2023 වර්ෂයට අදාළ නැකැත් සහ ඒ සම්බන්ධ වැදගත් කරුණු

අලුත් අවුරුදු නැකතට හරියටම කිරි උතුරවමු
අප්‍රේල් 7, 2023

 

අලුත් අවුරුද්දත් අත ළඟටම ඇවිල්ලා. අලුත් අවුරුද්ද ගැන ඔයාලාට මතක් කරන්නත් නැකත් ගැන කියන්නත් එලෙසම එයට සුදානම් වන ආකාරය ගැන කියන්නත් තමයි අද සූදානම.

පළමු කොටම, අපි බලමු මොකක්ද මේ අලුත් අවුරුද්ද කියන්නෙ කියලා. මෙය සිංහල සහ දමිල ජනයාගේ උත්සවයක් වුවත් සමස්ත ලාංකිකයන්ටම දැනෙන මංගල්‍යයක් වෙනවා. ඒ වගේම තමා දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතික උත්සවයන්ට සමගාමීව මෙම කටයුතු ද සුදානම් වෙනවා. මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්ද ,කාම්බෝජ අලුත් අවුරුද්ද ,ලාඕ අලුත් අවුරුද්ද,මියන්මාර නැන්ජජින් වගේම ඉන්දියානු අලුත් අවුරුද්ද ආදි උත්සවයන් සමඟ අපේ අලුත් අවුරුද්දත් සමීප සම්බන්ධ තාවයක් පවතිනවා. අපි ජ්‍යෝතිෂවේදයට අනුව අලුත් අවුරුද්ද ගැන කතා කළොත් සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය විමේදී අලුත් අවුරුද්ද උදාවෙයි. ඒ සමඟම අස්වනු නෙළීමේ කාලයද අවසන් වේ. ඒ වගේම ඉර හෙවත් රවි ග්‍රහයා රේවතී නැකතේ සිට අස්විද නැකතට සංක්‍රමණය වීමද අලුත් අවුරුද්ද උදාව ලෙස හඳුන්වනවා. මෙම මංගල්‍යය ගැන අතීතයට ගොස් බැලීමේදී මෙය කෝණ මංගල්‍යය, සූර්‍ය මංගල්‍යය, නැකත් කෙළිය යන නම් වලින් එක එක කාල වකවානුවලදී ව්‍යවහාර වූවා. මීට වසර 5000 කටත් එපිටදී රාවාණා රජු කාලයේ, ඊටත් එහාට ගියහොත් බලි තාරක රජවරුන්ගේ කාලයේ සිටම මෙම මංගල්‍යය පවත්වා තිබෙනවා. එය සුර්යයා පදනම් කරගෙන සූර්ය වන්දනාවක් ලෙස ඇරැඹී වර්තමානය දක්වා කෙමෙන් කෙමෙන් විකාශනය වී පවතිනවා.

ධම්මපඩිත්ත කතාවෙ ගිරිජ්ජ සමජ්ජ ලෙසින්ද,පණ්ඩුකාභය රජ දවස නැකත් කෙළිය ලෙසද,මෙය විකාශය වී සිංහලයේ අවසන් රාජධානිය වූ උඩරට රාජ්‍ය කාලයේ ජෝන් ඩේවි සහ රොබට් නොක්ස්ගෙ ග්‍රන්ථවලද අවුරුද්ද පිළිබඳ සඳහන් වී තිබෙනවා. එලෙස 1886 ජනවාරි 15 වෙනි දින මෙය නිල වශයෙන් අවුරුදු දින නිවාඩු දිනයක් බවට සම්මත වූවා. බුද්ධ වර්ෂ 300 දී පමණ බුදුදහම හඳුන්වාදීමත් සමඟම බෞද්ධයාගෙන් මෙම අලුත් අවුරුද්දට නව මුහුණුවරක් ලැබුණා. මෙරට බහුතර ජනයා බෞද්ධ ජනතාව වීමෙන් එයට මූලිකත්වය දී කටයුතු කරත් අතීතයේ සිටම හින්දු ආගමත් බෞද්ධ ආගමට සමීප සම්බන්ධතාවයක් තිබුණ නිසාම මෙය ආගම් දෙකෙහිම සංකලනයක් ලෙස තව දුරටත් වැඩිදියුණු වී විකාශනය වූවා. මෙම අලුත් අවුරුදු චාරිත්‍ර නවසඳ බැලීම, අලුත් අවුරුදු උදාව, පරණ අවුරුද්දේ ස්නානය, කෑම පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම,ආහාර අනුභවය, හිසතෙල් ගෑම වගේම රැකියා සඳහා පිටත් වීම ආදි නැකත් තිබෙනවා.

 

 

නවසඳ බැලීම

 

අභිනව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වැනි ඉරිදා දින නව සඳ බැලීම කළ යුතුය.

 

 

 

පරණ අවුරුද්දට ස්නානය

 

 

අප්‍රේල් 12 වැනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතාවන් වන්දනා මාන කිරීම කළ යුතුය.

දැන් ඔයාලට ගැටලුවක් මතු වෙනවා කොහොමද අපි අපේ ඉෂ්ට දේවතාව සොයා ගන්නේ කියන දෙය. ඔබේ හඳහන අතට ගෙන එහි රවි, සඳු, කුජ, බුධ, ගුරු,සිකුරු, සෙනසුරු කියන ග්‍රහයින් අතරින් එක භාවයක ඔය කුමන ග්‍රහයාද වැඩිම අංශක ගණනක් ගමන් කර තිබෙන්නේ කියා බලන්න. එක භාවයක් 30 කින් සමන්විතයි. එතකොට ඔය අංශක ගණනින් වැඩිම ගණනක් ගමන් කර තිබෙන ග්‍රහයා සොයා ගන්න. මෙම ග්‍රහයා ඔබේ ආත්මකාරක ග්‍රහයා වෙනවා. ආත්මකාරක ග්‍රහයා හොයාගෙන එම ග්‍රහයා ඔබේ නවාංශකය කේන්දරයේ කොතනද ඉන්නෙ බලන්න. එම ස්ථානයේ සිට 12 වැන්න බලන්න. 12 වැන්නට හිමි ග්‍රහයා නැතිනම් ඒ රාශියට අදාළ ග්‍රහයා සම්බන්ධ දේවතාව ඔබේ ඉෂ්ට දේවතාව වෙනවා. උදාහරණයක් ලෙස රවි නම් ඊශ්වර දෙවියන්, සඳු නම් සමන් දෙවියන්, පත්තිනි මැණියන් ආදි ලෙස ග්‍රහයන් 07 දෙනාට හිමි දෙවිවරු අපිට දැනගන්න පුළුවන්.

 

අලුත් අවුරුදු උදාව

 

අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා අපරභාග 02.59 ට උදාවෙයි.

 

 

පුණ්‍ය කාලය

 

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්ව භාග 08.35 සිට එදින අපර භාග 09.23 දක්වා පුණ්‍ය කාලය පවතින බැවින්, අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පුර්ව භාග 08.35 ට පළමුව ආහාර පාන ගෙන සියලුම වැඩ අත් හැර ආගමික වතාවත් වෙත යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් 14 වෙනි සිකුරාදා අපර භාග 02.59 සිට අපර භාග 09.23 දක්වා යෙදී ඇත.

 

ආහාර පිසීම

 

අප්‍රේල් 14 සිකුරාදා අපර භාග 03.29 ට විවිධ වර්ණ වස්ත්‍රයෙන් සැරසී දකුණු දිසාව බලා ලිප බැද ගිනි මොලවා කිරි මිශ්‍ර කිරිබත්ද උදු මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි.

ඔබ කිරි උතුරවන්නේ නම්,

මේ සඳහා ඔබ අලුත් මැටි මුට්ටියක් යොදා ගන්න. මැටි මුට්ටිය මතු පිට අලංකාර කටයුතු නොකරන්න. කහ වතුරෙන් සොදා ගන්න. කිරි ඉතිරිවිම සඳහා බොහෝ දෙනෙක් සාලය යොදා ගන්නවා. ඒ බ්‍රහම පාද,දේව පාද යැයි සිතායි. එලෙස කිරීමට අවශ්‍ය නෑ. ඔබ වෙනදා භාවිතා කරන මුලුතැන්ගෙයම ඒ සඳහා ඉතා සුබයි. මේ සඳහා රත් හදුන්, සුදු හදුන්,දේවදාර,අගිල්,සුවද කොට්ටන්,වගේම පැගිරි සහිත දර වර්ගයක්ද යොදා ගන්න.

ඊළඟ වැදගත් කාරණාව වන්නේ ඔබ යොදාගන්නා කිරි වර්ග යයි. මේ සඳහා බොහෝදෙනෙක් පොල් කිරි භාවිතා කරනවා. මම සහමුලින්ම කියනවා මේ සඳහා පොල්කිරි භාවිතා කිරීම වැරැදි කියා. මන්ද මෙම මංගල්‍යය ප්‍රේතයෙක් ගේ පිදෙනියක්වත්,මල පිදෙනියක්වත් නොවන බව වටහා ගන්න. ඒනිසා මේ සඳහා එල, ගව කිරි, මී ගව කිරි, බැටලු කිරි, මව් කිරි, ඔටු කිරි, අශ්ව කිරි, එලු කිරි, වගේම ඇත් කිරිත් යොදා ගැනීම කළ හැකියි. මුට්ටියට සුදු හදුන් කුඩු ටිකක් දමා අමුකහ ටිකක් දමා කැකුලු හාල් හෝ ඔබ අස්වැන්නෙන් ලබාගත් සහල් වර්ගයක්ද එකතු කරගන්න. ඒ වගේම මුට්ටියට රිදී පස් ලෝ නැතිනම් රත්‍රන් කාසියක් දමා ගන්න. කිරි ඉතිරවීමෙන් පසු සුදුහඳුන් පොල්කටු රත් හඳුන් සුවඳ කොට්ටන්වලින් සාදාගත් කබලක් සාදා යොදා මුලුතැන්ගෙය පටන් මුළු නිවස පුරාම දුන් අල්ලන්න. සාම්බ්‍රානි සමඟ.

මෙම කටයුතු අවසානයේ මැටි බඳුනෙන් ඉතිරෙන කිරි ටික එකතු කරගෙන එයට වී ස්වල්පයක්, අබ ඇට කිහිපයක් තල උදු , ඕලු ඇට, නාමල් රේණු, නෙලුම් ඇට ස්වල්පයක් එකතු කර එය නිවෙසේ හතර කොණේ ඉසින්න.

 

 

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම ආහාර අනුභවය

 

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 05.05 ට විවිධ වර්ණ මිශ්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා ආහාර අනුභව කිරීම සුබයි.

 

හිසතෙල් ගෑම

 

අප්‍රේල් 16 ඉරිදා පූර්ව භාග 09.41 ට රතු සහ කහ මිශ්‍ර වර්ණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද,පයට නුග පත්ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු තෙල් ගා ස්නානය කිරීම සුබයි.

 

රැකියාවන් සඳහා පිටත්ව යාම

 

අප්‍රේල් මස 17 වෙනි සදුදා පූර්ව භාග 06.28 ට සුදු පැහැති වර්ණයෙන් සැරසි දකුණු දිසාව බලා පිටත් වීම සුබයි.

 

 

ඔබ සැමට ලබන්නා වූ අලුත් අවුරුද්ද වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.