ලග්න දොළහටම ව්‍යාපාර දියුණුව-ධනලාභ දෙමින් කුජ මකරයට එයි

පෙබරවාරි 2, 2024

එළැඹෙන පෙබරවාරි මස 5 වෙනි සඳුදා රාත්‍රී 9.42 ග්‍රහලොව සෙන්පති අඟහරු තම උච්ච භවනය වන මකර රාශි ගත වී සතරදීප යෝගය උදා කිරීම ලග්න දොළසටම ශුභ ඵල ගෙන දීමට හේතු වන බව ඡ්‍යොතිෂයේ පෙන්වා දෙයි.

මේ 5 වෙනි සඳුදා රත්‍රි 9.42 සිට මාර්තු 15 වෙනි සිකුරාදා සවස 6.08 දක්වා අඟහරු මකර රාශියේ ගෝචර වනු ඇත.

ඒ අනුව මේෂ, කටක, තුලා, මකර යන චර රාශිවලට අයත් ලග්නවලට සතර දීප යෝගය සමඟ රුචක නම් පංච මහා යෝගය උදා වීමෙන් වඩාත් සුබ පල උදා කෙරේ.

අඟහරු මකර රාශියේ ගෝචරය සිදු වන්නේ සහජ ශුභයන් වන බුධ සිකුරු සමඟ යෝගව මේෂ රැසෙහි සිටින මිත්‍ර ගුරුගේ කේන්දරය දෘෂ්ටියට භාජනය වෙමිනි. එවිට සියලු ලග්නවලින් උපන් ජන්මීන්ගේ උප්පත්ති කේන්දරවල අඟහරු, ග්‍රහයා මේෂ, වෘශ්චික, මකර යන රැසක පතිතව පිහිටියේ නම් හෝ දැනට අඟහරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලබා ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට ද වැඩි සුබ පල උදා වනු ඇත.

එමෙන්ම ලංකා කුම්භ ලග්න කේන්දරයේ 12 වැන්න වූ මකරයේ මෙකී අඟහරු බුධ, සිකුරු, ගුරු යන සහජ ශුභයන්ගේ බලපෑමට ලක්ව ගමන් කිරීම, රට තුළ පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය මර්දනය වීම නිසා ජනතාවට වෙනදාට වඩා නිදහස්ව සතුටෙන් එදිනෙදා වැඩ කටයුතු කරගෙන යෑමට හැකි වාතාවරණයක් රට තුළ නිර්මාණය වන අතර, හදිසි අනතුරු, මිනිස් ඝාතන, ගැටුම් අවම වනු ඇත.

 

මේෂ ලග්නය

මේෂ ලග්න කේන්දරයේ අඟහරු 10 වැන්නේ ගමන් කරන්නේ රුචක නම් පංච මහා පුරුෂ යෝගය උදා කරමින් 3,6, අධිපති බුධ සහ 2,7 සිකුරු සමඟ යෝගව, ලග්නයේ සිටින භාග්‍යස්ථානාධිපතිගේ කේන්ද්‍රය දෘෂ්ටියට ලක් වී ඇත. මේෂ ලග්නයෙන් උපන් ඔබට සුබ පල ගෙන දෙන්නේය. ඒ අනුව කලාකාමීන්ට, ගායකයන්ට, ව්‍යාපාරිකයන්ට, ගුරුවරුන්ට, උගතුන්ට ශුභ පල ලැබේ.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමියන්ට අඟහරු සතරදීප යෝගය උදා කරමින් ඇත. ඒ අනුව වෘෂභ ලග්නයෙන් උපන් අයට උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට විදේශයන්හි උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාවක් උදාවනු ඇත. ඇතැම් අයට විදේශ රටවල සංචාරය කිරීමට අවස්ථාවන් උදා වන අතර, විවාහ වන වයසේ පසුවන අයට යුග ජීවිතයට ඇතුළත් වීමේ භාග්‍ය උදාවනු ඇත. එමෙන්ම වෘෂභ ලග්නයේ උපන් කලාකරුවන්ට, කලාකාරියන්ට, ලේඛක ලේඛිකාවන්ට පොත්පත් ප්‍රකාශකයන් ද ශුභ පල ගෙන දෙන්නේය.

මිථුන ලග්නය

මිථුන ලග්න හිමියන්ට සතරදීප යෝග උදා වී ඇත. ඒ අනුව එකී ග්‍රහ ගෝචරය සතුරු ප්‍රශ්න, නොවිසඳී තිබුණු නඩු හබ විසඳී විවිධ වූ ලාභයන් හිමි වන අතර, සතුන් සම්බන්ධ ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරිකයන්ට වෙනදාට වඩා ලාභ ලැබෙන කාලයක් වන්නේය. එමෙන්ම විවාහ වාසනාව ද උදා වන්නේය.

කටක ලග්නය

කටක ලග්න හිමියනට ශුභ පල උදා කරන කාලයක් වන අතර, බුධ, සිකුරු , ගුරු යන සහජ ග්‍රහ චලනයන්ගේ බලපෑමට ලක්ව රුචක නම් පංච මහා යෝගය උදා කරමින් ගෝචරය වේ. හවුල් ව්‍යාපාර, කටයුතුවලින් උසස් ලාභ ලැබීමටත්, විවාහ වන වයසේ පසු වන තරුණ තරුණියන්ට උගත්, බලවත් උසස් රැකියා කරන සහකරුවෙක් හෝ සහකාරියක් හිමිවීමට වාසනාව උදා වන අතර, කටක ලග්න හිමියන්ගේ රැකියා කටයුතු ඉතා හොඳින් සාර්ථක වන්නේය.

සිංහ ලග්නය

අඟහරුගේ ග්‍රහ ගෝචරය සිංහ ලග්නයෙන් උපන් අයට ශුභ පල ගෙන දෙන්නේය. ශෛල්‍ය වෛද්‍යවරුන්ට, ආරක්ෂක අංශයේ කටයුතු කරන අතර මුදල් පොලියට දෙන ව්‍යාපාර කටයුතුවල නිරත පුද්ගලයන්ට, ශුභ පල ගෙන දෙන්නේය. එමෙන්ම සිංහ ලග්න හිමියන්ට නඩුහබ, සතුරු ප්‍රශ්නවලින් ජය අත්වන අතර කලක් පීඩා වින්ද රෝගවලින් ඉක්මන් සුවයක් ලැබෙන අතර, උදරය, දෙපා, ආදි ඉන්ද්‍රියන් ආශි‍්‍රත කෙරෙන ශෛල්‍යකර්මයන් සාර්ථක වනු ඇත.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයට සතරදීප යෝගය උදා කරමින් අඟහරුගේ ග්‍රහ ගෝචරය කන්‍යා ලග්න හිමියන්ට සුබවාදී වන්නේය. කන්‍යා ලග්නයේ උපන් කලාකරුවන්ට උසස් කලා කෘතින් බිහි කිරීමට හැකි වන අතර ගුප්ත ශාස්ත්‍ර කටයුතුවල යෙදෙන්නන්ට ගරුනම්බු නාම, සම්මාන හිමි වන්නේය. එසේම කන්‍යා ලග්නයෙන් උපන් ශෛල්‍ය වෛද්‍යවරුන්ට ඔවුන්ගේ වෘත්තීය කටයුතුවල දියුණුවක් ඇති කරන්නේය.

තුලා ලග්නය

තුලා ලග්න හිමියන්ට රුචක නම් පංච මහා යෝග්‍ය උදා කරමින් අඟහරු තුලා ලග්න හිමියන්ට ශුභ පල දානය කරයි. ඉඩකඩම් විකිණීම, ව්‍යාපාර කටයුතුවල නිරත සහ වාහන විකිණීම සහ ඒ සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල යෙදෙන තුලා ලග්න හිමියන්ට ලාභ ලැබෙන අතර, තම පවුලේ සාමාජිකයන් සහ මවු පාර්ශ්වයේ ඥාතින් නිසා දියුණුූව සැලසෙන අතර මවගේ සහ තමාගේ ජීවිතය සැපවත් වේ. වෙනදාට වඩා නිවෙසේ ශි‍්‍රයාව වර්ධනය වන්නේය.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමියන්ට සතරදීප යෝගය උදා කරවමින් මේ ග්‍රහ ගෝචරය සිදුවේ. ජංගම වෙළෙඳුන්ට , ලිපි ලේඛන සම්බන්ධ රැකියා ව්‍යාපාර කරන අයට, පුවත්පත්, සඟරා, පොත්පත් ලේඛකයන්ට සහ ඒ සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල නියුතු අයට, නළු නිළියන්ට, කම්මල්කරුවන්ට, ආයුධ නිෂ්පාදකයින්ට, එම කටයුතුවලින් දියුණුවක් ලැබේ. සතුරු කරදරවලින් මිදීමට අවශ්‍ය චිත්ත ධෛර්යයක් ලැබෙන කාලයක්ද වන්නේය. එසේම විවාහයෙන් කෙළවර වන පේ‍්‍රම සම්බන්ධතා ඇතිවන කාලයක් වන්නේය.

ධනු ලග්නය

ධනු ලග්නයට සතරදීප යෝගය උදා වේ. ඒ අනුව ධනු ලග්න හිමියන්ට ලොතරැයි පත්වලින්, ක්‍රීඩාවලින් ජය ගෙන දීමට මෙකී අඟහරු ගේ මකර රාශි ගෝචරය හේතු වන්නේය. එමෙන්ම නීතිවේදින්ට වෙනදාට වඩා උසස් තාර්කික ශක්තිය ලැබෙන අතර, ඒ හේතු කොට ගෙන ඔවුන්ට වෙනදාට වඩා කීර්ති, ප්‍රශංසා සහ ධන ලාභ හිමිවන්නේය. එමෙන්ම ධනු ලග්න කාන්තාවන්ට පිනැති නීරෝගි දරු සම්පත් ලැබීමටද, හේතු වනවා ඇත.

මකර ලග්නය

මකර ලග්න හිමියන්ගේ ලග්නයෙහි සතරදීප මෙන්ම රුචක නම් පංච මහා යෝගය උදා වේ. ඒ අනුව මකර ලග්න හිමියන්ට ශුභ පල දානය කරන ග්‍රහ ගෝචරයක් වේ. ඒ අනුව රැකියා කටයුතුවල දියුණුවක් ද ගේ දොර යානවාහන ලැබී ජීවන තත්වය උසස්වීම සිදු වන අතර, යන්ත්‍ර සූත්‍ර යාන වාහන, ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කටයුතු කරන අයට එකී ව්‍යාපාර කටයුතුවලින් උසස් ධන ලාභයක් ලැබීමටත් ආරක්ෂක අංශයේ කටයුතු කරන ජන්මීන්ට නිලතල, බලතල ලැබී තම වෘත්තීය, ජීවන තත්ත්වය උසස් වීමට හේතු වේ.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයට සතරදීප යෝගය උදා කරමින් කුම්භ ලග්න හිමියන්ට පී‍්‍රතිමත් විදේශ ගමන් බිමන් යෑමටත් යම් යම් චෝදනාවන් මත වැරැදිකරුවන් වී සිරගතව සිටින කුම්භ ලග්න හිමියන්ට සිරෙන් නිදහස් වීමටත්, මානසික රෝගවලින් පීඩා විඳිමින්, සිටි කුම්භ ලග්න හිමියන්ගේ රෝගි තත්ත්වය සුවවීමටත් දෙපා ආබාධවලින් පීඩා විඳිමින් සිටින කුම්භ ලග්න හිමියන්ගේ සහ වම් ඇසේ පෙනීමේ දුර්වලතාවයන්ගෙන් පීඩා විඳිමින් සිටි කුම්භ ලග්න හිමියන්ගේ රෝගි තත්ත්වයන් සුව වීමටත් මෙකී ග්‍රහ ගෝචරය හේතුවනවා ඇත.

මීන ලග්නය

මීන ලග්න හිමියන් සතර දීප යෝගය උදා කරමින් මේ ග්‍රහ මාරුව සිදුවීම මීන ලග්න හිමියන්ගේ රැකියා ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ආදායම් ලැබීමටත් බැංකුවේ තැන්පත් කර ඇති මුදල්වලට වැඩි පොලියක් හිමි වීමටත් හේතු වේ. වාහන, නිවාස, මිලට ගැනීමට සහ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මුදල් වැය කිරීමටත් සිදුවේ. නමුත් ඒරාෂ්ටක අපල ඇත්නම් උප්පත්තියේ අඟහරු දුර්වල නම් මෙකී ශුභ පල අවම වීමක් හෝ නොලැබී යෑමක් සිදු විය හැකිය.

 

ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.