මල්වර සිරිත්

ජූලි 7, 2023

අපගේ චාරිත්‍රයන් අතරින් දැරියකගේ මල්වර චාරිත්‍රයට හිමිවනුයේ ඉතාම වැදගත් වූ ස්ථානයකි.

ඡ්‍යොතිෂානූකූලව මල්වරයෙන් පසු 3, 4, 5 යන දිනවලදී සුබ නැකැත් අනුව ස්නානය කළ යුතු වේ.

දැරියකගේ මල්වර චාරිත්‍ර ඉටු කිරීමේදී ඈත අතීතයේ සිට පැවත එන ඡ්‍යොතිෂයට ද හිමිවනුයේ ඉතාම වැදගත් ප්‍රමුඛ ස්ථානයකි. මෙහිදී අප ඡ්‍යොතීෂානුකූලව දැරියකගේ මල්වරය ලෙස හඳුන්වනු ලබන්නේ යම් ස්ත්‍රී ජන්ම පත්‍රයක ජන්ම ලග්නය හෙවත් උත්පත්ති ලග්නයෙන් 1, 2, 4, 5, 7, 8, 9, 12 යන කේන්දරයේ අනුපචය ස්ථානයකට චන්ද්‍රයා ගෝචරයෙන් පැමිණි කල එම සඳු කුජ හෙවත් අඟහරු විසින් දකින ලද්දේ නමි එකල්හි යම් ස්ත්‍රීයකගේ මසක් පාසා ඔපස්වීම සිදුවේ. මෙකී අනුපචය රාශියක් නර රාශියක්ව (එනම් මිථුන, කන්‍යා, තුලා, ධනු පූර්වාර්ධය, කුමිභ යන රාශි ) චන්ද්‍රයා එහි සිට අඟහරු විසින් දුටුවේ නම් ඒ අනුව ද එම දැරියගේ සුදුසු වයසද පැමිණි කල ප්‍රථම මල්වරය සිදුවන බව ඡ්‍යොතිෂය තුළ පුරාණ ඉසිවරු කරුණු දක්වා ඇත. මේ ආකාරයට මෙම ක්‍රම දෙකටම මල්වරය සිදුවනු ඇත. මල්වරය සිදු වූ දින සිට මස්මාංශ හා කිළි යැයි සම්මත ආහාරයෙන් වැළැකී පිරිසුදුව පිරිමින් මුණ නොගැසෙන ලෙස සිටිය යුතුය.

නිරෝගී දැරියකගේ මල්වරය වයස අවු 10 ත් 14 ඇතුළතදී සිදුවන අතර කලාතුරකින් වයස අවුරුදු දහයට පෙර හා 14 පසු සිදුවන මල්වර වීම් ද දක්නට ඇති අතර එය විවිධ රෝගා බාධ හා ස්ත්‍රියගේ ශාරීරික තත්ත්වය මත සිදුවන්නකි. යම් ස්ත්‍රියකගේ ගර්භාෂය දරුවන් බිහි කිරීමට සකස් වීම නැතහොත් පළමු සෘතුවීම ප්‍රථම ඔපස් වීම යනුවෙන්ද මල්වරය හඳුන්වනු ලබයි.

මෙසේ දැරියක් ප්‍රථමයෙන් මල්වර වූ කල්හී දෛවඥා මහතකු කරා ගොස් එහි සුබ අසුබ පරීක්ෂා කිරීමත් ඊට අදාළ මල්වර කේන්දරය හා මල්වර නැකැත් සාදා ගැනීමත් සිදුකරනු ලබයි. යුවතියක් මල්වර වන අවස්ථාවේදී දවස, නැකත, තිථිය, ලග්නය, මාසය, හැඳ සිටි වස්ත්‍රය හා ස්ථානය පදනම් කොට ගෙන මල්වර ඵල ප්‍රකාශ කරනු ලැබේ. අවුරුදු 10, 12, 14 යන ඉරට්ටේ සංඛ්‍යාවන්ට ගැනෙන වයසේ සිදුවන මල්වරය ඔත්තේ සංඛ්‍යාවලදී සිදුවන මල්වරයට වඩා සුබ දායක වේ. වයස 10 ට අඩු වයස්වල සිදුවන මල්වරය එතරම් සුබ දායක නැත. වයස 14 ඉක්මවා සිදුවන මල්වරයද සුබපල ඇති නොකරනු ඇත.

ඉහත සඳහන් කරණු පදනම් කරගෙන සකස් කරන කේන්දරය මල්වර කේන්දරය ලෙස හඳුන්වනු ලබයි. ඒ අනුව මෙම මල්වර කේන්දරය අනුසාරයෙන් පලාපල විමසා බැලෙන අතර කෙසේ වෙතත් මල්වර කේන්දරය මෙන්ම යුවතියගේ ජන්ම කේන්දරයද පදනම් කර ගෙන පලාපල හා සුබ අසුබ පරීක්ෂා කිරීම සුබදායක වනු ඇත. විශේෂයෙන් යම් අවස්ථාවක මල්වර කේන්දරයට වඩා ජන්මපත බලවත් විය හැකි අතර, තවත් විටෙක ජන්ම පතට වඩා මල්වර කේන්දරය බලවත් විය හැකිය. මේ නිසා මෙම කේන්දර දෙක කෙරෙහිම අවධානය යොමු කිරීම නුවණට හුරුය.

යම් යුවතියක් මල්වර වූ ස්ථානය අනුව ඇයගේ අනාගත ජීවිතයේ සුබ අසුබ තා මෙසේ දැක්විය හැකිය.

තමා පදිංචි නිවෙස ඇතුළේදී මල්වරවීම ඉතාම සුබදායක වන අතර තම ගෞරවය ආරක්ෂා කර ගනිමින් දියුණුවෙන් දියුණුවට පත් වනු ඇත.

ගෙදරින් පිට තනිවම සිටින අවස්ථාවක නම් අනාගත ස්වාමියාට අසුබ දායක අතර තමාට දුක් කරදර ඇතිවනු ඇත.

ඥාතී නොවන ගෙයක හෝ අතර මඟකදී නම් තම කල්ක්‍රියාව යහපත් නොවන අධික වියදම් කාරියක වනු ඇත.

නෑ ගෙදරකදී මල්වර වූ යුවතිය තම ඥාාතීන්ට හිතවත් වන අතර ඇයට එම ඥාාතීන්ගෙන් උදව් උපකාර බෙහෙවින් හිමි වනු ඇත.

තමා පදිංචි ග්‍රාමයේ නොව පිට ගමකදී නම් ගමන් බිමන් වැඩි අතර පිට අය සමඟ ආශ්‍රයද ඉතාමත් වැඩිය.

යම් උත්සව අවස්ථාවකදී හෝ ජනකායක් මැදකදී මල්වරය සිදු වූයේ නම් ඇයට සියලු සැප සම්පත් ලැබෙන අතර ප්‍රසිද්ධිය හා දියුණුව ලැබී යහපත්ව වාසය කිරීමට ලැබෙනු ඇත.

ස්නානය කරන විට හෝ ළිඳක්, ගඟක්, හෝ ජලාශයක් අසල නම් ආයුෂ වැඩි වන අතර, නිරෝගී භාවය ඇති වනු ඇත. ඇය බෙහෙවින් අනුන්ට උපකාර කරන තැනැත්තියක් වන අතර ඇයට බොහෝ අලංකාර වස්තු ද ලැබෙනු ඇත.

තමා ජීවත් වන ගමේ අසල් වැසි ගෙවල් අසල නම් එම යුවතිය නිතරම අසල් වැසි ගෙවල්වලට යාමට කැමති වනු ඇත. ස්ත්‍රීන් මධ්‍යයේ මල්වර වූ යුවතියට වස්තු සැප සම්පත් ලැබී සැපසේ වාසය කිරීමට ලැබෙන අතර, පිරිමින් අසළදී මල්වර වූ යුවතියට එසේ නොවන අතර ඇයගේ ශරීර ශක්තිය අඩු වන අතර, ඇය සතු ලැජ්ජා බය ද නැති වී යයි. එවන් වූ කාන්තාවගේ ජීවිතය සැපවත් නොවේ. ගවයන් සමීපයේ හෝ ගව ගාලක් අබියසදී මල්වර වූ ස්ත්‍රියගේ ගති පැවතුම් ඉතා යහපත් වන අතර ඇයට කෑම බීම හිග වන්නේ ද නැත.

සොහොනක් අසල, දේවස්ථානයක් අසල, මල ගෙදරකදී දින 7 ක් ඇතුළත නම් හා හිස් භාජනයක් රැගෙන එන විට ඉදිරියට මුණ ගැසුණු විට මෙන්ම වාහනයක ගමන් කරන විටදී හෝ සිටගෙන සිටින විට යම් යුවතියක් මල්වර වුවහොත් එම මල්වරය ඇයට එතරම් සුබ දායක නැත.

තම පාසලේ, පන්තියේ හෝ ළමයින් මධ්‍යයේ හෝ සභාවක් මධ්‍යයේ මල්වර වූ යුවතිය ඉතාම නිර්භීත වන අතර ඕනෑම තැනක ඉදිරියට යාමට පසු බට නොවනු ඇත. ලැජ්ජාව හා සබකෝලය ඉතාම අඩුය. ඕනෑම තැනක යාමට බය නැත. ඉහළට යාමට හා උසස් වීමට මහත් වූ අශාවක් දක්වයි. අනුන්ට යටත් නැති අතර තම මතයටම අනුව කටයුතු කරයි. තම ස්ථීර විවාහයට කලින් ප්‍රේම සම්බන්ධතා රාශියක් ගොඩ නඟා ගනී.

නිදාගෙන සිටින විට, සෙල්ලම් කරමින් සිටින විට, පිරුණු භාජනයක් රැගෙන එන විට ඉදිරියට මුණ ගැසෙන පරිදි, හෝ විහාරස්ථානයකදී, වන්දනා ගමනක් යන විටදී, ධාන්‍ය සහිත කමතකදී, වී හාල් එළවළු තිබෙන තැනකදී , හෝ ගොයම් නොකැපූ කෙත් යායක් අසළදී යම් ස්ති‍්‍රයක් මල්වර වූවොත් ඇය ඉතාම වාසනාවන්ත වන අතර සියලු සැප සමිපත් අනාගතයේදී ලැබෙනු ඇත. ගෙවල් දොරවල් යාන වාහන හිමි වනු ඇත. එසේම ඇය නිරෝගී වනු ඇත. ඇයගේ මවුපියන්ටත් සුබ දායක වන අතර එවන් වූ ස්ත්‍රීයට යහපත් මෙන්ම සාර්ථක විවාහ වාසනාවද හිමි වන්නේය. ඇයගේ ස්වාමියාට ඉතාම සුබදායක වේ.

යම් යුවතියකගේ මල්වරය සිදු වූ රුධිර බින්දු ගණන අනුව ඇයට අනාගතයේ ලැබෙන්නේ ගැහැනු දරුවන්ද පිරිමි දරුවන්ද යන්න අපට සොයා ගත හැකිය. ඒ අනුව එම ගණන ඔත්තේ වූයේ නම් පිරිමි දරුවන් ලබන අතර ඉරට්ටේ වී නම් ගැහැනු දරුවන් ලබනු ඇත.

වෙසක්, නිකිණි, වප්, උඳුවප්, නවම්, යන මාසවලදී මල්වර වන යුවතිය ඉතාම වාසනාවන්ත වන අතර යහපත් විවාහ, දූ දරු ලාභ හිමි, උසස් අධ්‍යාපනයක් සහිත ධනයෙන් අනූන නිරෝගි ආගම දහමට ලැදි යහපත් පැවතුම් ඇති වනු ඇත. බක්, පොසොන්, ඇසළ, බිනර, ඉල්, දුරුතු, මැදින් යන මාසවලදී මල්වර වන යුවතිය එතරම් වාසනාවන්ත නැත.

වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, කුමිභ, මීන යන ලග්නවලින් මල්වර වන යුවතියන් හට ඉතාම වාසනාවන්ත වන අතර සියලු සැප සම්පත් අනාගතයේදී ලැබෙනු ඇත. ගෙවල් දොරවල් යාන වාහන හිමි වනු ඇත. එසේම ඇය නිරෝගී වනු ඇත. ඇයගේ මවුපියන්ටත් සුබ දායක වන අතර එවන් වූ ස්ත්‍රීයට යහපත් මෙන්ම සාර්ථක විවාහ වාසනාවද හිමි වන්නේය. ඇයගේ ස්වාමියාට ඉතාම සුබ දායක වේ.

මේෂ, කටක, වෘශ්චික, ධනු පූර්ව අර්ධය, මකර යන ලග්නවලින් මල්වර වන යුවතියන්ට ඉහත දැක්වූ සුබපල එතරම් හිමි නොවනු ඇත.

සුදු පාට, රෝස පාට, හෝ කහ පාට, යන පාටවලින් යුත් වස්ත්‍රයක් හෙවත් ඇඳුමක් මල්වර වන විට ඇඳ සිටියේ නම් එය ඉතාම වාසනාවන්ත හා සුබදායක වන අතර මිශ්‍ර පාට වස්ත්‍රයක් නම් තම ස්වාමියාට පි‍්‍රයවනු ඇත. සිහින් වස්ත්‍ර ඇඳ සිටියේ නම් කඩිසර වනු ඇත. ගොරෝසු වස්ත්‍රයක් නම් ඇය පතිවත රකිනු ඇත. මල්වර අවස්ථාවේ රතු පාට, නිල් පාට, කලු පාට, දිරූ, ඉරුණු, කිළිටි අපිරිසිදු වස්ත්‍ර ඇඳ සිටියේ නම් එය එතරම් සුබ දායක නොවේ.

මල්වර වන දිනය අනුවද සුබ අසුබ තීරණය කළ හැකිය. යම් යුවතියක් සඳුදා, බදාදා, ගුරුදා (බ්‍රහස්පතින්දා) සිකුරාදා, යන දින වල මල්වර වන යුවතිය තම පතිවත රකින අතර ඇය වාසනාවන්තය. අනාගතයේ ධනවත් වනු ඇත. ඉරිදා, සෙනසුරාදා යන දිනවල මල්වර වූයේ නම් ඇය නපුරු ගති ඇත්තියෙකි. ඇයට දරුඵල අඩු වන අතර ස්වාමියාට ප්‍රිය නොවනු ඇත. එම දිනවල මල්වර වීම සුබ දායක නැත.

බෙරණ, කැත, අද, අස්ලිස, මා, පුවපල්, විසා, දෙට, පුවසල, පුවපුටුප, යන නැකැත් වලින් යම් යුවතියක් මල්වර වූයේද එම යුවතියට එම මල්වරය විශේෂයෙන් අසුබ හා අගුණදායක වනු ඇත. අස්විද, රෙහෙන ආදී අනෙක් නැකැත් 17 ක් එකකින් මල්වරය සිඳු වූයේ නම් එය සුබ දායක වනු ඇත.

තිථි ඵල අනුවද මල්වරය පිළිබඳ අපට සුබ අසුබ දැන ගත හැකිය. එනම් යම් යුවතියක් පුර පෑළවියෙන් මල්වර වූයේ නම් ඇය නපුරු වන්නේය. අමාවකින් නම් දිළිදු වන්නේය. අව

පෑළවියෙන් නම් ඇය නිරෝගී වන්නේය. සිය ස්වාමියා තමා කෙරෙහි ඇලුම් වන්නේ ඇය දියවක තිථියෙන් මල්වර වූවානම් පමණි. තියවකින් හා තෙළෙස්වකින් නම් යසස් ඇති වනු ඇත. පතිවත නොරකින ස්ත්‍රීයක් නම් ඇය මල්වර වී ඇත්තේ ජලවක තිථියෙන් වන්නේය. යහපත් දරුවන් ලබන ස්ත්‍රීය විසේනියෙන් හා සතවකින් යහපත් දරුවන් ලබන පින් ඇත්තියකි. අටවකින් ලෙඩ දුකින් යුක්ත වූ දරුවන් නසන ස්ත්‍රිය ද මල්වර වන්නීය. නවවක තිථියෙන් මල්වරයෙන් යුත් ස්ති‍්‍රය දුක් ඇත්තියක් වන්නේය. දශවක හා එකොළොස්වක තිථියෙන් මල්වර වූ යුවතිය ධාර්මික හා සිල්වත් වන්නේය. දොළොස්වකින් මල්වර වූවා නම් ඇය පින් නැති ස්ත්‍රයකි. තුදුස්වකින් හා පහළොස්වකින් මල්වර වූයේ නම් ඇය යහපත් හා වාසනාවන්ත වනු ඇත.

ඉහත සඳහන් කාරණාද සැලකිල්ලට ගනිමින් මල්වරයේ සැබෑ අරුත තේරුම් ගෙන දැරියක් යුවතියක් වීම, නැතහොත් ළමා වියෙන් තුරුණු වියට පා තබන මල්වරය. චාරිත්‍රණූකූලව ඉටුකිරීම වැඩිහිටි ඔබ සැමගේ වගකීමකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.