සුබ නැකතක වගතුග

උමා ජ්‍යොතිෂයෙන්
දෙසැම්බර් 15, 2023

සුබ නැකත ගැන රටම කතා කරනුයේ සිංහල අලුත් අවුරුද්දටය. එහෙත් උපන් දා සිට මැරෙනදා තෙක්ම නැකත් සමඟ කටයුතු කිරීමට පෙළඹී ඇත්තෙමු. සුබ නැකත් ඇත්තටම වැඩක් තිබේද? නැකැත් අනුව වැඩ කරලත් මෙතරම් පරිහානියට රටත්, ජාතියත් පත්ව ඇත්තේ ඇයි. වෙනත් රටවල්වල නැකතක් නැත. එහෙත් ඔවුන් දියුණුය. මේ ආදී වශයෙන් කී නොකී කරුණු කාරණා බොහොමයක් ගෙන සුබ නැකත ප්‍රතික්ෂේප කිරීමට තර්ක නගනා පිරිසකි. ඒ අතර, එය සත්‍යයැයි තහවුරු කිරීමට සත්‍යය වශයෙන් ප්‍රායෝගිකට හැකි ඡ්‍යොතීර්වේදීන් ප්‍රමාණවත් තරමින් සිටිනවාද?

ඉතාමත් පැහැදිළිව කිව යුතු කාරණාවක් ඇත. සුබ නැකැත් ගැන විශේෂයෙන් ඉගැන්වෙනුයේ ඡ්‍යොතිෂයෙහි හෝරා ස්කන්ධයෙහිය. මෙකී හෝරා ස්කන්ධය අංග සතක් වන අතර, අනු අංග සමුදායකි. සමහර පුස්කොළ පොත්වල එය සප්ත විශුද්ධිය ලෙසද නම් කොට තිබේ. කතාබහ ඒ පිළිබඳව නොවේ. සුබ නැකතක ප්‍රතිඵල තිබේද යන්නය. සාමාන්‍ය ගැමියා ගස් කැපීමේදී, වගා කිරීමේ දී යොදා ගනු ලබන දැනුම යනු නැකතමය. බදාදා, සෙනසුරාදා කෙම්මුර බවත් දෙවියන්ගෙන් උපකාර ගැනීමට එදවස් සුබ බවත්, ඔවුහු විශ්වාස කළහ. අඟහරුවාදා, සිකුරාදා ස්නානය අසුබ බැව් සමාජයේ පවතින මතය නැකත හා සබැඳිය. එහෙත් බ්‍රාහ්මණයන්ගේ ස්නාන දවසක් නිසා එදවස් සාමාන්‍ය ජනයාට තහනම් කරනු පිණිසය. ඒවා අසුබ යැයි ප්‍රකට කළ බවද කියැවේ. සමහර විටක එය සත්‍ය විය හැකි ය.

එහෙත් සත්‍ය වශයෙන්ම අඟහරුවාදා, සිකුරාදා ස්නානය ගැන ප්‍රායෝගිකව විමසා බලා ඇත්තේ කවුරුන්ද එය ශාස්තී‍්‍රය පදනමකින් විමසා බැලීමද ඊට හේතුව වශයෙන් ගෙන හැර දක්වා ඇති සාධක පිළිබඳ අධ්‍යයනයක් කර තිබේ ද යන කරුණු කාරණා අර්ධ වශයෙන් විමසා යමක් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම නුවණැතියාගේ කාර්යභාරය වන්නේ දැයි විමසිය යුතුය.

වහරේ සුබ නැකත යැයි කියන්නේ සුබ මුහුර්තයටමය. එය පිළිබඳ ඡ්‍යොතිෂමය අර්ථකථනය වෙනස්ය. සාමාන්‍යයෙන් මුහුර්තයක කාලය මිනිත්තු හතළිස් අටකි. මෙයට නිත්‍ය මුහුර්ත යැයි කියනු ලැබේ. සිවාලිඛිතය නම් ශාස්ත්‍රය අනුව මුහුර්තයක කාලය මිනිත්තු හතළිස් පහකි. මේ මුහුර්ත දෙක ගැනම කතා කරන බොහෝ දෙනෙකු ඒ පිළිබඳ මනාව දත් අය බව පෙන්වන බව නම් පෙනේ. තත්ත්වය මෙසේ පවතින විට විශේෂයෙන් නැකතක් සම්පාදනය කරන විට අවසානයේ හෝරාවෙහි පංචමය ගෙන නැකත් මොහොත වඩාත් සුබදායක කර ගැනීමට වෙර දැරීම සාමාන්‍ය ක්‍රමයයි.

නූතනයේ ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය නමින් ප්‍රකට ඊට පෙර මීනාස්නාඩි නම් වූ පූර්වයේදීම රික හෝරා න්‍යාය නම් වූ ක්‍රමයෙහි යම් යම් භාවිතාවන් අනුගමනය කරන ඇත්තෝ පෙර කිසිත් නොවිමසා අදාළ උපස්ථානාධිපතිගේ භාව සම්බන්ධය විමසා බැලීමට කටයුතු කරනු ලැබේ. මෙයට වඩා වෙනස් ක්‍රම පුරුදු පුහුණු කළ ඇත්තෝ ඒ ඒ න්‍යාය අනුව කටයුතු කරනු ඇත. කවර න්‍යායක් භාවිතා කළ නමුදු අවසාන ප්‍රතිඵලය සාක්ෂාත් විය යුතුය.

සුබ නැකතක් යනු පැල සිටුවීමක් සමානය. බීජ රෝපණය හා සමානය. අලුතෙන් අරඹන කටයුතු සඳහා හොඳ ජවයක්, ක්‍රියාකාරීත්වයක් ලබාගැනීම සඳහා ශුභ නැකත උපකාර වේ. අකුරු කරවීම, කෙස් කැපීම, බත්කැවීම, පංචායුධ පැළඳවීම ආදී දරුවන් සම්බන්ධ ක්‍රියා සඳහා ද රැකී රක්ෂා සඳහා පිටත්ව යාම, තරග විභාග ගෘහාරම්භය, ගෙවැදීම, ව්‍යාපාර කටයුතු, විවාහය ආදී මෙකී නොකී ක්‍රියාවන්හි සමෘද්ධිය සුබ නැකතකින් අපේක්ෂා කරනු ඇත. එසේම අතරමග නැවතී ඇති කටයුතු නැවත සක්‍රීය කරගැනීම සඳහා සුබ නැකත් උපකාරීවන බව බොහෝ දෙනෙකු නොදන්නා සේ පෙනේ.

සුබ නැකතක, මුහුර්තයක ප්‍රතිඵල පැය 24ක කෙටි කාල සීමාවක් තුළ වුව විමසා දැක යැවීමේ හැකියාව ඡ්‍යොතිෂය තුළ තිබේ. තෝරාගත් ගොවිබිමකට නිරන්තරයෙන් නිතිපතාම වල් අලි පැමිණේ නම් එම පැමිණීම ඉංගී‍්‍රසි පැය 24ක් තුළ නවතන්නට නැකත් ශක්තිමත් වේ. එසේය කියා නායකත්වයේ කළමනාකාරීත්වයේ දුර්වලතා අනුව උත්පාදනය වී ඇති වල් අලි ගැටලු සහමුලින්ම උපුටා දැමීමට හෝ විසඳුම් දීමට ශුභ මුහුර්තයකට හැකියාවක් තිබේදැයි නොදනිමු. එහෙත් එවන් වැඩ පිළිවෙළකට මෙය උපකාර කරගත හැකිය. නිදසුනකට අලි වැටක් ගැසීමට යන වියදමින් බිඳක් වැයකර වැට නැතිව කණු කීපයක් සිටුවා කිසියම් සීමාවක අලින්ගේ පැමිණීම නතර කළ හැකි දැයි විමසිය හැකිය. ඒ සඳහා පර්යේෂණාත්මකව කටයුතු කළ හැකිය.

දරුවකුගේ හිතුවක්කාරකම, දෙමාපියන්ට අත් ඔසවීම වැනි ක්‍රියාකාරීත්වයක් පැය 24ක් තුළ වෙනස් කිරීමට සුබ මුහුර්තයකට හැකියාව ඇත. එනයින් විමසන විට සුබ මුහුර්තයක ක්‍රියාකාරී බලය කෙසේදැයි බුද්ධිමත් ජනයාට අවබෝධ කරගත හැකිය. එම මුහුර්ත අසුබ නම් ඒවායෙහි අසුබ බලයද ක්‍රියාකාරී වේ. එහෙයින් සුබ මුහුර්ත සම්පාදනයද සීරුවෙන් කළ යුතු එකකි. විෂය අසත්‍ය නොවේ. බොරු නොවේ. එහෙත් විෂය නොදත්තෝ බොරු කරනු ඇත. සුබ මුහුර්ත බොරු කියා පවසනු ඇත. නැකතකට කළ හැකි කෙහෙල් මලක් නැත යනුවෙන් ඡ්‍යොතිර්වේදීන්ම පවසන කාලය ඈතක නොවේ.

මනෝවිද්‍යා උපදේශක, 
පාරම්පරික ශාස්ත්‍රඥ 
හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.