අභිසම්භිධාන යන්ත්‍රය මෙතරම් බලගතු ඇයි?

දෙසැම්බර් 24, 2021

ලෝකය නැත්නම් විශ්වය නිර්මාණය වූ විගසම පුරාණයා එක එක මත දැරූ බව අපි කවුරුත් දන්නවා. ඒ අපේ දැනීමට අනුව ගත් පියවරවල්. ඒ අයට තිබූ දැනීමේ ප්‍රතිශතයට අනුලෝමව ප්‍රතිලෝමව එක එක පූජා විධි ද පැවැත්වූවා යාග හෝම, බලි බිලි, ගිනිදෙවියන් පිදීම, රුක් වන්දනාව වැනි ආගමානු සත්කාර වලින් කිසියම් හෝ පිහිටක් ජනයා අපේක්ෂා කළා. ඒවායින් කිසියම් හෝ සැපතක් නොලැබුණා යයි කියන්නත් බැහැ. අද දිනට මෙතරම් ලෝකය දියුණු තත්ත්වයක පැවතුණත් අර පැරණි වන්දනා ක්‍රම මුළුමනින්ම නැති වුණේ නැහැ.

ලෝකයේ පැරණිතම විද්‍යාවන් තමයි ආයුර්වේද විද්‍යාව, තාරකා විද්‍යාව, ඡ්‍යොතිෂ විද්‍යාව, යන්ත්‍ර විද්‍යාව හා ගුප්ත විද්‍යාව වැනි දෑ. එනමුත් තවත් වටිනා විද්‍යාවන් නැතිවා නොවේ. මූලික වශයෙන් රටේ මිනිසුන් මේවා උපයෝගි කරගෙන ඉන් බොහෝ ප්‍රයෝජන ගත්තා. මේ අතරතුර විද්‍යාගාරවල පරීක්ෂණවලට භාජනය වූ බොහෝ දේ වුණා. බොහෝ අය පියවි ඇසට නොපෙනෙන දේ ගැන පරීක්ෂණ පවත්වන්නට මැළි වුණා. ඔවුන් හිතුවා ඉන් ලැබෙන ඵල ප්‍රයෝජන වල අඩුයි කියලා. අදෘශ්‍යමාන බොහෝ දේවල් ඉදිරියට පරීක්ෂණ කිරීම ක්‍රමයෙන් අඩු වූ නිසා ගුප්ත ශාස්ත්‍රය වැනි දේ තරමක පසුබෑමක් ඇති වුණා. ඒ අදෘශ්‍යමාන වූ සමහර දේවල් ගුප්ත ශාස්ත්‍රය ඇතුළේ තිබුණත් ඒක නියමාකාරයෙන් වටහාගත්තෙ නැහැ. එහි විද්‍යාත්මක පදනම හොයා ගන්න බැරි වුණ තැන එහෙම පදනමක් නැති බව පවසා අත පිසඳා ගත්තා. ඒ බව මනාව දැන සිටි ගුප්ත ශාස්ත්‍රඥයා යන්ත්‍ර ශාස්ත්‍රයෙන් ගුප්ත ශාස්ත්‍රයෙන් ප්‍රයෝජනය ගත්තා. අදටත් ගන්නවා. එය සිදුවන්නේ කෙලෙසද යන්න පිළිතුරු නොලැබුණත් සිදුවීම ස්ථිර ප්‍රතිඵලදායි නිසා අදටත් ස්වල්ප වශයෙන් පවතිනවා. මෙවැනි අදෘශ්‍යමාන ක්‍රියාදාමයන් වර්තමාන පරීක්ෂණ ඥානයට හසු නොවුවත් බුද්ධ ඥානයට හසු වුණා. බුදුන් වහන්සේගේ දේශනාව පරිදි එය ද ක්‍රමයන් ක්ෂය වී යනවා. මෙවැනි ගැඹුරු ශාස්ත්‍ර ධර්මයන් වර්තමාන පරීක්ෂණවලට හසුනොවන්නේ ඔවුන් ද බටහිර හුරුව මූලික කරගෙන සිටින නිසාමය. කොපමණ බටහිර ආරයට ක්‍රියාකළද යන්ත්‍ර ශාස්ත්‍රය ඉතා පැහැදිලි එකක් බව පෙර අපර දිග ජනයා පිළිගත්තා. කිසියම් හෝ ලෝහ තහඩුවක ක්‍රමවත්ව නිර්මාණය කර යම්කිසි සම්මත වාර ගණනකින් සාම්ප්‍රදානුකූලව මතුරා ඊට අවැසි රත්‍රං වැනි ලෝහය ස්පර්ශ කර ශාස්ත්‍රයට අනුව ප්‍රාණ, පලිප්පු, ස්ඵුඨ කර ශරීරයකට ස්පර්ශ කිරීමෙන් අවශ්‍ය හරණය කර සැපත ශාන්තිය ලබා ගත හැකි බව පුරාණ මිනිසා දැන සිටියා. යන්ත්‍ර ශාස්ත්‍රය මෙතරම් බලගතු නම් එහි ඇතුළත් “අභිසම්භිධානය” ගුණ දීර්ඝව දැනගැනීම වටිනවා. යන්ත්‍ර සෑදීමේදී මූලික වශයෙන් ක්‍රම දෙකයි. මුදල් ඉපැයීම සඳහාම දස දහස් ගණනින් “ගල් අච්චුවේ” නිපදවන අඩුමුදලට බෙදා හරින යන්ත්‍ර හා පංහිඳ උපයේගි කරගෙන අතින් නිර්මාණය කරන යන්ත්‍ර පළමු කී යන්ත්‍ර කිසිදු අයුරකින්වත් කිසිම ගුණයක් නොදෙන යන්ත්‍ර බව වගකීමෙන් කිව යුතුමය. ඕනෑම යන්ත්‍රයකින් ගුණ නොපිහිටන බව ද කිව යුතුමය. නියමාකාරයෙන් නිම කරන ලද යන්ත්‍ර වලින් විශේෂයෙන් ස්ථීර සාර ඵල ලබා ගත හැකි එක් විශේෂ වූ යන්ත්‍ර කාණ්ඩයක් වනුයේ”සවෝපදාහරණ බුදුගුණ යන්ත්‍රයි” යන්ත්‍ර සම්බන්ධව ලියා ඇති ඕනෑම පොතක මේ බව සඳහන් වී ඇති බව දනිමු. මීට අමතරව ග්‍රහදෝෂ හරණ, යන්ත්‍ර, යක්ෂ, පේ‍්‍රත දෝෂ හරණ, යන්ත්‍ර, වශීකරන යන්ත්‍ර, මිශ්‍ර යන්ත්‍ර වැනි යන්ත්‍ර ද නැතිවා නොවේ. විශේෂයෙන්ම අභිසම්භිදානය මරණින් පවා බේරා ගත හැකි අති ප්‍රබල බුදුගුණ යන්ත්‍රයකි. මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේ මූලික වූ යන්ත්‍රයකි. මෙම යන්ත්‍රයේ විශේෂ කරුණු දෙකකි. එනම් යන්ත්‍ර ගැබ් හතකි. මන්ත්‍ර නැත්නම් ගාථා කාණ්ඩ නවයකි. විශේෂත්වය හා අසීරුකම වනුයේ අකුරකට අකුරක් හෝ ඉරිකෑල්ලකටවත් නොගෑවෙන සේ මේ ගැබ් හවය මන්ත්‍ර නාමය ඇතුළත් කිරීමයි. මෙය ඉතාමත් ඉවසීමෙන් භාවනායෝගිව ක්‍රමවත් සංගමයකින් කළ යුතු බව දැන් අපට වැටහෙනවා ඇත. නියම වූ දිග පළලයෙන් යුක්තව පුර තිථිය ඇති දිනක මරුට පිටුවා ඉතාමත්ම ඉවසීමෙන් මෙය නිම කළ යුතුය. පුරතිථියට ආරම්භ කර පුර තිථියෙන්ම අවසන් කිරීම. විශේෂයකි. එකී ගැබක් ආරම්භ කර අඩුම තරමින් එම ගැබවත් සම්පූර්ණ කළ යුතු බව යන්ත්‍ර ශතකයේ නියමයකි.

අභිසම්භිධාන යන්ත්‍රය ශරීර ස්පර්ශ කර ක්ෂණයෙන් එහි ක්‍රියාකාරිත්වය ශරීරයේ සියුම් ස්නායුවලට හා රුධිරයට ක්‍රියාත්මක වේ. ඒ බව රෝගියාට දැනේ. මෙම යන්ත්‍රය ජප කිරීමට ප්‍රථම පුද සඳහා ඖෂධ වර්ග සඳහා රත්හඳුන්, සුදුහඳුන්, දේවදාර, අගිල් ගුගුල්, සුවඳ කොට්ටන්, ජටාමාංශ, සැවැන්දරා, විෂ්ණු ක්‍රාන්ති, සාම්බ්‍රානි, ලාටු හඳුන් තැබීම අත්‍යාවශ්‍ය බව ද දැනගත යුතුමය. ඉතා සුද්ධ පවිත්‍රව නිර්මාණය කළ යන්ත්‍රය මල්බුලත් පුටුවේ ඇති උසම ස්ථානයේ තබා සුදු වස්ත්‍රයෙන් හෝ ගුරු වස්ත්‍රයෙන් සැරසී මස් මාංශ වලින් තොරව එකම සංයමයකින් ප්‍රථම වරට වාර 1008 වරක් වත් ජප මන්ත්‍රයෙන් නිම කළ යුතුය. මෙසේ පේ විය යුත්තේ යන්ත්‍රය ආරම්භ කර නිම කරන තෙක් පමණි. යන්ත්‍රය නිර්මාණය කරන අයට පවසන විශේෂය නම් මෙම ජප මන්ත්‍රයේ 9 වැනි මන්ත්‍රය හෝ ගාථාව පිරීමේදී ඉතාම ප්‍රවේශම් විය යුතු බවයි. එය ඒ තරම්ම අසීරු කරුණක් විය වන බැවිනි. එය “නමෝ සංතිස්ස බෝධි” යනුවෙන් ආරම්භ කර එහි ඇති ඉමං ආතුරස්‍ය යන කොටස ඉවත් කර ඒ වෙනුවට ආතුරයාගේ ලග්නය, නවාංශකය හා නම නැකැත ඇතුළත් කළ යුතු මය. එය එසේ කරනුයේ යන්ත්‍රය මැතිරීමේ පහසුව තකාය. තව ද විශේෂයකි. අභිසම්භිධානය නාමික බුදුගුණ යන්ත්‍රයකි. එනම් නියමිත ලග්නය. නවාංශකය. නැකැත හා නම හිමි අයටම ගුණ දෙන බැවිනි. කුමන කරණයකින් හෝ අවශ්‍ය කෙනාට පැලැඳීමට නොහැකි වුවහොත් වෙන කිසිවකුටවත් මින් ප්‍රයෝජනය ගත නොහැක. පුදට අමතරව මල්, පලතුරු, කාසි, බුලත් වැනිදෑ තැබිය හැක. කිසි විටෙකත් පුලුටු නොතැබිය යුතුවන්නේය. බුදුගුණ පමණක්ම විය යුතුය.

අභිසම්භිධානය පැලැඳිය යුතුවන්නේ කෙසේද? විශේෂයෙන් මෙම යන්ත්‍රය ඉතාම රෝගි තත්ත්වයට පැමිණි අයවලුන්ට හා මිදීමට නොහැකි බව සඳහන් බව. කර්ම දෝෂ සඳහා වන නිසා. යන්ත්‍රය නියමිත පරිදි ප්‍රාණ, පලිප්පු ස්ඵුඨ කර ජීවත් නූලෙන් බැඳ රත්රන් පෙඟවූ සුරයක දමා ශරිර ස්පර්ශ කළ යුතුය. නො එසේ නම් රෝගියාගේ පිට මැදට යන්ත්‍රය දිග අතට ශරීරයට ස්පර්ශ වන සේ තබා තැබිය යුතුය. එම යන්ත්‍රය නැවත ශරීරයෙන් ඉවත් කරන තුරු ප්‍රාණය ශරීරයෙන් ඉවත්ව නොයනු ඇත. මෙම යන්ත්‍රය කෙතරම් බලවත්ව කිවහොත් රෝගියාගේ ආයු සැපත ක්‍රමයෙන් ක්ෂය වීමේදී යන්ත්‍රයේ රත්‍රං දිලිසෙන තත්ත්වයද අඩුවී යයි. ඒත් ප්‍රාණය ශරීරයෙන් නිරුද්ධවීමට මෙම යන්ත්‍රය ඉඩ නොදෙයි. බොහෝ අවස්ථාවලදී අවසානයේ රෝගියාට තද නින්ද යාමක් ඇති කරයි. නමුත් ශරීර උෂ්ණත්වය එසේම පවතී. අභිසම්භිධානය එතරම්ම බලගතු බුද්ධ යන්ත්‍රයකි.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.