අඟහරු 15 වැනිදා කුම්භයට යයි

වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ට ගජ වාසි
මාර්තු 8, 2024

 

සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15 වෙනි දින පස්වරු 06.08ට කුම්භ රාශිය තුලා නවාංශකය, දෙනට නැකතෙහි තුන්වන පාදයෙන් භූමි පුත්‍ර හෙවත් අඟහරු දිව්‍ය රාජයා සෙනසුරු හිමි කුම්භ රාශියට සංක්‍රමණය වෙයි.

මේෂ, කටක, තුලා, මකර රාශි සතරම රුචක යෝග බලයෙන් නොසැලෙන ගුණය ද ගුරු දීප්ත යෝග බලයෙන් රාශි දොළසටම ද ජවබල සම්පන්නව තම කටයුතු කර ගැනීමේ හැකියාවද යෙදී ඇත.

කෘෂිකාර්මික, කාර්මික, කම්කරු ජනතාවට ස්වකීය දක්ෂතා, නිපුණතා, කුසල කර්ම ප්‍රායෝගිකව හසුරුවමින් උදාර මෙහෙයක නියුතුව සක්‍රියව වැඩකටයුතු කළ හැකි පි‍්‍රය ජනක කාලයකි.

පාරිසරික සෞන්දර්යාත්මක බව වර්ධන වීමෙන් දෙස් විදෙස් සංචාරක ව්‍යාපාර ප්‍රාණවත් කෙරෙනු ඇත. ඉඩම් නොමැති අයට ඔප්පු තිළිණ ලැබෙන සමයක් බව පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපනයේ සෞඛ්‍ය සහ අධිකරණ සුබසාධන ගණනාවක් සම්පාදනය වෙයි. පෞද්ගලික ව්‍යාපාර කෙරෙහිද පූර්ණ අනුග්‍රහය ලබාදෙන සුවිශේෂී ග්‍රහ පිහිටුමකි.

සිංහ ජනරජ උදා රාශියෙහි 07 වැන්නෙහි කුªජ ශනි සිකුරු ග්‍රහ සුසංයෝගයෙකි. එසේම කුජ ශනි ගිනි කතුරු යෝග බලය 07 වැන්නේ ද ෂඩ්කෝණ දෘෂ්ටියෙන් (07 + 09) ගුරු ශනි යෝග බලය ද යෙදීමෙන් සමාජගත නීතියට යුක්තියට පිටුපාන සැමට සොබා දහමෙහි දඬුවම් කෙරෙහි පිටුපෑමට නොහැකි වෙනවා ඇත. අවිහිංසාව, අවංකබව, පිරිසුදු චරිතය, සත්‍යවාදී බව සමඟ උත්තරීතර මනුෂ්‍ය ධර්මයට පිටුපාන සැමට දඬුවම් ලැබෙන කාල පරාසයකි. අප්‍රේල් 23 දක්වා නිර්ණාමික නාමික සොර සතුරන් කෙරෙහි ඉතාම බිහිසුණු බලපෑමක් සිදු වනු ඇත. චර්යා ධර්මතාවයකින් සත්‍යය ගරු කරමින් ජීවත්විය යුතු කාල පරාසයකි.

මේෂ ලග්නය

බොහෝ කරුණු කාරණා කෙරෙහි මෙන්ම ලැබීම් කෙරෙහි මන්දගාමී බවක් බලපෑ හැකිය. රැකියා ආදායම් මාර්ග කෙරෙහි විවිධ බාධක අවහිර මතුකෙරෙනු ඇත. උත්සාහය උනන්දුව, හීනවී ගියහොත් ජීවන ගමන් මඟට බාධක ගෙන දෙන බවක් ද පෙනී යයි. බාහිර රෝගාබාධ, සතුරු උපද්‍රව බහුලව ඇතිවිය හැකිය.

 

වෘෂභ ලග්නය

10 වැන්න වූ කර්ම ස්ථානය ශක්තිමත් වෙයි. රැකියා ආදායම් මාර්ග, සබඳතා, විවාහ කටයුතු උසස් බවකට පත් වෙයි. ආදායම් මාර්ග අඩු වෙනුයේ දුරදිග නොබලා කටයුතු කරලීමෙනි. ආරම්භ කරන ලද කටයුතු මෙන්ම අලුතෙන් අරඹන කටයුතු බොහොමයක් සාර්ථක වනු ඇත.

 

මිථුන ලග්නය

මිථුන රාශි හිමියන්ගේ භාග්‍යස්ථානය ජවබලසම්පන්නව අතිශය ප්‍රශස්තබවකින් උද්දීපනය වන්නේ ය. එසේම උසස්වීම්, විජයග්‍රහණ සහිතයි. නව ව්‍යාපාර, වෙළෙඳ සේවා ආශි‍්‍රත උසස් දියුණුවක් සැලසේ. සිතේ සමගි සමාදානය පවතින අතර ප්‍රභූ ජනයා ආශ්‍රයට ලැබේ.

 

කටක ලග්නය

යටපත්ව ගිය රැකියා ආදායම් මාර්ග දියුණුවට පාත්‍ර වෙයි. ඉක්මන් තීරණ හදිසි කෝප ආදියෙන් දුරස්ථව නිසි දැක්මකින් ක්‍රියා කළ යුතු කාල පරාසයකි. උත්සහය, උනන්දුව තරමටම ප්‍රතිපල ලැබෙනු ඇත. සෞඛ්‍යය කෙරෙහි ප්‍රමුඛතාවය ලබාදීම ශුභවෙයි.

 

සිංහ ලග්නය

07 වැන්නෙහි කුජ, ශනි, සිකුරු ග්‍රහ පිහිටීම ඉතාම යහපත් වෙයි. මෙතෙක් කල් යටගිය සෞභාග්‍යය ඉතා කෙටි දින ගණනාවකින් යළි ඉස්මතුව සාර්ථකත්වය කරා ගමන් කරයි. උදාසීන නොවී කාර්යක්ෂමව කටයුතු කිරීමෙන් දියුණුව සලසා ගත හැකිය.

 

කන්‍යා ලග්නය

රෝග, සතුරු උපද්‍රව යටපත් වන ග්‍රහ පිහිටීමකි. කර්ම දෝෂ, සර්ව ශාප දෝෂ බලවේග කෙරෙහි දැඩි අවධානය යොමුවිය යුතු කාල පරිච්ඡේදයකි. දැන උගත්කම මෙන්ම උසස් අධ්‍යාපනය ද ක්‍රමවත් ජීවන දැක්මකට අනුකූලව හැඩ ගසා ගැනීමෙන් අභිමානවත් ජීවන ගමන් මඟකට ද යොමු විය හැකිය.

 

තුලා ලග්නය

ධාරණය මතක ශක්තිය දියුණු කෙරෙමින් දෙස් විදෙස්හි අධ්‍යාපනය, සංචාරය, රැකියා උසස්වීම්, විජයග්‍රහණ ළඟා කෙරෙයි. සිකුරුගෙන් ලබාදෙන කිරණ බලය අඟහරුගේ අභියෝගයෙන් යටපත් කෙරෙන කාල පරාසයකි. සමාරම්භක කාර්යය භාරයන් රැසකින් උසස් දියුණුවට පාත්‍ර කෙරෙයි. සමාජගත ස්ථාවර දැක්ම තුළින් උසස් ජන දිවියකට මඟ සැලසෙයි.

 

වෘශ්චික ලග්නය

පදිංචි ස්ථානයෙහි භූමියෙහි නවතාවයකින් යුතුව කටයුතු සිදු වනු පෙනී යයි. වෘශ්චික රාශි හිමියනට සස නමැති යෝගබලය 04 වැන්නෙහි යෙදෙයි. අධිකරණය, නීතිය, සෞඛ්‍යය, අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි උසස් බවක් මතු කෙරෙනු ඇත. ආරම්භක කාර්යය භාරයන් උසස්ම තත්ත්වයකට පාත්‍ර කෙරෙයි.

 

ධනු ලග්නය

උත්සාහය උනන්දුව වික්‍රමය ශක්තිමත් කෙරෙන ග්‍රහචාරයකි. උසස් සිතැඟියාවන් සාර්ථකත්වයට නැඹුරුවෙයි. බොහෝ දුරට ආගම දහමට සිත යොමු කෙරෙනු ඇත. නිර්මාණශීලීත්වය කෙරෙහි තුඩුදෙන නවතම කටයුතු රැසක් සිදු කෙරෙනු ඇත. දූරදර්ශීව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු කාල පරාසයකි.

 

මකර ලග්නය

තැන්පත් ධනය, දේපළ වස්තුව, රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතව උසස් දියුණුවක් මතු කරයි. ආගම දහමට නැඹුරු වෙයි. නිර්මාණශීලී බවක් ද දක්නට ලැබේ. ආර්ථිකය නව විශිෂ්ට මඟකට නැඹුරු වෙයි. තිරසර දැක්මකින් ඉදිරි ගමන නොනවත්වාම ඉදිරියට යෑම සුබවාදී වනු ඇත.

 

කුම්භ ලග්නය

ඔබගේ ජීවන ගමන අතිශය ප්‍රශස්ත වෙන අතර උදාරතම ඉදිරි ගමන් මඟක පි‍්‍රය මනාප යෝගයක් දිගුකාලීනව පවතිනු ලැබෙයි. අධ්‍යාපනය, රැකියා ආදායම් මාර්ග උසස්තම ජීවන ගමන් මඟක සතුට ගෙන දෙන කාල පරාසයකි. නිරවුල් මනසකින් කටයුතු කිරීම සමාජයෙහි ප්‍රසාදයට ලක්වීමට හේතු වෙයි. මාර්තු මාසය පුරා ක්‍රියාකාරකම් බහුල කෙරෙන බවක් පෙනී යන්නේ ය.

 

මීන ලග්නය

කර්මස්ථානය, භාග්‍යස්ථානයද, ධර්ම ත්‍රිකෝණයෙහි ද ශක්තිය වසර පුරා බලපායි. ආලෝක ග්‍රහ කිරණ සමඟ බ්‍රහස්පති, යුරේනස් ලග්නගතවීමද මේ වසර ආරම්භයේ සිට උසස් ප්‍රතිඵල ගෙන දීමට හේතු වේ. ඔරොත්තු දීමේ ශක්තිය මෙන්ම විඳ දරා ගැනීමෙහි ශක්තිය ඔබ කෙරෙහි උදාරතර ලෙස පිහිටා ඇති බැව් පෙනී යයි.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.