බලගතු නැකතක මහිමය

කරෝලිස් ගැටවරයා ගමෙන් සෙයිලමට පිටත් කළ නාහිමියන්ගේ නැකතේ බලය නිසා ඔහුට එහි දී භූමි ලාභයක් අන්සතු වස්තුවකුත් හිමි වුණා
අගෝස්තු 28, 2020

මාතර හිත්තැටියේ හේවාවිතාරණගේ ඩිංගිරි අප්පුහාමිගේ වැඩිමහල් පුතණුවන් වූ කරෝලිස් දරුවාගේ වේලාපත්කඩය සෑදූ ඥාතිවරයකු ද වූ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට ඉන් පෙනුණේ මේ දරුවා මතු කල රටේ ප්‍රකට ධනවතකු වන්නට මඟ හසර පාදා ගන්නා බවය. 

එහෙයින්ම සුවිශේෂ නැකතක් සාදා ඔහුට අකුරු කියවන්නට ද නාහිමියන් කටයුතු කළේ පියාට ද ඒ බව ඇඟවීමෙන් පසුවය. මේ සමඟම නාහිමියෝ තමන් හැඟීමකින් යුතුව කියන දේ කුඩා සමයේ සිටම දරුවා සිතට ගන්නා බව දැනගෙන ඔහුට තමන් දත් ඡ්‍යොතිෂ දැනුම ලබා දෙන්නට ද මූලික වූහ. වයස 10 -12 වන විට නාහිමියන් ගුරුමුස්ටි පවා තබා නොගෙන ලබා දුන් ඡ්‍යොතිෂ සතරෙහි මනා දැනුමකින් යුතු අයකු වූයේය. නාහිමියන් අත බලා ශාස්ත්‍ර කීමේ විෂයයෙහි ද කෙළ පැමිණි අයකු වූ හෙයින්ම අත්ලේ තිබෙන රේඛාවලින් කියැවෙන මිනිසකුගේ අතීත, වර්තමාන සහ අනාගත සංසිද්ධීන් පිළිබඳව ද විවරණය කර දැක්වීමේ ශාස්ත්‍රය ද දරුවාට මනාව ඉගැන් වූහ. 

 “දරුවා, මෙම ශාස්ත්‍රය හරි හැටි ප්‍රගුණ කළ කෙනකුට ගහක් යට සිට වුව ද එදිනෙදාට පමණක් නොව මතු කලකට ද පිහිටවන පරිදි ධනයත්, කීර්තියත් හරිහම්බ කරගත හැකි ය.” යනුවෙන් දරුවාගේ දක්ෂතා දැකීමෙන් සතුටට පත් නාහිමියන් කී අදහස කුඩා කරෝලිස් දරුවාගේ සිතේ ගැඹුරින්ම තැන්පත් වී තිබිණ. මේ දරුවාට ලී කැබැල්ලක් හමු වූ විට ඥාතිවරයකුගෙන් සපයා ගන්නා ලද කියතක ආධාරයෙන් එම ලී කැබැල්ල බංකුවක් හෝ කුඩා පුටුවක් හෝ බවට පත් කිරීමෙහි කුසලතාවක් ද ඇතිව තිබුණේ දරුවා සාංසාරිකව ලබන ලද අත්දැකීමක් අනුව බව නාහිමියෝ සිතා ගත්හ. 

එවැනි දෙයකින් දරුවාට කය වෙහෙසවා මතු කල වඩු කර්මාන්තයට ද, සිත වෙහෙසවා කරන ඡ්‍යොතිෂ දැනුමෙන් ද දියුණු විය හැකි බවක් එහෙයින් තමන් කළ යුත්තේ ඔහු මෙම පළාතේ නොතබා ග්‍රහචාරය අනුව ඔහුට සෙත සැලසෙන බස්නාහිර පළාතට හෙවත් සෙයිලමට පිටත් කළ යුතු බවත් සිතා ගත් නාහිමියෝ ඔහුගේ පියාණන් වූ ඩිංගිරි අප්පුහාමි සමඟ කතාබහ කරමින් එසේ දරුවා නිවසින් පිටමං කිරීමේ ක්‍රියාමාර්ගයක ද යෙදුනහම. මෙසමයෙහි දරුවා පසළොස්වන වියේ පසුවුව ද ශරීරයෙන් එයට වඩා වූ පෙනුමකින් යුතුව සිටි හෙයින් ඔහු මෙසේ සිදාදියට පිටමං කිරීම පිළිබඳව වැඩිහිටියනට සැකක් බියක් ඇති වූයේ ද නැත. 

මෙම දරුවා නිවසින් පිටමං කළ යුත්තේ ඔහුට නියත වශයෙන්ම සෙත සැළසෙන , අතරමං නොවී ඉහට වහලක් ද වෙරවීරියෙන් ලද හැකි වූ ධනයක් ද සලසා දෙන සුවිශේෂ නැකත් වේලාවක් යොදාගෙන හෙයින් තමන් වෙත වූ පැරණි ඡ්‍යොතිෂ සතර පිළිබඳව ලියවී තිබුණු පුස්කොළ පොත් මනාව පරීක්ෂා කර බලා නාහිමියෝ දරුවාගේ ග්‍රහචාරයට සරිලන ලෙස වූ සුවිශේෂ ශුබ දිනයක , ශුභ නැකතක් සොයා ගත්හ. 

නියමිත සුබ දිනයට කලින් දා පන්සලේ දී තෙරුවන් සරණ පතා පරිත්‍රාණ දේශනාවකින්ද ආශිර්වාද ලත් දරුවාට ගණ දෙවියන්ගේ ද සරස්වතී දේවියගේ ද පිහිට සමඟ ග්‍රහ පූජාවක් ද පවත්වන ලද්දේ ය. නියමිත දින නැකත් වේලාවට නිවසින් පිටත්ව අයාලේ යන්නාක් මෙන් නන්නාඳුනන පළාතකට යන්නට යන ගමනකට හා සෙයිලමේ දී සිදුවන අත්දැකීම්වලට මුහුණ දිය යුතු අන්දම පිළිබඳව ද නාහිමියෝ දුන් ඔවදන් ගැටවරයාගේ සිතේ මනාව තැන්පත් විය. කොයි අතටත් මාවතේ ගමනේ දී සොර සතුරන්ගෙන් හා සතුන්ගෙන් ද බේරීම පිණිස ලී දණ්ඩක් අරගෙන යාමට ද නියම කෙරිණ. අන්තිමේ උන්වහන්සේ දරුවාට මඟ දී අවශ්‍ය වූ දෙයකට යොදවන්නට තමන් වෙත වූ එකල ව්‍යවහාර වූ තාරකා පහක් වූ කාසි කිහිපයක් ද අත තැබූහ 

හරියට පාරක් තොටක් ගැන නොදැන මහ මඟට වන් දොන් කරෝලිස් ගැටවරයාට එකල ඉංගී‍්‍රසි සුදු ජාතිකයන්ගේ පාලනය යටතේ පැවැති රටේ ප්‍රධාන නගරය වූ කොළඹ කොටුවට යාමට දින ගණනාවක්ම ගත විය. එකල කොළඹ කොටුව ප්‍රදේශය මේ රටේ වාසය කරන විවිධ වාර්ගික ජනවර්ගයන්ට මෙන්ම පිටරටින් නැව් මඟින් පැමිණි ජනයා ද ගැවසෙන ප්‍රදේශයක් වූයේය. එහෙයින් ම කොටුව ප්‍රදේශය ඔවුන් විවිධ දෛනික කාර්යයන් උදෙසා නිතර ගැවසෙන ජනාකීර්ණ ප්‍රදේශයක් ව පැවතියේය. එහෙයින් එම පෙදෙසට පැමිණ දෙවැනි දින උදයේම ආහාරය ද ගෙන එතෙක් දිගුව පැවති කෙස් වැටිය ද බැඳගෙන තමන් නිවසින් ගෙනවිත් තිබූ රෙදි කඩමාලු අතරින් පිරිසුදු සුදු සරමක් හා කබායක් ඇඳගෙන දොන් කරෝලිස් ගැටවරයා තමන් ඉගෙනගත් ශාස්ත්‍රය අනුව ‘අද දිනයේ මේ කාලසීමාව යහපත්’ ය යන නිගමනයෙන් යුතුව කොටුවේ කුඩා සාප්පු පේළියක් ඉදිරිපිට ගසක් යට සිටිමින් නමෝ විත්තියෙන්ම අත බලා ශාස්ත්‍ර කීමේ සත්කාරය ඇරඹූහ.

 “අත බලා ශාස්ත්‍ර කියනවා. මුලින් සිදු වූ දේ. වර්තමානයේ සිදුවන දේ, මතුවට සිදුවන්නට නියමිත දේ අතේ රේඛාවලින් දැන ගන්නට හැකියි” යනුවෙන් කියූ මේ පි‍්‍රයමනාප ගැටවරයාගේ හඬ අසා මුලින් ම එතැන නතර වී තම අත්ල පෑවේ මැදිවියේ වූ වැදගත් පෙනුමක් ඇති වැඩිහිටියෙකි. ඔහු සමඟ තවත් කිහිප දෙනෙකු ද වූයේ ය. 

 “මෙයින් බුලත් කොළයක් තෝරාගෙන දෙන්න.” ගැටවරයා වෙත තිබූ බුලත් කොළ කිහිපය පෑ පසුව ඉන් එකක් ගෙන දුන් වැඩිහිටියාට ‘ස්වස්ථි සිද්ධම්’ කියා අත මත එය තබා එය ද බලා අත්ලේ වූ රේඛා සුපරීක්ෂාකාරීව නැරඹූ ගැටවරයාට එම රේඛාවලට අනුරූපීව වැඩිහිටියාගේ අතීත සිද්ධීන් කිහිපයක්ම නිරාවරණය කර දැක්වීමේ අවස්ථාව සැලසිණ. ඒ කීමෙන් ම ඔහුගේ මෙන්ම අසල සිටි හිතවතුන්ගේ ද නෙත් උඩ ගිය බව පෙනිණ. ඔහු දැන් යෙදෙන කටයුතු ද, මතුවට කරන්නට  බලාපොරොත්තු වන දේ පිළිබඳව ද කියැවිණ. “යහපතක් ම වේවා”යි ගැටවරයාගෙන් කියවුණු ආශිර්වාදයෙන් එම අතබලා කී සාත්තරය නිම වෙද්දී ඉන් මහත් සේ සතුටට පත් වැඩිහිටියා කළේ තම කබා සාක්කුවෙන් කාසි කිහිපයක් ගෙන ගුරු පඬුරු වශයෙන් එම බුලත් කොළයේම තබා ගැටවරයා අත තැබීම ය. ඉන් පසුව ඔහුගේ හිතවත් දෙදෙනාට ද සාස්තර කීමටද, ඉන් අනතුරුව එතැනට රොක් වූ තවත් කිහිප දෙනෙකුටම අතබලා සාස්තර කීමට ඔහුට සිදු විය. වැඩේ හරි ය. මේ පි‍්‍රයමනාප ගැටවරයා දහවලට සුළු ආහාරයක් ගැනීමෙන් පසුව ද එම කටයුත්ත කිහිප දෙනෙක් වෙනුවෙන් කිරීමේ අවස්ථාව ද ඔහුට සැලසින. මෙසේ තම සාප්පුව ඉදිරිපිට පාරෙන් එහා වූ ගස යටට වී මේ ආගන්තුක තරුණයා කළ මෙම කටයුත්ත පිළිබඳව එහි ඉදිරියේ රෙදිපිළි සාප්පුවේ අයිතිකාර බායිගේ නෙතට ද මනා ලෙස දැක්විණ. තරුණයා සිය කටයුතු කෙළවර කිරීමෙන් පසු පි‍්‍රයමනාප හැඟීමෙන් තමන්ට මුහුණ දුන් මේ සාප්පු අයිතිකාරයා වෙත පැමිණියේය. 

 “පුංජි මාතියාට ඉෂ්ශෙල්ලාම දවසට ඔඳ බිශ්නෂ් එකක් කෙරුණා වගේ. බෝම ඔඳයි. බෝම ඔඳයි.” යනුවෙන් බායි ජාතිකයාගේ එම වදන්වලින් කියවුණේ ඔහුගේ සිංහලයන් සමඟ තිබෙන ඇසුරේ තරමද හෙළි කෙරෙමිනි. දොන් කරෝලිස් ගැටවරයා නමෝ විත්තියෙන් ම සබ දිනයක, සුබ වේලාවකින් මෙසේ ඇරඹූ තමන් ගමේ දී නාහිමියන්ගේ ලද ශාස්ත්‍රය අත්හදා බැලීම අකුරටම හරි ගියේය. එපමණක් ද නොවේ. එම තත්ත්වය බලාගෙන සිට තමන්ගේ කාර්යය ගැන ආදරයෙන් ආශිර්වාද කළ බායි ජාතිකයාගේ සුහදකම ලැබීම ද ඔහුට දීර්ඝකාලීන මිත්‍රභාවයකට ද මුල් වූයේ ය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.