යහගුණ මෙන්ම දුර්ගුණ කියන බුධ මණ්ඩලය

මැයි 10, 2024

කෙනකුගේ මානසික ශක්තිය, බුද්ධිය, ස්ථානොචිත ප්‍රඥාව,වාග් චාතුර්ය, ව්‍යාපාරික හැකියාව වැනි යහගුණ මෙන්ම කපටිකම, වංචාව, බොරුව, ආදි දුර්ගුණ ද පෙන්නුම් කරන්නෙ බුධ මණ්ඩලයෙනි. සුළැඟිල්ල පාමුල සිට හෘද රේඛාව දක්වා කොටස බුධ මණ්ඩලයට අයත් වේ.මනා සේ වැඩුණු මණ්ඩලය මැදම මණ්ඩලයේ මධ්‍ය ලක්ෂ්‍ය පිහිටා බුධ ඇඟිල්ල ද සෘජුව මනා සේ වැඩි ඇත්නම් බුධ මණ්ඩලය බලවත්ය.

මොවුන්ට මිනිසුන් හඳුනා ගැනීමේ ශක්තිය ඇත. ධනය ඉතාමත් සාධාරණව වංචා සහගත නොවී උපයයි. දර්ශනය ගණිතය විද්‍යාව පිළිබඳ දක්ෂ වේ. කායික මෙන්ම මානසික අංශයෙන්ද වඩාත් ක්‍රියාකාරි වේ. සහජ දක්ෂතාවයන්ගෙන් පොහොසත්ය. තමාගේ අවසන් ඉලක්කයක් ජය ගැනීම සඳහා ඕනෑම කාර්යයක් නිසි අයුරින් සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරිමට දක්ෂතාවයක් ඇති පුද්ගලයන්ය.

තවද බුධ මණ්ඩලය යහපත් නම් ක්‍රිඩාවලදි තම ප්‍රතිවාදියාගේ දුර්වලතා හොඳින් හඳුනා ගෙන ඒවා තම වාසියට හරවා ගැනීමේ දක්ෂතාවයද ඇත. හොඳ කථිකයකි. එම නිසා වාදවලින් ජයගත හැකිය. ගුප්ත ශාස්ත්‍ර කෙරෙහි ද සුරතල් සතුන් ආදිය කෙරෙහිද ඇලුම් කරයි. එසේම තමාගේ පවුල් ජීවිතයට මෙන්ම දරුවන්ට බොහෝ ආදරය කරන්නන් වේ. සෑම දෙයක්ම ව්‍යාපාරික ඇසකින් මේ පුද්ගලයන් බලනු ඇත. විද්‍යාත්මක ඉගැන්වීම්වලට කැමැති වේ. අධ්‍යපනයෙන් ඉහළට යෑමේ ආශාව තිබේ. එමෙන්ම අන් අයගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනිමටත් දක්ෂ පුද්ගලයන් වේ.

එසේම බුධ මණ්ඩලය යහපත් වූවන් බුද්ධිමත් කාර්යශූර කථිකත්වයෙන් හෙබි ව්‍යාපාරික දක්ෂතා ඇති පුද්ගලයන් හෙයින් නීති, වෛද්‍ය, කථික, සංචාරක, පර්යේෂණ ක්ෂේත්‍රවල සහ ව්‍යාපාරික රැකියාවලට සුදුසුය. මණ්ඩලයේ මධ්‍ය ලක්ෂ්‍යය රවි මණ්ඩලයට ආසන්න නම් කලාත්මක කටයුතු ඇසුරින් ව්‍යාපාර පවත්වාගෙන යා හැකිය. විවාහ ජීවිතය වසනාවන්තය. සතුටුදායක විවාහයක් ගත කරන අතර ඔහුගේ සහකාරිය ඇසුරු කරන මිතුරන්ගෙන්ම සොයා ගනී. බිරිඳ ලස්සනට ඇඳ පැලද ආදරෙන් සිටිනවාට වඩාත් කැමතිය. පවුලේ සියලු අවශ්‍යතා සඳහා යහමින් මුදල් වියදම් කරයි. බුධ මණ්ඩලය ප්‍රබල බිරිඳ ගෘහ ජීවිතයට මෙන්ම බාහිර සමාජ ජීවිතයටද එකසේ කැමැත්තක් දක්වන බැවින් සමාජයට මෙන්ම ගෙදරටද අඩුපාඩුවක් සිදුනොවන අකාරයට සැලසුම් සහගතව කටයුතු කිරිමට දක්ෂය. නමුත් බුධ මණ්ඩලය ප්‍රබල කාන්තාවකගේ රවි මණ්ඩලය දෙස බුධ මණ්ඩලය ඇලවි පිහිටියහොත් ඇගේ සැමියා දුෂ්ට නපුරු ක්‍රියාවෙන් යුත් අයෙක් වෙයි. සමහර විට ඇයද වැන්දඹුවක් විය හැකිය. එම නිසා විවාහයේදි අවධානයෙන් කටයුතු කළ යුතුය.

අති ප්‍රබල බුධ මණ්ඩලයක් ඇති පුද්ගලයෙකු අනුන් රැවටීමේ දක්ෂයෙකි. සමාජ විරෝධි වැඩ කරමින් අනුන්ට විපත් කරමින් සතුටු වන්නේ මොවුන්ය. කෙනකු සමග කෙළින් මුහුණලා කථා නොකරන දුෂ්ඨ මානසික ස්වභාවයෙන් යුත් පුද්ගලයෙකු බිහි කරයි. කපටි සූදු අන්තුවකු වීමට පුළුවන. බුධ මණ්ඩලය දුබල පුද්ගලයන් අතර බැංකු මංකොල්ලකරුවන් හොරුන් සහ සමාජ අපරාධකරුවන් සිටිය හැකිය. මණ්ඩලයේ මධ්‍ය ලක්ෂ්‍යය ඇඟිල්ලේ මුලට ආසන්න නම් කථාවට මෙන්ම කවට කමට දක්ෂයෙක් වෙයි. එසේම කථිකත්වයේ දුර්වලතා පෙන්නුම් කරයි. අනෙකුත් පුද්ගලයන් තේරුම් ගැනීමට හැකියාවක් නොමැත.

තරුවක් බුධ මණ්ඩලය පිහිටීයේ නම් එය යහපත් අත්ලක් නම් යහපත් ලක්ෂණයකි එවිට කථීකත්වයෙන් වෛද්‍ය ඉංජිනේරු වැනි ව්‍යාපාරවලින් නොසිතු දියුණුවක් ලබා ගත හැකිය. එහෙත් තරුව පිහිටියේ මණ්ඩලය දුබල අත්ලක නම් වැරදි ආකාරයට මුදල් ඉපයිමට යාමෙන් විනාශයට පත් වේ. තවද තරුවට සම්බන්ධ වන ආකාරයේ දුපතක් පිහිටියේ නම් මාරාන්තික සිදුවීමක් උඩ කම්පනයට පත්වේ. මණ්ඩලය මත පිහිටියේ කතිර ලකුණක් එය ප්‍රබල මණ්ඩලයක් නම් සම්මාන ලැබිමට තරම් කථිකත්වයක් සහිත පුද්ගලයෙක් වේ. දුබල මණ්ඩලයක නම් අපකීර්තිය ලබාදෙන පිහිටිමක් වන අතර කයිරාටික දෙපිටකාට්ටු වැඩ කරන පුද්ගලයකු බිහිවේ. අති ප්‍රබල මණ්ඩලයක නම් සූදුකාරයෙක් බවට පත්වේ. තිත හෝ ලප බුධ මණ්ඩයට අයහපත් පිහිටිමකි. හදිසි අනතුරු රෝගාබාධවලට ගොදුරු වීම පෙන්වන සලකුණකි. ව්‍යාපාරවල විශාල කඩා වැටිමක් ඇතිවන බව පෙන්වන ඉඟියකි. සමාජයේ පහළම තලයට වැටෙන බව කියන අනාවැකියකි. දැල තිත සහ ලප සේම බුධ මණ්ඩලයට අශුභ ලකුණකි. යම් අපරාධයක් තමා විසින් සිදුකර සිය දිවි හානි කර ගැනීමේ ප්‍රවණතාවයක් පෙන්වයි. කවයක් බුධ මණ්ඩලය මත ඇත්නම් මුදල් විනාශ වීමේ ලක්ෂණයකි නමුත් දෛව්‍ය රේඛාව ප්‍රබලනම් මේ තත්ත්වය අඩුවේ. රිය අනතුරු වස විසවලින් අනතුරු හේතුවෙන් මරණය සිදුවිය හැකිය. ගැටයක් ඇත්නම් අපරික්ෂාකාරී ගතිය නිසා රිය අනතුරු සිදුවිය හැකිය. වංක ගති සහිත පුද්ගලයෙකි. අපරාධ සිදුකර සිය දිවි හානි කර ගැනීම මොවුන් බොහො දුරට සිදු කරගනී.

තවද බුධ මණ්ඩලය මත සිරස් රේඛාවක් මණ්ඩලයේ ගුණ තවත් වැඩි වේ. බලාපොරොත්තු නොවු ධනයක් සහ වාසනාවක් උදාවේ. සිරස් රේඛා කිහිපයක් නම් වෛද්‍ය, ඉංජීනේරු වැනි උසස් රැකියාවක් කරන්නකු හෝ රැකියාවක් ලැබිමට නියමිත පුද්ගලයෙකි. අත් හිමියා කාන්තාවක නම් සාත්තු සේවිකාවක විය හැකිය. නැතිනම් ස්වාමියා වෛද්‍යවරයෙකි. එහෙත් සිරස් රේඛා රැසක් පැහැදිලි දිග අපැහැදිලි කොට වශයෙන් ඇතිනම් ධනවත් වීමට නොහැකිය.අන් අය පමණට වඩා විශ්වාස කර මුදල් වියදම් කිරිම නිසා වංචාකාරයන්ට රැවටී ව්‍යාපාර කටයුතු අඩපණ කරගනී.

ත්‍රිකෝණය බුධ මණ්ඩලයට යහපත් පිහිටිමකි. අත්ල හිමියා ව්‍යාපාරවලින් ඉහළටම යන අතර චතුර කථිකත්වය මෙයට පාදක කර ගනී. බුධ සහ ගුරු මණ්ඩල යහපත් ලෙස පිහිටා ඇත්නම් ගුරු මණ්ඩලයේ දැඩි අධිෂ්ඨාන ශක්තිය සහ නායකයෙකු වීමේ හැකියාව නිසා පසුබාන සුලුබව නැතිවී අභිලාශයන් ඉටුකර ගැනිමට අවශ්‍ය උද්යෝගය වර්ධනය වේ. කපටි බව අඩුවේ. යහපත් සම්බන්ධයක් බැවින් වේගයෙන් ව්‍යාපාර සාර්ථකත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබේ.

බුධ සහ ශනි මණ්ඩල යහපත්ව පිහිටා ඇත්නම් ශනිගේ බලපෑමෙන් බුධගේ සට කපටිකම් වර්ධනය වේ. මේ නිසා අනුන් රවටන ආකාරයේ ව්‍යාපාර කිරිමට පටන් ගනී. මොවුන් සමග කටයුතු කිරිමේ දී බොහෝ ප්‍රවේශම් විය යුතුය. සත්‍යවාදි නොවේ. ශනි මුදුව තිබේ නම් වංචා සහගත වැඩ හේතුවෙන් සිරගත විය හැකිය. එහෙත් බුධ සහ රවි මණ්ඩල යහපත් නම් කවර අංශයකින් හෝ උසස් තත්වයකට පත්වේ. ප්‍රසිද්ධ විද්‍යාඥායන් නව නිර්මාණ ලේඛකයන් සහ දක්ෂ රජයේ උසස් නිලධාරීන් බුධ සහ රවි මණ්ඩල ප්‍රබල පුද්ගලයන්ය.

බුධ සහ චන්ද්‍ර මණ්ඩල යහපත්ව පිහිටීම පුද්ගලයාට ඉතාමත් සුබ දායක ලක්ෂණයකි. චන්ද්‍ර මණ්ඩලයේ සංචාරක හැකියාව ප්‍රයෝජනයට ගනිමින් වෛද්‍ය, වාණිජ, ලේඛක, කවර වෘත්තියක යෙදි සිටින්නකු වුවද ස්ව ශක්තියෙන් ම දියුණුවට පත් වනු ඇත. අනුන්ගේ සිත් දිනාගනිමින් අලංකාර සිත් ගන්නාසුලු කාන්තාවන් ආශ්‍රය කරන පුද්ගලයෙකු බුධ සිකුරු මණ්ඩල යහපත් විමෙන් බිහි වේ. මොවුන් විශේෂයෙන් විසිතුරු භාණ්ඩ ඇඳුම් පැලඳුම් මුතු මැණික් ආදි දේ නිෂ්පාදනය සහ විකිණිම වැනි ව්‍යාපාරයවල නියළෙයි. ආත්ම විශ්වාසය තුළින් බුධගේ අවදානම් ව්‍යාපාර සාර්ථකත්වයට පත්වන පිහිටීමක් ලෙස බුධ කුජ මණ්ඩල යහපත් වීම සැලකිය හැකිය.

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.