පසුගිය ජුනි මස 17 වැනි සෙනසුරාදා රාත්‍රී 10.59 සිදු වූ සෙනසුරු වක්‍රය සුබ පල දෙන හැටි

ජුනි 23, 2023

පළමුවෙන් මෙහිදී ග්‍රහයෙක් වක්‍ර වෙනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව කරුණු පැහැදිලි කරගත යුතුය. ඒ අනුව නව ග්‍රහයන්ගෙන් රවි, සඳු යන කාර ග්‍රහයන් වක්‍ර නොවෙති එමෙන්ම සැමදාම ආපස්සට ගමන් කරන රාහු, කේතු යන ඡායා ග්‍රහයන්ද වක්‍ර නොවෙති. ඒ අනුව වක්‍ර වන්නේ කුජ, බුධ, සිකුරු, ගුරු, ශනි යන ග්‍රහයන් පමණි. මෙහිදී බුධ, සිකුරු යන ග්‍රහයන් එකම ගමන් මාර්ගයක ඉදිරියට ගමන් කරන අතර විටෙකදී මෙකී ග්‍රහයන් දෙදෙනාගෙන් කෙනෙක් ගමන් වේගය අඩු කරන අතර එහිදී එක් ග්‍රහයෙක්ගෙන් අනෙක් ග්‍රහයා බොහෝ දුරස්ථ වෙයි.

එලෙස ගමන් වේගය අඩු කොට අනෙක් ග්‍රහයාගෙන් අංශක ගණනක් පසු පසට යන ග්‍රහයා වක්‍ර ග්‍රහයා නමින් හඳුන්වනු ලබන අතර, ඒ අනුව බුධ, සිකුරු යන ග්‍රහයන් දෙදෙනාගෙන් බුධ ග්‍රහයා සිකුරුගෙන් දුරස්ථ වෙමින් අවුරුද්දට 3, 4 වතාවක් වක්‍ර වන අතර, සිකුරු වසරක් හැර වසරක් එලෙස බුධ ග්‍රහයාගෙන් ඈත් වෙමින් වක්‍ර වෙයි. වෘද්ධ ග්‍රහයන් ලෙස හඳුන්වනු ලබන කුජ, ගුරු, ශනි යන ග්‍රහයන් වක්‍ර වන්නේ රවි ග්‍රහයාගෙන් අංශක 240 කට වඩා ඈත් වූ විටදීය. ඒ අනුව සෙනසුරු සෑම වර්ෂයකම එලෙස රවි ග්‍රහයාගෙන් අංශක 240 ක් ඇති වෙමින් වසරකට වරක් හෝ දෙවරක් වක්‍ර වෙයි.

ග්‍රහයෙක් වක්‍ර වූ කල එකී ග්‍රහයා උච්ච රැසක නම් නීච ග්‍රහයෙක් සතුඵල විපාකද එකී වක්‍ර ග්‍රහයා නීච රැසක නම් උච්ච ග්‍රහයෙක් සතු ඵලවිපාකද ලබාදෙයි. ඒ අනුව නීච, සතුරු සම මිත්‍ර යනාදී රැසක පතිත ග්‍රහයන් කේන්දර හිමියාට උසස් ශුභ ඵල ප්‍රදානය කරනු අතර උච්ච, මුල, ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර යන රැසක වක්‍ර ග්‍රහයන් ජන්මියාට අසුබ ඵල ප්‍රධානය කරයි. එමෙන්ම සහජ සෙමෙන් ග්‍රහයන් වන බුධ, සිකුරු, ගුරු යන ග්‍රහයන් වක්‍ර වූ කල ජන්මියා උසස් ශුභ ඵලයක් භුක්ති විඳිය හැකි නමුත්, සහජ පාපයන් වන කුජ, ශනි යන ග්‍රහයන් වක්‍ර වූ කල ජන්මීන්ට අශුභ ඵල භුක්ති විඳීමට සිදුවෙයි. ඒ අනුව පසුගිය 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 10.52 ට ශනි ග්‍රහයා කුම්භ රැසෙහි වක්‍ර වීමට පටන් ගත් අතර, කුම්භ සෙනසුරුගේ මුල ත්‍රිකෝණ බලය ලබන රැසක් ලෙස කුම්භ රැසෙහි ශනිගේ වක්‍රය අශුභය. මෙහිදී මෙකී ශනිගේ වක්‍රය වඩාත් අශුභ වන්නේ ඡායා ග්‍රහයන් වන රාහු සහ කේතුවෙහි තුලා රාශිවල දැනට සතුරුව ගමන් කරමින් රාහුගේ රාශි දෘෂ්ටියෙනුත් කේතුගේ රාශි මෙන් පූර්ණ දෘෂ්ටියෙනුත්, සෙනසුරු පීඩා කිරීමක් ඉදිරියේ දී එනම් ජූලි 01 වැනිදා ශනිට සතුරු ග්‍රහයෙක් වන කුජ, සිංහ රැසෙහි ශනිට සප්තමව ගමන් කරමින් ශනි පීඩා කිරීමක් හේතුවෙනි. එමෙන්ම අගෝස්තු 17 වෙනිදා සෙනසුරුට සතුරු තවත් ග්‍රහයෙක් වන රවි සිංහ රාශියේ සෙනසුරුට සප්තමව ගමන් කිරයි. මෙකී ශනිගේ වක්‍රය ඔක්තෝබර් මස 30 වෙනි දින රාහු, කේතු, කන්‍යා, මීන රාශිවලට යන තෙක් සෙනසුරුගේ වක්‍රය, රටටත් ජනතාවටත් දැඩි අශුභ ඵල දානය කරන්නේ ය. ඒ අනුව මෙලෙස කුම්භ රැසේ වක්‍රව ගමන් ගන්නා සෙනසුරු තමාට ත්‍රිකෝණ රැසක් වන බුධ හිමි මිථුනය ත්‍රිකෝණ දෘෂ්ටියෙන් පීඩා කිරීමත්. එමෙන්ම බුධගේ මුල ත්‍රිකෝණ මෙන්ම උච්ච රැස වන කන්‍යාවට මෙකී සෙනසුරුගේ අෂ්ටම දෘෂ්ටිය වැටීමෙන් පැහැදිලි වන්නේ බුධගෙන් නිවේදනය කෙරෙන කරුණු පීඩාවන බවයි. ඒ අනුව බුධගේ නිවේදනය වන බුද්ධිමතුන්, ලේඛකයන්, ජනමාධ්‍යවේදීන්, ළමුන් මෙකී ශනිගේ අශුභ වක්‍රයෙන් පීඩාවෙන බව පැහැදිලි වන්නේ ය. අපගේ මාතෘකාවට අනුව මකර, කුම්භ, මීන ලග්නවලින් උපන් දරුවන්ට ලග්න ඒරාෂ්ටක අපලයක් යෙදෙන හෙයින්, ඔවුන්ට ශනි හෝ සඳු මහ දශාවක් ලබා ඇත්නම් මෙකී ශනිගේ වක්‍රයෙන් අපල විපත් ඇති කරයි. ඒ හැර සඳු, මකර, කුම්භ, මීන යන රාශිවල පතිත දරුවන්ට ජන්ම ඒරාෂ්ඨක අපලයක් යෙදෙන හෙයින් ඔවුන්ට සඳු හෝ ශනි යන ග්‍රහයන්ගේ මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලබා ඇත්නම් බොහෝ අපල විපත් ඇති කරන්නේ ය. උපන් ලග්නය වෘෂභ, සිංහ, වෘශ්චික යන ලග්නයක් වූ දරුවන්ට, වක්‍ර සෙනසුරුගෙන් කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලයක් යෙදෙන හෙයින් එකී ලග්නවලින් ජන්ම ලාභය ලබා ඇති දරු දැරියන්ට දැනට සඳු, සෙනසුරු මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් නැතිනම් ලග්න කේන්දරයට අශුභඵල දෙන 6, 8, 12 දුෂ්ට ස්ථානාධිපතියෙක්ගේ හෝ බාධක 22 වෙනි දෙර්කාණාධිපතිගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් අපල විපත් ඇති කරන්නේ ය.

එමෙන්ම කටක ලග්නයෙන් උපන් දරුවන්ට ලග්නයෙන් අට වැන්න වූ කුම්භ රැසෙහි ශනි වක්‍රවීමෙන් ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපලයක් යෙදෙන්නේ ය. එමෙන්ම උප්පති කේන්දරයේ සඳු කටක රැසෙහි පිහිටා ඇති දරුවන් සඳුගෙන් චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලයක් යෙදෙන්නේ ය. ඒ අනුව යට විග්‍රහ කළ පරිදි ලග්නයෙන්, සඳුගෙන් සහ ලග්නය සඳු යන දෙදෙනාගෙන් අෂ්ඨම ඒරාෂ්ටක අපලයක් ලබා ඇති දරුවන්ට සඳු මහ දශාවක් සමඟ කුජගේ අතුරු දශාවක් හෝ, කුජ මහ දශාවක් සමඟ සඳුගේ අතුරු දශාවක් හෝ, කුජ මහ දශාවක් සමඟ ශනි අතුරු දශාවක් හෝ ශනි මහ දශාවක් සමඟ කුජගේ අතුරු දශාවක් හෝ සඳු මහ දශාවක් සමඟ ශනි අතුරු දශාවක් හෝ ශනි මහ දශාවක් සමඟ සඳුගේ අතුරු දශාවක් හෝ 6, 8, 12 යන දුෂ්ට භාවාධිපතිගේ මහ දශා අතුරු දශා හෝ 22 වෙනි දෙර්කානාධිපතිගේ මහ දශාව අතුරු දශා හෝ, 64 වෙනි නවාංශකාධිපතිගේ මහ දශාව අතුරු දශා ලබා ඇත්නම් හදිසි අනතුරු ශෛල්‍ය කර්මයන්ට ලක්විය හැකි බැවින් එවැනි ග්‍රහ ගෝචරයක් ඇති දරුවන් ගේ දෙමව්පියන් තම දරුවන් ගැන දැඩි අවධානයකින් සිටිය යුතු වන්නේ ය.

එමෙන්ම දරුවකුගේ හඳහනක සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් හෝ සඳුගෙන් 3, 6, 10, 11 යන උපචය භාවයක පාප පීඩිත නොවී බලවත් සිටිනම්, මෙහිදී ලග්නය මෙන්ම සඳුගෙන් ද සෙනසුරු උපචය භාවයක සිටියි නම් ඉතා ශුභයි. නමුත් එවැනි ග්‍රහ පිහිටීම් ඇති කේන්දර අපට හමුවන්නේ ඉතා කලාතුරකිනි. ඒ අනුව යට විග්‍රහ කළ පිරිස් සෙනසුරු බලවත් ඇති කේන්දර ඇති දරුවන්ට සෙනසුරු ග්‍රහයා මුල් කොටගෙන ඒරාෂ්ටක අපල යෙදුන ද අපල විපත් ඇති කරන්නේ නැත. යට විග්‍රහ කළ පිරිස් මෙකී සෙනසුරු කුම්භයේ වක්‍රවන අවස්ථාවේ ඉහත සඳහන් කාල වයසේ යම් කිසි ඒරාෂ්ටක අපලයක් යෙදුණත් උපතේ දී බලවත්ව පිහිටියා වූ ලග්න කේන්දරයට ශුභ ඵල දෙන කේන්ද්‍ර, ත්‍රිකෝණ හෝ යෝග කාරක ග්‍රහයෙක්ට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් දැනට ලබා ඇත්නම් එවන් ග්‍රහ පිහිටීම් ඇති දරුවනට මෙකී සෙනසුරු ග්‍රහයා කුම්භ රැසෙහි වක්‍ර වීම මුල් කොටගෙන යෙදෙන ඒරාෂ්ටකවලින් දැඩි අපලවිපත් ඇති කරන්නේ නැත. ඒ පිළිබඳව ලග්න 12ට අනුව කෙටි විස්තරයක් ඉදිරිපත් කළහොත්

 

 

මේෂ ලග්නය

මේෂ ලග්නයට ප්‍රබල යෝග කාරක ග්‍රහයා වන ගුරුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් නැතිනම් මේෂ ලග්නයට අර්ධ යෝග කාරකත්වයක් උසුලන රවි ග්‍රහයාගේ මහ දශාවක් ලබා ඇත්නම් මේෂ ලග්නයෙන් උපත් දරු දැරියන්ට මෙකී සෙනසුරු කුම්භ රැසෙහි වක්‍රවීම මුල් කොට ගෙන පැන නඟින ඒරාෂ්ටක අපලවලින් කිසිදු කරදරයක් හිරි හැරයක් වන්නේ නැත.

 

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් ජන්ම ලාභය ලබන දරු දැරියන්ට වෘෂභ ලග්නයට ශුභඵල දෙන අර්ධ යෝගකාරක බුධගේ හෝ ලග්නාධිපති සිකුරුගේ මහ දශාවක් හෝ අන්තර් දශාවක් හෝ ලබා ඇත්නම් යට විග්‍රකළ පරිදි සෙනසුරු කුම්භ රැසෙහි ගෝචරය වීම මුල්කොටගෙන යෙදෙන ඒරාෂ්ටක අපලවලින් අශුභ පල විපාක ඇති වන්නේ නැත.

මිථුන ලග්නයට

මිථුන ලග්නයෙන් ජන්ම ලාභය ලබා ඇති දරු දැරියන්ට මිථුන ලග්නයට ප්‍රබල යෝගකාරක ග්‍රහයන් දෙදෙනෙක් වන බුධ සහ සිකුරු යන ග්‍රහයන්ගේ මහ දශාව අතුරු දශා ලබා ඇත්නම් යටකී ආකාරයට යෙදෙන සෙනසුරු ඒරාෂ්ටකවලින් අපල විපත් ඇති වන්නේ නැත.

 

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් දරු දැරියන්ට උපත්තියෙහිදී බලවත්ව පිහිටියාවු ලග්නයට ශුභඵල ගෙන දෙන ප්‍රබල යෝගකාරක ග්‍රහයෙක් වූ කුජගේ මහ දශාවක් ලබා ඇත්නම්, ගෙවි බලවත්ව පිහිටියා වූ පූර්ණ යෝගකාරක ග්‍රහයෙක් වන ගුරුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් කටක දරුවන්ට ශනි කුම්භ රාශි ගතවීමෙන් පැන නඟින ඒරාෂ්ටක අපලවලින් ලෙඩ රෝග, කරදර ඇති වන්නේ නැත.

 

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් දරු දැරියන්ට දැනට සිංහ ලග්නයට ශුභ ඵල දෙන බලවත් යෝගකාරක ග්‍රහයෙක් වූ කුජ ග්‍රහයාගේ මහ දශාවක්, හෝ අර්ධ යෝගකාරක ග්‍රහයෙක් වූ ගුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් හෝ ලග්නයේ මුල ත්‍රිකෝණ බලය ලබා උපෙන්ද්‍ර යෝගය හෝ 5 වැන්න වූ මේෂ රැසෙහි උච්ච බලය ලැබ මයුරහල යෝගය උදාකළ ලග්නාධිපති රවි ග්‍රහයාගේ මහ දශාවක් ලබා ඇත්නම්, සෙනසුරු කුම්භ රාශි ගත වීමෙන් පැන නඟින ඒරාෂ්ටකවලින් අපලවිපත් ඇති වන්නේ නැත.

 

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් ජන්ම ලාභය ලබා ඇති දරුවන්ට දැනට ලග්නය ශුභඵල දෙන යෝගකාරක ග්‍රහයන් වන බුධ, සිකුරු යන ග්‍රහයන්ගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් සෙනසුරු කුම්භ රාශි ගතවීමෙන් පැන නඟින ඒරාෂ්ටකවලින් ලෙඩ දුක් කරදර හිරිහැර ඇති වන්නේ නැත.

 

තුලා ලග්නය

තුලා ලග්න දරුවන්ට දැනට උත්පත්තියේදී බලවත්ව පිහිටියා වූ ලග්නාධිපති සිකුරුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් හෝ එසේ බලවත් පිහිටියා වූ තුලා ලග්නයට අර්ධ යෝග කාරක බුධ ග්‍රහයාගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් සෙනසුරු ග්‍රහයා කුම්භ රාශි ගතවීමෙන් පැන නඟින ඒරාෂ්ටක වලින් හානියක් කරදරයක් වන්නේ නැත.

 

වෘශ්චික ලග්නයට

වෘශ්චික ලග්නයෙන් උපන් දරු දැරියන්ට දැනට ලග්න කේන්දරයට ප්‍රබල යෝගකාරකයක් වන රවි ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අර්ධ යෝගකාරක ග්‍රහයෙක් වන ගුරු ග්‍රහයාට අයත් මහ දශාවක් අතුරු දශාවක් ලබා ඇත්නම් කුම්භ රාශි ගත සෙනසුරුගෙන් පැන නඟින ඒරාෂ්ටකවලින් අපල විපත් ඇති වන්නේ නැත.

 

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් දරුවන්ට උප්පතියේදී බලවත් පිහිටීමක් ලග්නයට ශුභ ඵලදෙන ප්‍රබල යෝගකාරක ග්‍රහයෙකු වූ රවි ග්‍රහයාගේ මහ දශාවක් හෝ ලග්නයට අර්ධ යෝග කාරක ග්‍රහයෙක් වූ අඟහරු ග්‍රහයාගේ මහ දශාවක් හෝ බලවත් පිහිටියා වූ ලග්නාධිපති ගුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් ශනි කුම්භ රාශි ගතවීමෙන් පැන නඟින ඒරාෂ්ටවලින් ලෙඩ රෝග, කරදර හිරිහැර ඇති වන්නේ නැත.

 

මකර ලග්නය

මකර ලග්නයෙන් ජන්ම ලාභය ලබා ඇති දරු දැරියන්ට දැනට උපන් ලග්නයෙහි බලවත්ව පිහිටියා වූ ලග්නයට යෝගකාරක ග්‍රහයන් දෙදෙනෙක් වන බුධ, සිකුරු යන ග්‍රහයන්ගේ මහ දශා අතුරු දශා ලබා ඇත්නම්, ශනි කුම්භ රාශි ගතවීමෙන් පැන නඟින ඒරාෂ්ටකවලින් අපල විපත් ඇති වන්නේ නැත.

 

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් ජන්ම ලාබය ලබා ඇති ළමයින්ට උත්පත්ති කේන්දරයේ බලවත්ව පිහිටියා වූ ලග්න කේන්දරයට ශුභඵල දානය කරන බුධ, සිකුරු යන ග්‍රහයන්ගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් සෙනසුරු කුම්භයේ ගෝචරයේ වීමෙන් පැන නඟින ඒරාෂ්ටක, ලෙඩ, දුක් කරදර, හිරිහැර ඇති වන්නේ නැත.

 

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් දරු දැරියන්ට ලග්නයට ප්‍රබල යෝගකාරක ග්‍රහයෙක් වන අඟහරු ග්‍රහයාගේ මහ දශාවක් හෝ උප්පත්තියෙදී බලවත්ව පිහිටියා වූ ගුරු ග්‍රහයාගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් ශනි, කුම්භ, රාශි ගතවීමෙන් පැන නඟින ඒරාෂ්ටකවලින් අපල විපත් ඇති වන්නේ නැත.

ඒ අනුව යට විග්‍රහ කළ පරිදි අශුභ මහ දශා, අතුරු දශා ලබා ඇති සෙනසුරු ඒරාෂ්ටක අපලයෙන් පීඩා විඳින දරුවන් සඳහා ශනිදා දිනක ශනි හෝරාවෙන් ගිතෙල් දැමූ කිරිබත් නිවසේ බටහිර පැත්තෙන් කපුටන් සඳහා දීම, සෙනසුරාදා දිනක යාචකයන් 7 දෙනෙක් සඳහා දිවා ආහාර දීම, මරණය සඳහා කැපවූ සතුන් නිදහස් කිරීම, සෙනසුරු දවසක විෂ්ණු දෙවියන් සඳහා පුද පූජා පැවැත්වීම, බෝධි පූජා තැබීම, ශනි මෘතංජය යන්ත්‍ර පැලඳීම, නිල් කළු වස්ත්‍ර ඇඳීමෙන් වැළකීම, නිවසේ බටහිර පැත්තේ ඇති නුග ගසක් පිරිසුදු කර පහන් 7ක් දල්වා අපලය ඇති දරුවාගේ නම සඳහන් කොඩි 7ක් එල්ලා දිනපතා එම ගසට වතුර දැමීම වැනි ශාන්ති කර්ම මඟින් ළමයින් සඳහා බලපාන මෙකී ශනි ඒරාෂ්ටක අපලයක් සමඟ ඇති අශුභ ශනි වක්‍රයෙන් ඇතිවන අපල උපද්‍රවයන් බොහෝ දුරට මර්දනය කර ගත හැකි වන්නේ ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.