රෝගී ළිය ‘සුර ළියක්’ කළ කොණ්ඩදෙණියේ හිමි

පෙබරවාරි 7, 2024

සැමදා හිමිදිරි පාන්දර අවදිව කොණ්ඩදෙණිය පන්සලේ බෝමළුව ඇමදීම් කොට පවිත්‍ර කිරීම කොණ්ඩදෙණිය හිමියන්ගේ පුරුද්දකි. ආවතේවකම් කිරීමට සහායකයන් කෙතරම් සිටියත් එය තම අතින්ම සිදුකිරීමට හාමුදුරුවන් වගබලා ගත්හ. ඊළගට දේව මන්දිරය ඇමදීම් කටයුතු, පහන් දැල්වීම්, දේව ප්‍රතිමා පවිත්‍ර කිරීම් කටයුතු පූජා උපකරණ නිසි ලෙස තැන්පත් කිරීම් කටයුතු සිදුකළේ ද උන්වහන්සේ විසින්මය.

බුදුපහන දැල්වීමෙන් පසුව දේව මන්දරය තුළ සියලු පහන් දල්වනු ලබයි. එහෙත් එදින හිමියන් දේවමන්දිරය තුළට පිවිස දල්වනු ලැබූ පහන්වැටිවල ආලෝකයට වඩා වැඩි දෙගුණ තෙගුණ වන ආලෝක කදම්භයක් උන්වහන්සේට දැක ගත හැකි විය. කාලිමෑණියන්ගේ දේව ප්‍රතිමාව සැලෙන්නට විය.

මේ නම් කාලිමෑණියන්ගේ නියෝගයක්ම විය යුතු බව හාමුදුරුවන් දැන සිටියහ. ඉතා බැරෑරුම් වැදගත් මෙහෙයක් ඉටුකරළීමට කාලි මෑණියන් දෙන නියෝගයක සංඥාවකි මෙය.

බණ්ඩා හිමිදිරියේම පිළියෙළ කරදුන් හීල්දානය වළඳා උන්වහන්සේ ලක ලෑස්ති වූහ. මන්තර පොත්පත්, සුවඳදුම්, හඳුන්කූරු, කපුරු, කට්ටකුමන්ජල් මල් මාලා, ගිලන්පස සහ පූජාවකට අවැසි දෑ වහ වහා සකස් කරගන්නට වූහ. අතවැසි බණ්ඩාද ඊට උදවු විය.

දේව මන්දිරය සිසාරා මහත් ආලෝකයක් පැතිර යන්නට විය. ගතවූයේ නිමේෂයකි. සුවිසල් කාර් රථයකින් දම්පිය යුවළක්ද, තරුණ දියණියක්ද කොණ්ඩදෙණිය පන්සලට පිවිස තිබුණි.

හිමියන්ගේ පාද නමස්කාර කළ ඔවුන් විසින් තමන් දුර බැහැර සිට සැපැමිණි කාරණය හෙළිදරව් කෙරිණි.

“අනේ මගේ එකම දියණියට පිහිටක් වන්න” ඔබ වහන්සේට බුදු බව අත්වෙයි”

“හොඳයි ආපු කාරණාව කීවානම්”

“දැන් මේ අපේ දුවට අවුරුදු 30ත් පැනලා...

අපට වත්පොහොසත්කම් එමට තිබුණත් හොඳ තැනකින් දුවට ආවාහ විවාහයක් කර දෙන්ට බැරි වුණා නොවැ. දියණියගේ දෙතොලේ සිට මුළු ඇඟ පුරා තැනින් තැන සුදු කබර හැදිලා නොවැ. ලංකාවේ සැමතැනම ගිහින් කොයිතරම් බෙහෙත් කළාද ඒ එකකින් වත් හරිගියේ නැහැනෙ හාමුදුරුවනේ.... අපි ලංකාවේ හැමතැනම ගිහින් ලොකු, ලොකු දොස්තර මහත්වරුන්ගෙන් බෙහෙත් ගත්තා... ඒත් මේ ලෙඩේ සුවකරගන්න බැරිවුණා නොවැ.... බටහිර වෙදැදුරන් මෙන්ම ආයුර්වේද වෙද මහතුන්ගෙනුත් මොනතරම් බෙහෙත් ගත්තද? කසාය නම් කීයක් බොන්නට ඇතිද? ඒ කිසිවකින්වත් නිට්ටාවට සුවයක් ලැබුවේ නැහැනෙ හාමුදුරුවනේ...අනේ මගේ රත්රන් දුවට පිහිට වෙන්න හාමුදුරුවනේ”

“හොඳයි උන්නැහෙලා කොහේ ඉදන්ද මේ කොණ්ඩදෙණියට ආවේ”

“අපි දකුණේ මාතර ඉඳලයි ආවේ හාමුදුරුවනේ”

“ඔක්කොටම ඉස්සෙල්ලා මොනවහරි උදේට කාල සප්පායම් වෙලා එන්නකෝ”

බණ්ඩා ලව්වා කැකුළු හාලින් කිරිබතක් පිස තේපැන් ද වත්කර උදේ ආහාර සම්පාදනය කිරීමට උන්වහන්සේ වග බලා ගත්හ.

“ඔය කාණ්ඩෙ මුලින්ම බුදුමැදුරට ගිහින් වන්දනාමාන කරල එන්නකෝ... තමන් පැමිණි අරමුණු ඉෂ්ඨ සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරන්න”

 

ඉන් අනතුරුව පැමිණි වැඩිහිටි දෙමහල්ලන්ද එම දියණියද දේව මන්දිරය වෙත කැඳවා දේව මන්දිරයේ සූනියම් දෙවියන්ට කන්නලව් කර මේ යුවතියට වැලඳී ඇති රෝගය සුවපත් කරවන්ට හිමියන් මන්ත්‍ර මැතිරීම් අරඹන ලදී. සූනියම් දෙවියන්ගේ ප්‍රතිමාවේ දෙනෙත් දෙස එකඑල්ලේ බලා සිටින ලෙස එම දියණිය උපදෙස් ලැබුණි. කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ කටහඬ ගැඹුරු හා වේගවත් විය. මන්ත්‍රය ජපකිරීමද ඉතා ඉහළ හඬින්ම සිදු විය.

අවසානයේදී සියලු දුක්ඛ දෝමනස්සයන් බැහැර කොට මැයට වින කරන, යක්ෂ, භූත, පේ‍්‍රත, පිසාච, කුම්භාණ්ඩ ආදී සියලු දෙනා පලවාහැර සකල රෝගාබාධ දුරුකරවා ආයු රක්ෂා කොට මේ තැනැත්තියට වැලඳී ඇති සියලු සර්වාංග රෝග දුරු කරවා දෙන්නට ඇයද සිටින ලදී.

එවිට මෙතෙක් වේලා සූනියම් ප්‍රතිමාව පාමුල රැඳී සිටි සුදු නාගයා දේවමන්දිරයේ සිට ගල්පර්වතය දෙසට හෙමින් සීරුවේ ඇදී යන්නට විය. කාලිමෑණියන්ගේ අවතාරයක් ලෙස සලකන තඩි කළු බළලාද හිමියන්ගේ පාමුල දැවටෙමින් සිටියේය.

මන්ත්‍ර සියල්ල ජප කිරීමෙන් පසුව තුන්පොට යෙදූ නූල දියණියගේ කරේ පලඳවන ලදී.

“දින කිහිපයකින්ම මෙහි ප්‍රතිඵලය බලාගත හැකිවේවි....සුදුකබර හැදිල තියෙන්නේ මේ දියණිය කළ පූර්ව ආත්ම අකුසල කර්ම නිසයි...කාරි නැහැ එම අකුසල කර්මවල වස් දොස් සූනියන් දෙවියන් විසින් අයින් කරල දායි.... දැන් ඉතින් සුරළියක් වගේ ලස්සන වේවි...ඔන්න මගේ වැඩේ අහවරයි... මගේ ගුරුකමක් වැරදිලා නැහැ”

වැඩිහිටි දෙපළ ධන පරිත්‍යාගයක් කිරීමට කැමැති වුවද එය ප්‍රතික්ෂේප කළ හාමුදුරුවන් කීවේ.

“මේක මට ලැබුණු දේව නියෝගයක් එය ඉටුකරලීමයි මා කළේ... ඒ නිසා මුදල් හදල් මට අවශ්‍ය නැහැ....ප්‍රතිඵලය මට දන්නවන්නකෝ”

“ප්‍රීතියෙන් ඔද වැඩුණු මාපිය යුවළත්, තරුණ දියණියත් හිමියන් පාද නමස්කාර කොට මාතර බලා පිටත් වූහ.

හරියටම මාසයකට පසු මේ පිරිස මාතර සිය නිවහනේ සිට කොණ්ඩදෙණිය පන්සලට පැමිණ හිමියන් මුණගැසුණේ හදපිරි සතුටිනි.

වැඩිහිටි දෙමාපියන් සමඟ සැපැමිණි එම දියණිය මිහිබට දිව්‍යාංගණාවක් බඳුවිය. ඇය ඒ තරම් ලස්සන යුවතියක් බවට පත්වී තිබුණි. ඔවුන්ගේ පැතුම්ද ඉෂ්ට සිද්ධ විය. දියණියට මංගල යෝජනා රැසක්ද පැමිණ තිබුණි.

“අපට නම් හිතාගන්නවත් බැහැ හාමුදුරුවනේ... දැන් දුවගේ සුදුකබර රෝගය මුළුමනින්ම සුවපත් වෙලා...ඔබ වහන්සේට අපි මුළු ජීවිත කාලයටම ණය ගැතියි”

*****

කොණ්ඩදෙණිය සීලරතන හිමියන්ගේ මෙවැනි සත්‍ය තොරතුරු දැන ගැණීමේ අටියෙන් මම කොණ්ඩදෙණිය විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවීමට කොළඹ සිට කොණ්ඩදෙණියට යාමට සූදානම් වීමි. මෙම තොරතුරු දැනගත් මගේ මවගේ බාල සොහොයුරකු වන ඩී.එච්. නානායක්කාර මහතා සහ එතුමාගේ බිරිඳ (මාමා සහ නැන්දා) මේ ගමනට මා සමඟ යාමට එක්විය.

වසර ගණනාවක් තිස්සේ විටින් විට ඔවුන් පදිංචි කැලණිය නිවසේ විවිධ ගුරුකම්, බලි තොවිල් සිදු කළ බව මට යම්තම් මතකයේ රැඳී තිබුණි. ඒත් ඒ කවර හේතුවකටදැයි මම නොදැන සිටියෙමි.

කොළඹ සිට කොණ්ඩදෙණිය බලා යාමේදී නැන්දණියට සිදුවී ඇත්තේ කුමක් දැයි විමසීමි. නැන්දා රාත්‍රී තද නින්දෙන් බිය වී එකවර නැඟිට මරහඬ නඟන බවත්, එයට හේතුව නින්දේදී රෞද්‍ර මිනිසුන් කිහිප දෙනකු පැමිණ තමන්ව ඇඳෙන් බිමට තල්ලු කරනවා සේ පෙනෙන බවත්, එවිට ඇය තට්ටු ගණනාවක සිට පහළට වේගයෙන් ඇද වැටෙන්නාත් මෙන් හැඟී යන බවත්, මේ භයංකර හීනය නිසා සෑමදාම මැදියම් රැයේදී අවදිවන බවත් ඔවුහු පැවසූහ.

මැදියම් රෑ අවදිවු පසුව නැවත නින්ද නොයාම නිසා නිතර ඇය අසනීප වන්නට ද විය.

මේ තත්ත්වය පාලනය කර ගැනීමට ප්‍රථමයෙන් මහවෙදැදුරන්ටද, මානසික වෛද්‍යවරුන්ට පෙන්නුම් කළද ලබා දුන් ප්‍රතිකාරවලින් නිසි ප්‍රතිඵල නොලැබී ඇත. මේ සඳහා මාමාගේ මැදිහත්වීම මත ලංකාවේ විවිධ පළාත්වලින් ගුරුකම් කර ඇතත් සුවයක් නොලැබිණි. කට්ටඩි මහතුන් කිහිප දෙනකු ගෙන්වා අපල දෝෂවලින් මිදීමට විවිධ වු ශාන්ති කර්ම ගුරුකම් කරගෙන ඇත. දෙහි කැපීම්, අත්තගහ මැතිරීම් ක්‍රම ආදියෙන්ද නිසි ප්‍රතිඵලයක් සිදුවී නොතිබිණි, බලි තොවිල් වලින්ද පලක් නොවී තිබුණි.

“ඉස්සෙල්ලම ඔය වැඩිහිටි දෙපොළ විහාර මන්දිරයටත් බෝධි මළුවටත් ගිහින් වැඳ නමස්කාර කොට තම කාරණාව ඉෂ්ට සිද්ධ වන ලෙසට ප්‍රාර්ථනා කරලා එන්නකෝ”

ඔවුන් දෙපළ වහාම හිමියන්ගේ අණට කීකරු විය. ඉන්පසු ඔවුන් දෙපළ දේව මන්දිරය වෙත කැඳවාගෙන ආ අනුරුද්ධ හිමියෝ සූනියම් දෙවියන්ටත්, කාලිමෑණියන්ටත් පත්තිනි දෙවියන්ටත්, ඇය අතින්ම පහන් දැල්වීමට සලස්වා පිරිත්කර තිබූ දිග තුන්නූල් පොටක් ගෙන එයට මහානුබලසම්පන්න මන්ත්‍රයකත් ජීවම්කොට දේව මන්දිරය තුළදීම නැන්දාගේ කර පලඳන්නට සැලැස්වූහ. දින 7ක් යනතුරු කිළිවලින් ආරක්ෂාවන ලෙසට හිමියන් ගෙන උපදෙස් ලැබුණි.

“ඔන්න අම්මා මගේ වැඩේ අහවරයි... අද රාත්‍රී ඉඳල කවරදාකවත් හීනෙන් බයවෙලා කෑගහන එකක් නැහැ”

මෙතෙක් වේලා නිහඬව බලා සිටි හෙන්ද්‍රික් මාමාගේ හඬ අවදි විය.

“ඒ වුණාට අපේ හාමුදුරුවනේ අපි ලංකාවේ නොගිය ගුරුකම් ස්ථානයක් නැහැ..සමහර තැන්වලින් දසදහස් ගණනක් ගෙවා යන්ත්‍ර මන්ත්‍ර බැන්දත්, තාවකාලිකව නැවතී දින දෙක තුනකින් ආයි මේ ලෙඩේ එනවා”

“හා හොඳයි බලමුකෝ... අම්මා බියවන්නට එපා” කාලිමෑණියන් සූනියම් දේවතව් හා පත්තිණි මෑණියන් මේක භාර ගත්ත නොවැ. මා කළ ගුරුකමක් වැරදිලා නැහැ”

ඉන් අනතුරුව ඔවුන් ගෙනා පූජා භාණ්ඩ අනුරුද්ධ හිමියන්ට පූජාකොට පාදනමස්කාර කොට කොණ්ඩදෙණිය පන්සලෙන් පිටත් වූයේ මේ ගමන්ම යාපහුව රජමහා විහාරයත් වන්දනා මාන කර කැලණිය සිය නිවෙසට යාමේ රිසියෙනි.

එදින රාත්‍රියේ සුවපහසුව නින්දට ගිය ඇයට එහා මෙදා තුර කිසිදාක එවැනි නපුරු සිහින සැබැදි ඇබැද්දියක් සිදු නොවිණි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර් / ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.