උපතේ දී සඳුගේ පිහිටීම අනුව ගුරු මාරුව ඔබට බලපාන හැටි

මැයි 10, 2024

කුම්භ ලග්න ලංකා කේන්දරයේ 2,11 ධන භාවාධිපති ගුරු මහජනයා නිවේදනය කෙරෙන සිව්වැන්නට පසුගිය 1වැනිදා පැමිණීම යහපත්ය.

ගුරු සිව්වැන්න වූ වෘෂභ රැසෙහි සතුරු වුවද නිදහස් කේන්දරයේ 10 වැන්නේහි නීච භංග යෝගයක් උදා කළ සඳුගෙන් කේන්ද්‍ර භාවයක් වන 4 වැන්නට පැමිණ ගජකේශරී යෝගය උදා කිරීම රටටත් ජනතාවට සෙත සලසන ග්‍රහගෝචරයක් වන්නේය. ඒ අනුව රටේ කෘෂිකාර්මාන්තය, කිරි නිෂ්පාදනය සම්බන්ධ ව්‍යාපාර දියුණුවීමට, වෙනදාට වඩා එළවළු, පලතුරු, සුලභ වීමටත් ඒවයේ මිල ගණන අඩුවීමටත් කිරිපිටි සහ කිරිවලින් නිපදවන ආහාරවල මිල ගණන් අඩුවීමටත් හේතුවන අතර, රට තුළ සාමය, සමගිය වර්ධනය වී මහජනයා වෙනදාට වඩා ආගම දහමට නැඹුරු වන පිං දහම් කිරීමට යොමුවන කාලයක් වන්නේය.

ගුරු වෘෂභ රාශිගත වීම ලග්න 12ට බලපාන්නේ කෙසේද? යන්න පිළිබඳව කරුණු විමසා බලන කල දැනට ගුරු ග්‍රහයාගේ මහා දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇති උප්පත්තියේදී සඳු, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රැසක හෝ කන්‍යා, මකර යන රැසක පිහිටා ඇති එකී සඳු පිහිටි රාශියකින් කේන්ද්‍රයේ ත්‍රිකෝණ රැසක උප්පත්තියේදී ගුරු පාපී පීඩන නොවී ශුභ දෘෂ්ටි සංයෝගාදියෙන් බලවත්ව පිහිටා ඇති මේෂ, වෘෂභ ආදි ලග්න දොළහෙන් උපන් ජන්මීන්ට ගුරුගේ වාෂභ රාශි ගෝචරය බොහෝ ශුභඵල ගෙන දෙන අතර උප්පත්ති කේන්දරයේ එවන් ග්‍රහ පිහිටීමක් නැති දැනට ගුරු මහා දශාවක් හෝ අතුරු ලබා ඇති ජන්මීන් බ්‍රහස්පතින්දා දින කහ පැහැති වස්ත්‍රයකින් සැරසී ගුරු හෝරාවෙන් බුදුන්ට සහ සමන් දෙවියන්ට පහනක් තබා නැඟෙනහිර බලා ශුභ වැඩකටයුතුවල යෙදීමෙන් ඉෂ්ට සිද්ධීය ඇති වන්නේය.

එමෙන් උප්පත්ති කේන්දරයේ ලග්නයෙන් කේන්ද්‍ර ස්ථානයක ගුරු ග්‍රහයා උච්ච, මූල ත්‍රිකෝණ ආදි බලයෙකින් ගුරු හංස නම් පංච මහා පුරුෂ යෝගය උදාකර ඇති ජන්මීන්ට මෙකී ගුරුගේ වෘෂභ රාශි ගෝචරය ශුභ අශුභ මිශ්‍ර සමපලදායක කාලසීමාවක් වන්නේය. එමෙන්ම උප්පත්ති කේන්දරයේ ගුරු 5,9 ත්‍රිකෝණ භාවයක, උච්ච, මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර ආදි බලයකින් යුතුව ජයසිදු, රණහංස, භූමිපාල යෝගයක් උදා කර ඇති ජන්මීන්ට මෙකී ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශි ගෝචරයෙන් ලැබෙන්නේ සම ඵලයකි.

එමෙන් ගුරු ග්‍රහයා උප්පත්ති කේන්දරයේ ලග්නයෙන් හෝ චන්ද්‍ර ලග්නයෙන් හෝ මෙ දෙ තුනින්ම 3, 6, 8, 12 යන භාවයන් පාප පීඩිතව ඇති ජන්මීන්ට දැනට ගුරු ග්‍රහයා ගේ මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලබා ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති කේන්දර හිමියා එම ගුරුගේ සතුරු රාශි ගෝචරය දරුවන් පිළිබඳ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න, දරුඵල පිළිබඳ ප්‍රශ්න, දුසිරිතට යොමුවීම, ශාරීරික වශයෙන් හෘදයාබාධ, රුධිරයේ කොලෙස්ට්‍රෝල් වැඩිවීම, අක්මාව, පාදවල රෝග ඇති කරමින් ගුරුගේ අපලය ක්‍රියාත්මක කරන හෙයින් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මීන් එකී අපල තත්ත්වයන්ගෙන් මිදීම සඳහා බ්‍රහස්පතින්දා දිනයේ ගුරු හෝරාවක් සහ අනෙක් දිනවල මෙකී ගුරු හෝරාවෙන් ශුභ වැඩ කටයුතුවල යෙදීමෙන් වැළකී සිටිය යුතු අතර, ශාන්ති කර්ම වශයෙන් දාන, ශීල, භාවනා ආදි බොදු ක්‍රියාවල නියැළීම, පිරිත් නූල් පැලඳීම, බුදුගුණ යන්ත්‍රයක් පිරිත් කර පැලඳීම, රන් ආභරණයක් පැලඳීම යන ශාන්තිකර්ම කළ යුතු වන්නේය.

 

මේෂ ලග්නයට

මේෂ ලග්නයට 9 - 12 අධිපති යෝගකාරක ගුරු 2 වැන්න වූ වෘෂභ රාශියට පැමිණීම ශුභ වන්නේ මෙකී ගුරු උප්පත්ති සඳුගෙන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයකට වැටුණ හොත් පමණි. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති මේෂ ලග්න හිමියන්ගේ තැන්පත් ධනය වර්ධනය වීමටත් පවුලේ සාමය, සමගිය ඇතිවීමටත් පවුල් ජීවිතය සැපවත් වීමට හේතු වෙයි. එනමුත් යට විග්‍රහ කළ පරිදි මෙකී ගුරු, සඳුගෙන් අශුභ භාවයක වැටේ නම් (3,6,8,12) ධන හානි පවුල් ජීවිතයේ අඬදබර, ණය ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, රැකියා ප්‍රශ්න ඇති විය හැකිය.

 

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයට ගෝචරයෙන් ගුරු පැමිණීම ශුභ වන්නේ ලග්න යෙදී ගුරු දිග් බලය ලබන හෙයිනි. එහෙත් මෙකී ගුරුගෙන් උසස් ශුභ ඵලයක් ලැබීමට නම් ගුරු ජන්ම සඳුගෙත්, කේන්ද්‍ර හෝ ති‍්‍රකෝණ භාවයක පතිතව සිටිය යුතුය. ඉහත කී ලෙස උප්පත්ති සඳුගෙන් ගෝචර ගුරු ශුභභාවයක සිටියි නම් එවන් ග්‍රහ පිහිටීමක්ද වෘෂභ ලග්න හිමියාට රැකියා ව්‍යාපාර කටයුතු, අන්තිම කැමති පත්‍ර මඟින් ධනය ලැබීම නිසා ඔහු හෝ ඇය ගේ ජීවන තත්ත්වය උදාවන්නේය. ලග්නාධිපති සිකුරු උප්පත්තියේ බලවත් නම් ඒ ස්ථිර ලෙස ඔහුගෙන් ඇයගේ ජීවන තත්ත්වය උසස් වන්නේය. එනමුත් ගුරු ජන්ම සඳුගෙන් 3, 6, 8, 12 යන රාශිය ගතව වැටෙයි නම් රැකියා ව්‍යාපාර කටයුතු දුර්වල වීමත් අවකල් ක්‍රියාවට නැඹුරු වීම හේතු කොට ගෙන ආර්ථික වශයෙන් පිරිහීම නිසා ජීවන තත්ත්වය පහත වැටිය හැකිය.

 

මිථුන ලග්නයට

4- 7 අධිපති ගුරු දෘෂ්ට භාවයක් වන 12 වැන්නාට පැමිණීම අපහසුය. ඒ නමුත් මෙකී ගුරු ගෝචරය වන 12 වැන්න ජන්ම සඳුගෙන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයක් වේ නම්, විදේශ හෝ දුර පළාත්වල කරන රැකියා, ව්‍යාපාර කටයුතු සාර්ථක වීමටත් විවාහ සහකරු හෝ සහකාරිය සමඟ වෙනදාට වඩා යුග දිවියක් මානසික බැඳීමක්, කරුණාවක්, ආදරයක් ඇති වන අතර, විය හියදම් අඩු වන්නේය. එනමුත් මේ වෘෂභ රැසෙහි ගෝචරය වන ගුරු ජන්ම සඳුගෙන් 3,6,8,12 යන භාවය නම් රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ආදායම් අඩුවීමටත් සහකරු හෝ සහකාරිය සමඟ මතභේද ඇතිවීමට ඈත්වීමට හෝ වෙන්වීමටත් වියහියදම් වැඩිවීමටත් කරුණු යෙදෙන්නේය.

කටක ලග්නය

කටක ලග්නය කේන්දරයට අර්ධ යෝගකාරක ග්‍රහයා වන ගුරු 11 වැන්න වූ බාධක භාවයේ යෙදීම ශුභ නැත. සතුරු ප්‍රශ්න නිසා ධන හානි වීම භාග්‍ය හීන වීම වැඩිහිටියන්, පූජකයන් සමඟ මත භේද ඇතිවීමටත් හේතු වන අතර, මෙකී බාධක භාවයේ ගෝචරය වන ගුරු ජන්ම සඳුගෙන් 3,6,8,12 වේ නම් මෙකි අශුභඵල තීව්‍ර වන අතර, උප්පත්ති සඳුගෙන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණභාවයක් නම්, විදේශිකයින් ආගමික කටයුතුවලින්, පියාගෙන් ධන ලාභ ඇතිවීමටත් ඉගෙන ගන්නා වයසේ පසුවන කෙනෙක් නම් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් මෙකී ගුරු ගේ වෘෂභ රාශි ගෝචරය හේතු වන්නේ ය.

 

සිංහ ලග්නයට

සිංහ ලග්නයට 5 - 8 අධිපති වන ගුරු 10 වැන්නවූ වෘෂභ රාශියේ ගෝචරය ශුභ වන්නේ ගුරු ග්‍රහයා ගෝචරය වන 10 වැන්නෙන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයක වැටුණ හොත් පමණි. එසේ වූ විට රැකියා ව්‍යාපාර කටයුතු දියුණුවීමටත් ආදායම් වැඩිවීමටත් කටයුතු යෙදෙන අතර තැන්පත් මුදල ඉහළ යෑමටත් හේතුවන නමුත්, සිංහල ලග්න කේන්ද්‍ර හිමියාගේ 10 වැන්නේ ගෝචරය වන මෙකී ගුරු උප්පත්ති සඳුගෙන්ද 8,12 යන භාවයකට වැටේ නම් රැකියා, ව්‍යාපාර, කටයුතුවලින් හානි පාඩු සිදුවන අතර, අන්‍යයන්ට ණය වීමට සිදුවන අතර ශාරීරික වශයෙන් හෘද රෝග, අක්මාවේ රෝග, දියවැඩියා වැනි රෝග තත්වයන් ඇති විය හැකිය.

 

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයට 4 -7 බාධක ස්ථානාධිපති වන ගුරු ගෝචරයෙන් ගුරුට ශුභ භාවයක් වන 9 වැන්න වූ වෘෂභ රැසෙහි ගෝචරය ශුභ වන්නේ ජන්ම සඳුගෙන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයකට වැටුණහොත් පමණි. එසේ වූ විට නිවාස සම්බන්ධ කටයුතු විමසා කටයුතු හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක වන අතර එකී කටයුතුවලිත් අපේක්ෂාකළාටත් වඩා ශුභඵල ලැබෙන්නේය. එසේම උප්පත්ති කේන්දර සටහනේ සඳු ලග්නයේ හෝ 5 වැන්නේ පිහිටා ඇති ගර්භණී මාතාවට පින්වත් රුවැති ගැහැනු දරුවන් ලැබෙන්නේය. මෙකී 9 වැන්නෙහි ගෝචරයට ගුරුගෙන් 3,6,8,12 යන රැසක උප්පත්ති සඳු සිටියි නම් එවැනි ග්‍රහ බලයක් ඇති කන්‍යා ලග්න ජන්මින්ගේ නිවාස සම්බන්ධ කටයුතු, විවාහ සම්බන්ධ සහ හවුල් ව්‍යාපාර සම්බන්ධ කටයුතු අසාර්ථක වන අතර, කාන්තාවන්ට ගබ්සා වීමේ අවදානම පවතී.

 

තුලා ලග්නයට

තුලා ලග්නයට 3 - 6 අධිපති ගුරු 8 වැන්න වූ වෘෂභ රැසට යෑම ශුභ නැත. ශාරීරික වශයෙන් රෝගාබාධ ඇති වන හෙයිනි. ඒ අනුව උප්පත්තියේ සඳු, මකර, කුම්භ, මීන, කටක යන රැසක පිහිටා ඇති ජන්මීන්ට ජන්ම ඒරාෂ්ටක හෝ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලයක් ලබා ඇති හෙයින් විශේයෙන් හෘද රෝග වැලඳීමේ දැඩි අවදානම් පවතින්නේය. ඒ හැර එකී ග්‍රහ පිහිටීම් ණය ප්‍රශ්න, සතුරු ප්‍රශ්න, බාල සහෝදර, සහෝදරියන්ට අපල විපත් ඇතිවීම ආදි ප්‍රශ්න ඇති කරන්නේය. මෙකී සඳු, වෘශ්චික, කන්‍යා රැසක උප්පත්තියේදී පිහිටා ඇති ජන්මීන්ගේ රැකියා කටයුතු වෙනදාට වඩා සාර්ථක වීමටත් පඩි නඩි වැඩි වීමටත් හේතු වන අතර සඳු තුලාවේ පිහිටි ජන්මීන්ට 6 අධිපති ගුරු 8 වැන්නේ යෙදීමෙන් හර්ෂ යෝගය ගෝචරයෙන් යෙදීම නිසා උප්පත්ති කේන්දරයේ හර්ෂ යෝග යෙදි ඇති ජන්මීන්ට නඩුහබ සතුරු ප්‍රශ්නවලින් ජය ලැබෙන්නේය.

 

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් ජන්ම ලාභය ලබා ඇති ජන්මීන්ට 2 -5 අධිපති ගුරු 7 වැන්නට යෑමෙන් ශුභ ඵල ලැබෙන්නේ මෙකී ගෝචර ගුරු උප්පත්ති සඳුගෙන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයකට වැටුණහොත් පමණි. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට හවුල් ව්‍යාපාරවලින් ධනය ලැබෙන අතර, තරුණ වයසේ පසුවන වෘශ්චික ලග්න යෞවන යෞවනියන්ට ධනවත් තරුණයකු හෝ තරුණියක සමඟ පේ‍්‍රම සම්බන්ධතාවයක් ඇතිවීමට කටයුතු යෙදෙන්නේය. මෙකී ගෝචර ගුරු ජන්ම සඳුගෙන් 3,6,8,12 යන භාවයක වැටේ නම් හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවන අතර ප්‍රසිද්ධ සතුරන් නිසා ධන හානි ඇති විය හැකිය.

 

ධනු ලග්නය

ධනු ලග්න ජන්මින්ගේ ලග්නාධිපති සහ සිව්වැන්නාධිපති වන ගුරු රෝග ස්ථානය වන 6 වැන්නට පැමිණීම ශුභ නැත. මේ පිහිටීම වඩාත් අශුභ වන්නේ මෙකී ගෝචර ගුරු ජන්ම සඳුගෙන් 3,6,8,12 යන භාවයකට වැටුණහොත්ය. ඒ අනුව එවැනි ග්‍රහ පිහිටීමක් ඇති ධනු ලග්න ජන්මීන්ට ශාරීරික වශයෙන් පපුව ආශි‍්‍රත රෝග සෙම් රෝග, අජීර්ණ රෝග ඇති විය හැකිය. ඇතැම් ධනු ලග්න කේන්දර හිමියන්ට සතුරු ප්‍රශ්න නිසා ධන හානි හිරිහැර කරදර ඇති වන්නේය. එහෙත් මෙකී ධනු රාශිගත ගුරු උප්පත්ති සඳුගෙන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයකට වැටේනම් කලක් පීඩා වින්ද රෝගවලින් සුවයක්, අන්තිම කැමැති පත්‍රවලින් ධනය හිමිවීමටත් රැකිරක්ෂා කටයුතු දියුණුවීමටත් රැකියා, ව්‍යාපාරවලින් ලැබෙන ආදායම් වැඩි වීමටත් මෙකී ගුරුගේ වෘෂභ රාශි ගෝචරය හේතු වන්නේය.

 

මකර ලග්නය

මකර ලග්න කේන්දරයට 3 - 12 අධිපති වන ගුරු සිව්වැන්නට පැමිණීම එතරම් ශුභ නැත. මෙකී ගෝචරය වඩා අශුභ වන්නේ උප්පත්ති සඳුගෙන් ද 3, 6, 8, 12 යන භාවයකට ගෝචර ගුරු වැටේනම් පමණි. එවන් ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට ස්ථානය සම්බන්ධ ප්‍රශ්න එනම් නිවාස, ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න, මවගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරීමටත්, බාල සහෝදර, සහෝදරියන් සමඟ මතභේද ගැටුම් ඇතිවීම වැනි ප්‍රශ්නය ඇති වන්නේය. එනමුත් මෙකී සිව්වැන්න වූ වෘෂභ රාශියේ ගෝචරය වන ගුරු ජන්ම සඳුගෙන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයකට වැටේ නම්, නිවසේ සාමය, සමගිය වර්ධනය වීම, මව වෙනදාට වඩා සෞඛ්‍ය සම්පන්න නීරෝගි සුවයෙන් පසුවීම, රැකියා ව්‍යාපාර කටයුතු වෙනදාට වඩා සාර්ථකවීම ඒවායෙන් ලැබෙන ආදායම් වැඩිවීම වැනි ශුභඵල ලැබෙන්නේය.

 

කුම්භ ලග්නය

කුම්භයට 2 -11 ධනස්ථානාධිපති ගුරු 4 වැන්නවූ වෘෂභ රාශි ගත වීමෙන් ශුභ ඵල ලැබෙන්නේ උප්පත්ති සඳු, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර යන රැසක පිහිටි කුම්භ ලග්න හිමියන්ට පමණි. එවන් ග්‍රහ පිහිටීමක් ඇති කුම්භ ලග්න හිමියන්ට කෘෂිකර්මාන්තයෙන් කිරි පිණිස දෙනුන් ඇති කරන ව්‍යාපාරවලින් , නිවාස ගොඩනැඟිලි සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලබන්නේය. මීට ප්‍රතිවිරුද්ධ ලෙස එනම් මෙකී ගෝචර ගුරු ජන්ම සඳුගෙන් 3, 6, 8, 12 යන රැසක පතිතව ඇත්නම්, යට විග්‍රහ කළ සිව්වැන්නට සම්බන්ධ ව්‍යාපාර කටයුතුවලින් පාඩු ලැබෙන අතර මවගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමට ඉඩ ඇත.

 

මීන ලග්නය

මීන ලග්න හිමියාගේ ලග්නාධිපති වන ගුරු 3 වැන්න වූ වෘෂභ රාශි ගතව සතුරුවීම, මීන ලග්න හිමියන්ට එතරම් ශුභ ඵල දෙන කරුනු නොවන්නේ. ගුරු 3වැන්නේ දී සතුරුවීම පමණක් නොව මළ හෙවත් මැරුණූ ග්‍රහයෙක් බවට පත්ව දුර්වල වන නිසාය. නමුත් උප්පත්ති කේන්දරයේ මෙකී ගුරු ගුරුහංස නම් පංච මහා පුරුෂ යෝගයකට (මීන, ධනු, යන කේන්ද්‍ර භාවයක ගුරු යෙදුණු විට මීන ලග්න කේන්දර හිමියාට ගුරු හංස යෝග යෙදේ) හෝ ගුරු 8 වැන්න වූ කටක රැසෙහි තැන්පත්ව උච්චය ජය සිඳු නම් යෝගය යෙදී ඇත්නම් එවන් ග්‍රහ පිහිටීම් උප්පත්තියේදී යෙදී ඇති මීන ලග්න හිමියන්ට මෙකී ගුරු වෘෂභ රාශි ගෝචරය දැඩි අශුභ ඵල උදා නොකරන අතර සමඵලයක් උදා කෙරෙන්නේය. ඒ අනුව මෙකී වෘෂභ රාශියේ ගෝචරය වන ගුරු ජන්ම සඳුගෙන් 6, 8, 12 යන භාවයකට වැටේ නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති මීන ලග්න හිමියන්ට ශරීර සෞඛ්‍ය පිළිබඳව ගැටලු මානසික සෞඛ්‍ය දුර්වල වීම සහෝදර සහෝදරියන් සමඟ මත භේද, ලිපි ලේඛන සම්බන්ධ ප්‍රශ්න, ශ්‍රවණ ආබාධ, කෙටි ගමන්වලදී, කරදර පාඩු සිදුවීම, වැනි අපල තත්ත්වයන් ඇති කරන්නේය. සඳු කන්‍යා, ධනු, යන රාශිවල උප්පත්තියේදී පිහිටා මීන ලග්න හිමියන් ලැබෙන්නේ ශුභ අශුභ මිශ්‍ර පලයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.