කාරී වී ඇත. බ ගණය අයත් වන්නේ මුවසිරස නැකතටයි. එය ජන්ම නැකතට අනුව වද නැකතකි. එබැවින් ගණය ද නොගැළපේ. එබැවින් පාලිත යන නාමය උච්චාරණය වන සෑම මෙහොතකම අසුබ ලෙස අසුබ ප්‍රතිපල එක් කිරීමට සමත් වෙයි. එය ජන්මියාට අවැඩක් සිදු කරයි. යම් අකුරක් ජන්මියාගේ නැකතට ගැළපුණත් එම අකුර හිමි ග්‍රහයා කේන්දරයේ අශුභව පිහිටා ඇත්නම් එය ජන්මියාට සුබ නොවේ.

සුබ නමක් යෙදීම

මේ අනුව පෙනී යන්නේ නම පවා මාරක සක්‍රීය වීමට දායක විය හැකි බැවින් ශාස්ත්‍රය දත් ව්‍යක්ත ඡ්‍යොතිෂවේදියකු ලවා සුබ නමක් සකසා ගැනීම හෝ යෝජනා කර ගැනීම ම ජන්මියකුට සෙත් කවියක් බඳු වනු ඇති බවයි. මන්ද ඡ්‍යොතිෂයට අනුව ජන්මියකුට තබන නම නිතර උච්චාරණයවෙයි. එය මන්තරයක් හා සමානව සිදුවේ. මේ මන්ත්‍රය සුබ දායක ලෙස යෙදුණු විට ජන්මියාගේ නම කියවෙනක වාරයක් පාසා ඔහුට හෝ ඇයට සුබ ද අසුබ ලෙස යෙදුණු විට අසුබ පල ද ගෙන දෙන බව පැවැසිය හැකිය.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ජන්මියකුට වාසනාවන්ත නමක් තැබීම සඳහා දරුවාගේ උපන් නැකතට, බලවත් ග්‍රහයාට සීහෙන අකුරු යෙදිය යුතුය. ඒ අනුව ජන්මියාට සුදුසු නමක් සකසා ගත යුතු වේ. එලෙසම ගණ සම්බන්ධව ද අවදානය යොමු කළ යුතුය. ඒ අනුව, සුවණ නැකත හිමි භූමි ගණය ජය සහිතයි. දෙට නැකත හිමි දේව ගණය තේජස සහිතයි.

මුවසිරස නැකත හිමි චන්ද්‍ර ගණය සෙත් වෙයි. සියාවස නැකත හිමි ජල ගණය ආයු වඩයි. පුනාවස නැකත හිමි සූර්ය ගණය ලෙඩ කරයි. කැති නැකත හිමි අග්නි ගණය විනාශය වෙයි. සා නැකත හිමි වායු ගණය මරණය ගෙනදෙයි. බෙරණ නැකත හිමි ආකාශ ගණය ධනහානි කරයි. උපන් රාශිවලට අනුව වෘෂභ මිථුන භූමි ගණයටද තුලා ධනු කුම්භ වායු ගණයටද මේෂ සිංහ කන්‍යා චන්ද්‍ර ගණයටද මකර මීන ආකාශ ගණයටද වෘශ්චික සූර්ය ගණයටද කටක ජල ගණයටද අයත් වේ.

මාත්‍රා තුනක් එක් ගණයකි. භූමි ජල දේව චන්ද්‍ර සුබ ගණ වශයෙන් සැලකේ. සෙසු ගණ හතර අසුබ ගණ ලෙස සැලකේ. අලුත උපන් ජන්මියකුට නම් තැබීමේදී ඉහත සඳහන් සුබ ගණයකින් නමක් සකස් කර තැබීමෙන් ඔහුගේ හෝ ඇයගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩේ. කෙසේ නමුත් ම‍ධ්‍යම ආයුෂ හිමි මාරක සහිත ජන්ම පත්‍රයක් දුටු කල එකී ජන්මියාගේ ආයුෂ වැඩිවන අන්දමේ බලයකින් යුත් මාරකවලට විරුද්ධව ක්‍රියා කළ හැකි ප්‍රබල ග්‍රහයකු තෝරා ගැනීම කළ යුතුය. ඒ අනුව ජන්ම පත්‍රයක ආයුෂය, භාග්‍යය, පෙර පින මෙන්ම ධනය යනාදී කරුණු සලකා බලා නම තැබීමෙන් ජන්මියාට යහපත් සුබපල අත්වනු ඇත.

උපදෙස් - ඡ්‍යොතිර්වේදී

සම්පත් බමුණුආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.